විශේෂාංග

“මේං ගහපල්ලා!” කියා තම වර්ගවාදී විරුද්ධවාදීන්ට රනිල් දුන් ඉලක්කය

අන් දේශපාලන නයුවකු විසින් ගනු ලැබී නම් ප්‍රශස්ත විය හැකිව තිබුණු තීරණයක් අද රනිල් වික්‍රමසිංහ විසින් ගනු ලැබුවා. නමුත් වික්‍රමසිංහට මේ තීරණය ගැනීමට පෙළඹවූ පසුබිම ඉඳුරාම වෙනස් නිසා ඔහුට ඒ ගෞරවය කොහොමටවත් හිමි වන්නේ නැහැ. අනෙක් අතට එය අමනොඥ තීරණයක් සේ එක්සත් ජාතික පාක්ෂිකයින් පවා දකින්නට පුළුවන්. නායකත්වය හා පක්ෂය අතර සබැඳියාව නැවත පෑහිය නොහෙන ලෙස බිඳී ගිය අවස්ථාවක තවදුරටත් වික්‍රමසිංහ පාක්ෂිකයින්ගේ අදහස් සැලකිල්ලට ගනීය සිතන්නට අපහසුයි. (දැන් පොදු එක්සත් ජාතික පාක්ෂිකයාට වික්‍රමසිංහ යනු ගලවා ගැනීමට නොහැකිව දැඩි ලෙස රිදුම් දෙන නරක් වූ දතක්.)

දේශපාලනයට පිවිසීමට පෙරාතුව ඉරාන් වික්‍රමරත්න රටේ ජ්‍යෙෂ්ඨතම බැංකුකරුවෙක්. තම ආයතනයේ ප්‍රශස්ත ව්‍යාපාරික දායකත්වය වෙනුවෙන් ‘බිස්නස් ටුඩේ ටොප් ටෙන්’ අතරට තේරී ජනාධිපති අතින් සම්මාන ලද විශිෂ්ට වෘත්තිකයෙක්. ඔහු ලංකාවේ ප්‍රමුඛ සංවර්ධන හා වාණිජ බැංකුවක් වූ ජාතික සංවර්ධන බැංකුවේ ප්‍රධාන විධායක ධුරය දැරුවා, මාස කිහිපයකට පෙර ඉන් සිය කැමැත්තේන් ඉල්ලා අස්වන අවස්ථාව වන තෙක්.

අපේ රටේ ‘දේශප්‍රේමී’ ජහ මනයාට මේ කිසිවක් වැදගත් නැහැ. ඒ වෙනුවට ඔවුනට වඩා වැදගත් ඔහු සාපේක්ෂව කුඩා ‘දේව සභාව’ (Assembly of God) නම් කිතුණු නිකායක දේවගැතිවරයකු වීම. මේ නිසා සිංහලයකුව උප්පත්තිය ලැබුවත් වික්‍රමනායක සිංහල බෞද්ධ මහා ප්‍රවාහයේ මහා සම්ප්‍රදායයට පිටස්තරයෙක්. ඩැමෝක්ලස්ගේ අසිපත සේ (Sword of Damocles) මේ සාමයික ඥාතිත්වය ඔහුගේ හිසට ඉහළින් අස් ලොමකින් එල්ලී සිටිනවා. උපතින් රෝමානු කතෝලිකයකු වූ ලසන්ත වික්‍රමතුංග ඔහු ඝාතනය වීමට වසර කිහිපයකට පෙර පරිවර්තනය වූයේ මේ ‘දේව සභාව’ නිකායේ ආගමිකයකුට. වික්‍රමතුංගගේ ආදාහන උත්සවයට ‘දේව සභාව’ පල්ලියෙන් ලද අනුග්‍රහය විශාලයි. මේ කාරණාවද දේශපාලන වශයෙන් වික්‍රමනායකට ගොනකු පසුපසින් එන කරත්ත රෝදය සේ බරක් මිස ඡායාව සේ සැහැල්ලුවක් නෙවෙයි.

වික්‍රමනායක අතින් තැනැතිව (individually) හෝ ඔහුගේ කිතුණු නිකායෙන් ලේඛකයා දන්නා තරමින් මොනම අවස්ථාවකවත් බුදු දහමට හෝ වෙනත් කිසිම ආගමකට අකටයුත්තක් වී නැති බව සාධාරණත්වයේ නාමයෙන් සඳහන් කළ යුතුයි. නමුත් අනෙක් අතට අන්තවාදී ‘සිංහල බෞද්ධ’ මැරයන් විසින් පසුගිය වසර හතක කාලය තුළ මෙම නිකායේ පල්ලි කිහිපයක්ම ගිනිබත් කොට තිබෙනවා. මේ අනීතික, අවිචාරමත් ක්‍රියා පසුපස ඉන්නේ කවුරුන්දැයි හඳුනා ගැනීම අපහසු නැහැ. හෝමාගම හන්දියේ පැවති ප්‍රසිද්ධ රැස්වීමකදී ජාතික හෙළ උරුමයේ පැවිදි නායක එල්ලාවල මේධානන්ද Assembly of God බෞද්ධයින්ගේ පරම හතුරා ලෙස හඳුන්වමින් ප්‍රකාශයක් කළේ නුදුරුව පිහිටි එම නිකායේ පල්ලියක් මැරයින් විසින් ගිනි දෙවියාට පිදීමට දින කිහිපයකට පෙරාතුවයි.

ඉරාන් වික්‍රමරත්න එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු සේ පත් කිරීම විවාදාපන්න මාතෘකාවක් වන්නේ මේ පසුබිම මත. එක පැත්තකින් ඔහුගේ පත්වීම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ජේ. ආර්. පී සූරියප්පෙරුම නම් නිර්ලජ්ජිත වර්ගවාදියා පාර්ලිමේන්තුවට පත්කිරීමට සාපේක්ෂව ප්‍රගතිශීලී පියවරක්. එහෙත් මේ නිසා දැනටමත් රටේ බහුතර සිංහල ජනතාව අතර විශ්වාසය බිඳගෙන සිටින එක්සත් ජාතික පක්ෂයට මේ පත් කිරීම ඍණ මිස ධන බලපෑමක් කරන්නේ නැහැ. එක්සත් ජාතික පක්ෂය පැත්තෙන් වික්‍රමරත්න ‘වගකීමක්’ (liability) මිසක ‘වත්කමක්’ (asset) නෙවෙයි. කාටත් තේරෙන බාසාවෙන් කිව්වොත් ඔහුගේ එක්වීම දීර්ඝකාලීනව එම පක්ෂයට ඡන්ද අඩු කරනවා මිස වැඩි කරන්නේ නැහැ. ඔහු පාර්ලිමේන්තුවට ගැනීමෙන් රනිල් වික්‍රමසිංහ කරන්නේ “මේං ගහපල්ලා!” කියා තම වර්ගවාදී විරුද්ධවාදීන්ට තමන්ට ලෙහෙසියෙන් පහර ගසන්නට තවත් ඉලක්කයක් තනා දීම පමණයි. සිංහල බෞද්ධ සමාජයේ ඇට මිඳුළු දක්වා කා වැදුණු වර්ගවාදය වික්‍රමරත්නට එරෙහිව කොයි තරම් ප්‍රබලව ක්‍රියාත්මක වේද යන්න අපට අනාගතයේදී දැකගත හැකි වනු ඇති.

රනිල් වික්‍රමසිංහගේ පැත්තෙන් ඔහු මේ තීරණය ගන්නේ වික්‍රමරත්නගේ ශක්‍යතාව නිසා නම් නෙවෙයි. තම පන්තියෙන්ම බිහිවූ, තමන් අකුරු කරන්නට ගිය රෝයල් කොලීජියටම ගිය, තමන්ට හුරු ඉංගිරිසි භාෂාවෙන්ම හිතන (සමහරවිට තමන් තවමත් හොරෙන් අදහන ආගමම අදහන), අකරතැබ්බයකදී වුවත් තමන් අතහැර යාමේ හැකියාවක් නැති පන්ති සගයකු තමන් අසළ සිටීම මේ කරදර අවස්ථාවේ වික්‍රමසිංහට මහා සහනයක්. (වර්ගයා අතහැර යාමේ විපාක මිලින්ද මොරගොඩ විසින් අවබෝධ කර ගනු ලැබුවේ සංවේගදායක අන්දමට. එක්සත් ජාතික පක්ෂය හැර නොගියා නම් මොරගොඩ අදත් මන්ත්‍රීවරයෙක් බවට සැක නැහැ. එය ඔහුට තමන්ගේ පසුබිම අනුව තමන් සිටිය යුතු තැන අවබෝධ කර ගැනීමට ඇති නොහැකියාව පිළිබිඹු කරන්නක්. වික්‍රමරත්නද මේ ගොන්කමම නොකරනු ඇති බව වික්‍රමසිංහ සිතනවා ඇති.)

මේ නිසා මේ පියවර සුළුතරයක අයිතීන් වලට ගරු කිරීමක් ලෙස හෝ අභිනවයෙන් තේරී පත්වූ අජිත් පී. පෙරේරා මන්ත්‍රීතුමා තම පාර්ලිමේන්තු සගයා ගැන මෝඩ ලෙස උදම් අනන ආකාරයට වෘත්තිකයින්ට තැන දීමක් සේ හඳුනා ගැනීමට අප ඉක්මන් විය යුතු නැහැ. මේ තීරණයේ හරි හෝ වැරදිබව නීර්ණය කරනු ඇත්තේ අනාගතය විසින්.

අජිත් පී. පෙරේරා සිතනවාට වඩා සපුරා වෙනස් අර්ථයකින් ඉරාන් වික්‍රමරත්නගේ දේශපාලන ආගමනය වැදගත් වේයැයි ලේඛකයා සිතනවා. ඒ උපතින් සිංහලයකු වුවද, සිංහල බෞද්ධ මහා සම්ප්‍රදායයෙන් පරිබාහිර, එම මහා සම්ප්‍රදායයේම ජාතික හෙළ උරුමය වන් අන්තවාදී කණ්ඩායම්වල වෛරයට පාත්‍රවූ සුළුතර කණ්ඩායමක් නියෝජනය කරන දේශපාලන චරිතයක හැසිරීම අපේ රටේ ජහ මනයා විසින් පිළිගනු ලබන්නේ කවරාකාරයකින්ද නිරීක්ෂණයට මේ අපූරු අවස්ථාවක් නිසා. ජහ මනයා සිටින්නේ ජාතික හෙළ උරුමයට ඉදිරියෙන්ද පසුපසින්ද කියා තීරණය කිරීමට ඉරාන් වික්‍රමරත්න කෙරෙහි ඔවුන්ගේ හැසිරීම හොඳ දර්ශකයක් වනවා සිකුරුයි.

Taboo Subjects

Top