Featured

1815න් පසු සිංහලයන් නැවත රැවටුණාද? අලුත් රනිල් , ජනාධිපති ලේකම්ද? ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිගෙන ඇති සංඝාධිකරණය පිහිටුවීම තවත් කල් යයිද?

Published on: Aug 14, 2020 – සෙංකඩගල නුවර මගුල් මඩුව මෙරට නීතියට ඓතිහාසිකව වැදගත් වන්නේ බ්‍රිතාන්‍යයන් සහ උඩරට රදළ ප්‍රධානීන් විසින් අත්සන් තබන ලද ගිවිසුම හේතුවෙනි.

උඩරට ගිවිසුමේ ප්‍රධානම අරමුණ වූයේ එවකට සිහසුන දැරූ ශ්‍රී වික්‍රම රාජසිංහ රජු බලයෙන් පහ කරමින් සහ මුලු රටේම නීතියේ අණසක බ්‍රිතාන්‍යයට අත් කර ගැනීමයි.ක්‍රි. ව. 1815 මාර්තු මස 2 වැනි දිනැති උඩරට ගිවිසුමෙන් එදා ‘සිංහලේ’ (CEYLON) එනම් අද ‘ශ්‍රී ලංකාවේ’ පරමාධිපත්‍ය බලය සම්පූර්ණයෙන් ම බ්‍රිතාන්‍යයන් සතු වුවත් උඩරට ගිවිසුමේ 05 වන වගන්තිය මගින් බුද්ධාගම සම්බන්ධයෙන් දක්වා ඇති එකගතාවයෙන් රටේ ස්වාධීනත්වය තහවුරු කරගෙන ඇත.

උඩරට ගිවිසුමේ 05වන වගන්තිය මෙසේය.

උඩරට ගිවිසුමේ 5 වන වගන්තිය අනුව බුද්ධ ශාසනය රටේ නීතියේ අඩිතාලම බව බ්‍රිතාන්‍යයන්ද පිළිගෙන ඇති අතර එය ආරක්ෂා කිරීමේ වගකීම සහ යුතුකම භාරගෙන තිබුණි.

එමෙන්ම උඩරට ගිවිසුම සිංහල භාෂාවෙන් ද කෙටුම්පත් කිරීමෙන් භාෂා පරමාධිපත්‍යය තවදුරටත්

ආරක්ෂා කර තිබුණේ බුද්ධ ශාසනයේ කොටසක් වන බෞද්ධ ජනතාවගේ භාෂා අයිතිය ආරක්ෂා කරමිනි.

උඩරට ගිවිසුම සඳහා බ්‍රිතාන්‍ය කිරීටය වෙනුවෙන් එවකට ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරවරයා ලෙස කටයුතු කළ රොබට් බ්‍රවුන්රිග් අත්සන් තබමින්ද, ගිවිසුමේ අනෙක් පාර්ශවය වූ සිංහල රාජධානිය වෙනුවෙන් පිළිවෙළින් ඇහැළේපොළ නිලමේ හා පළමු අධිකාරම්, හත් කෝරලේ දිසාවේ මොල්ලිගොඩ හා දෙවැනි අධිකාරම්, සබරගමුව දිසාවේ පිළිමතලව්වේ, හතර කෝරලේ දිසාවේ පිළිමතලව්වේ (නැවත වරක්), ඌවේ දිසාවේ මොනරවිල, වලපනේ දිසාවේ දූල්ලෑවේ, වෙල්ලස්සේ හා බින්තැන්නේ දිසාවේ වූ මිල්ලෑව, තමන්කඩ දිසාවේ ගලගම සහ නුවර කලාවියේ දිසාවේ වූ ගලගොඩ යන අත්සන් කරමින් ද, එකී ජාත්‍යන්තර ගිවිසුම මගින් බුද්ධ ශාසනයටත්, සිංහල භාෂාවටත් ජාත්‍යන්තර බැදීම සහ පිළිගැනීම ලබා දී තිබුණි. (ගිවිසුමේ අත්සන් පිළිබද ගැටලුවක් ඇති බව ඇතැමෙකුගේ අදහසයි)

එසේ වුවත් වැඩිකල් යාමට මත්තෙන් බුදු සසුන රැක ගැනීමට සහ සිංහල නීතිය පවත්වාගෙන යාමට බ්‍රිතාන්‍යයන් දුන් පොරොන්දු සියල්ලක් ම කන්ද උඩරට රාජ්‍යයේ බලය අල්ලා ගැනීම සඳහා යොදන ලද උපක්‍රමයක් බව පැහැදිලි වූයෙන් සහ රැවටීමට ලක් වීම 1818 කන්ද උඩරට කැරැල්ලට මූලික අඩිතාලම වැටුණි.

එකී 1815 කැරැල්ල කෲර ලෙස මර්ධනය කරමින් උඩරට ගිවිසුම අනුව නොව සිය අභිමතය අනුව රට පාලනය කිරීමට බ්‍රිතාන්‍යය කටයුතු කළේය.

තමන්ට සියල්ල වැරදී ඇති බවත් උඩරට ගිවිසුම හුදු කඩදාසියක් බවත් සිංහල ජනතාව තේරුම් ගන්නා විට නීතියෙන් ඔවුන් සිරවී අවසන් වී තිබුණි.

ඒ අර්ථයෙන් ගත් විට 2019 ජනාධිපතිවරණය සහ 2020 පාර්ලිමේන්තු මැතිවරණය රටට ඉතා වැදගත් වේ. එදා 1815 ගිවිසුමෙන් කර ගත් අවාසිය මෙදා ඡන්ද බලයෙන් අත් කර නොගැනීමට ජනතාව පරිස්සම් වීම වැදගත් ය. විශේෂයෙන් පොහොට්ටුවට ඡන්දය දුන් ඡන්ද දායකයන් 1815 සිදුවූ රැවටීම නිසි ලෙස අධ්‍යයනය කිරීම වැදගත් වේ.

බ්‍රිතාන්‍ය ඇතුලු යුරෝපීයන් සමග වැඩියෙන් සම්බන්ධතා පැවත්වීමට රිසි වූ එක්සත් ජාතික පක්ෂයේ නායක සහ 2015 පාර්ලිමේන්තු මැතිවරණයෙන් අගමැති වූ රනිල් වික්‍රමසිංහ මහතාට 2020 පාර්ලිමේන්තු මැතිවරණයෙන් මන්ත්‍රී ධූරයක් පවා ලබා නොදී ඛේදනීය මැතිවරණ පරාජයක් අත් කර දීම 1815 උඩරට ගිවිසුමෙන් බ්‍රිතාන්‍යයන් විසින් ජනතාව රැවටුවීමේ එක් ප්‍රතිඵලයකි.

කාරණා එසේ වුවත් සිංහල බහුතර ඡන්දයෙන් බලයට පත් රාජපක්ෂ ජනාධිපතිවරයා තමන්ගේ ලේකම් ලෙස පත් කර ඇති අයගේ ක්‍රියා කලාපය දෙස මැදිගත්ව බලන්නේ නම් වඩා උචිත වේ.

ජනාධිපති ලේකම් පී. බී. ජයසුන්දර මහතා 2020.08.11 දින අමාත්‍යංශ ලේකම්වරුන් වෙත යවා ඇති පහත ලිපිය අධ්‍යයනය කිරීමේදී රනිල් වික්‍රමසිංහ පාර්ශවය දේශපාලනිකව පරාජය වී නැති බව හොඳින් පැහැදිලි වේ.

සිංහල බහුතර ඡන්දයෙන් බලයට පැමිණි ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ලේකම්වරයාට රාජ්‍ය භාෂාව වන සිංහල භාෂාවෙන් සිය ලේකම්වරුන් අමතා ලිපි ලිවීමේ කිසිම බාධාවක් නැත.

එසේ වුවත් ජනාධිපතිවරයා ලේකම්වරයා, අමාත්‍යාංශ ලේකම්වරු ඇමතීමට යොදාගෙන ඇත්තේ රටේ රාජ්‍ය භාෂාව නොව1815 දී ස්වදේශිකයන්ව රැවටූ බ්‍රිතාන්‍යයන්ගේ භාෂාවයි. මෙවැනි ක්‍රියාවන් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා නොදැනුවත්ව සිදු විය හැකි වුවත් ඉන් ගම්‍යමාන වන්නේ 1815 සිදු වූ ආකාරයට සිංහල ජනතාව රැවටීම නැවත සිදු වෙමින් පවතින බවයි.

මද්‍රසා පාසල්, කාති උසාවි, පාස්කු ප්‍රහාරය, උප්පැන්න සහතිකයේ සිංහල ජනවර්ගයක් කිරීම, ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ නඩු තීන්දු සිංහල භාෂාවෙන් ලබා දීම වළක්වා ඇති කේ. ඩබ්. දේවනායගම් අධිකරණ ඇමතිවරයාගේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙ 24 ව්‍යවස්ථාව යටතේ නිකුත් කර ඇති ගැසට් පත්‍රය වැනි කාරණා සම්බන්ධයෙන් ජනතාව අතර සාකච්ඡා වෙමින් පවතින හෙයින් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා අධිකරණ අමාත්‍යවරයා ලෙස අලි සබ්රි ජනාධිපති නීතිඥවරයාව පත් කිරීම සම්බන්ධව මෙම ලිපියෙන් සාකච්ඡා කිරීමට අදහස් නොකරන නමුත් අධිකරණ ඇමතිවරයාට බලපෑමක් ඇති කරන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 09වැනි ව්‍යවස්ථාවත් , 105.4 අනු ව්‍යවස්ථාව සම්බන්ධව අවධානයට යොමු කිරීමට සීමා වී ඇත.

 

සංඝාධිකරණ පිහිටුවීම….

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 09වැනි ව්‍යවස්ථාව මෙසේය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 105.4 වැනි අනු ව්‍යවස්ථාව මෙසේය.

වර්තමාන 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 09 සහ 105.4 ව්‍යවස්ථා දෙස අවධානයෙන් බැලීමේදී 1815 උඩරට ගිවිසුමේ 05 වන වගන්තිය මගින් බුද්ධ ශාසනය ආරක්ෂා කිරීම තව දුරටත් තහවුරු කර ඇති බව පැහැදිලි වේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 105.4 ව්‍යවස්ථාව අනුව

1. භික්ෂූන් වහන්සේලාගේ විනය හා සම්බන්ධ කාරණා හෝ

2. භික්ෂූන් වහන්සේලා අතර ඇති යම් ආරවුලක් හෝ

3. විහාරස්ථාන වලට අදාල සේවාවන් ඉටු කිරීම හා සම්බන්ධ වෙනත් ආරවුලක් හෝ

විනිශ්චය කොට සමථයකට පත් කිරීම සඳහා අධිකරණ, විනිශ්චය අධිකාර හෝ ආයතන ඇතිකොට පිහිටුවීමට පාර්ලිමේන්තු විසින් නීතියෙන් විධිවිධාන සැලැස්විය හැකිය.

ඒ අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3 වැන ව්‍යවස්ථාව සහ 4වැනි ව්‍යවස්ථාව ද සංඝාධිකරණ පිහිටුවීම සම්බන්ධයෙන් වැදගත් වේ.

මේ සම්බන්ධයෙන් ඉදිරියේදී විස්‍තරාත්මකව සාකච්ඡාවට ලක් කිරීමට අදහස් කරන අතර

1815න් පසු සිංහලයන් නැවත රැවටුණාද? අලුත් රනිල් , ජනාධිපති ලේකම්ද? ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිගෙන ඇති සංඝාධිකරණය පිහිටුවීම තවත් කල් යයිද? යන්න පිළිබද පොහොට්ටුවට ඡනදය දුන් ඡන්ද දායකයන් අවධානයෙන් සිටීම වැදගත් වේ.

ඒ මන්ද යත් රෑ වැටුණු වලේ දවල් වැටීමෙන් බේරිය හැකි නිසාත්, වක්කඩේ හකුරු හැංගීමෙන් ඵලක් නැති නිසාත්, ගිනි පෙනෙල්ලෙන් බැට කෑ විට කලාමැදිරි එළියටත් චකිතයක් ඇතිවන නිසාත් ය.

නීතිඥ අරුණ ලක්සිරි උණවටුන
arunaunawatuna@gmail.com

Top