විශේෂාංග

සෞඛ්‍ය අමාත්‍යවරයාගේ ලුණු සීනි කැකිල්ලේ න්‍යාය

පසුගිය දිනක ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය ඇමතිවරයා විසින් බෝ නොවන රෝග රට තුළ ප‍්‍රධාන ප‍්‍රශ්ණයක් බවට පත් වී ඇති බැවින් ඒ සඳහා කඩිනම් විසඳුම් වශයෙන් පොල් තෙල්, ලුණු හා සීනි වලට විශේෂ බද්ධක් ඇති කොට එම ආහාර ද්‍රව්‍යවල මිල වැඩි කිරීමට කටයුතු කරන බවත් එමඟිගින් බෝ නොවන රෝග ප‍්‍රචලිත වීම පාලනය කිරීමට කටයුතු කරන බවත් සඳහන් කළේය.

ඇත්ත වශයෙන්ම මෙය වෛද්‍යවරයෙක් නොවන අයකු පැවසූයේ නම් මේ ගැන එතරම් තැකීමක් කළයුතු නැත. එහෙත් වෘත්තියෙන් වෛද්‍යවරයෙකු වූ ද, තම බිරිඳ ද ප‍්‍රසිද්ධ වෛද්‍යවරියක් හා සෞඛ්‍ය අමාත්‍යාංශයේ සැලකියයුතු නිලයක් දැරූ පුද්ගලයෙක් ද වූ පවුලක දේශපාලඥයෙක් වන වත්මන් සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා විසින් මෙවැනි ප‍්‍රකාශයක් කිරීම තුළින් ඔහුගේ සෞඛ්‍ය පිළිබඳ දැනුම හා ජනතාවගේ සෞඛ්‍ය ප‍්‍රශ්ණ විශ්ලේෂණය කිරීමේ දේශපාලනික වෛද්‍යවරයකුගේ හැකියාව පිළිබිඹු වන අතර අනාගතයේ සෞඛ්‍ය සේවයට අනිච්ඡාවත සංඛාරා යැයි කියනවා මිස වෙන දෙයක් කීමට නොහැකිය.

අද වන විට ලෝකයේ සියළු දියුණු රටවල් පොල්තෙල් යනු ලොව අංක එකේ සෞඛ්‍ය ආරක්ෂිත ආහාරමය ශාක තෙල් බවට පිළිගෙන ඇති අතර ඒ සඳහා සිදු කරන ලද දහස් සංඛ්‍යාත පර්යේෂණ වාර්තා මඟින් ඒ බව ඔප්පු වී ඇත. සෞඛ්‍ය පිළිබඳ යම් තරමක හෝ උනන්දුවක් දක්වන ඕනෑම අයෙකුට මෙම දත්ත අන්තර් ජාලය ඇසුරෙන් සොයාගත හැක.

එමෙන්ම ලුණු යනු ආහාර සඳහා ස්වභාවධර්මයෙන් ලබා දුන් මහඟු දායාදයක් වේ. ලෝක ඉතිහාසය අධ්‍යයනය කරන ඕනෑම අයෙකුට ලුණු සඳහා ලෝක ඉතිහාසයෙන් දී ඇති ඉහළ වටිනාකම තුළින් මිනිසාට අවශ්‍ය ලුණු ලබා ගැනීම සඳහා මිනිසා කොතරම් අරගල කර ඇතිද යන්න සොයාගත හැක.

එමෙන්ම අධික ලුණු පරිහරණය ශරීරයට යම් තරමකට හානිදායක වුවද ලුණු යනු ශරීරයට අත්‍යවශ්‍ය සංඝටකයක් වේ. ලුණු නිසා ඇතිවන යම් හානියක් වේද, එම හානිය අවම කර ගත හැක්කේ සෞඛ්‍යමය වශයෙන් ජනතාව දැනුම්වත් කිරීමෙන් මිස එම ද්‍රව්‍යවල මිල අසාධාරණ ලෙස වැඩි කිරීමෙන් නොවන්නේය.

එමෙන්ම සීනිවල සෞඛ්‍යමය වශයෙන් ඇති අගතිය කතා කිරීම මෙන්ම සීනි යනු බොහෝ දුප්පතුන්ගේ ශක්ති අවශ්‍යතාව සපුරන ලාබ ආහාරමය සංඝඨකයක් වේ. දවස පුරා තේ පඳුරු අතර හේනේ, වත්තේ වැඩ කරන ගොවියාගේ හා කම්කරුවාගේ කහට කෝප්පයට අනුපානය වශයෙන් අතට සීනි අහුරක් ගෙන කෑම පුරුද්දක් මෙන්ම තම බඩගින්න අඩු කර ගැනීමේ සරලම හා ලාබම ක‍්‍රමවේදයක් වේ.

බහුතර ජනයා සීනි කිලෝ ගණන් මිලදී ගන්නේ නැත. සීනි ග්‍රෑම් 100 ක් 200 ක් මිලදී ගෙන එය අරපිරිමැස්මෙන් භාවිත කරන්නේය. එමනිසා සෞඛ්‍ය ඇමතිතුමාගේ පුංචි මොලේට මේ තත්ත්වය නොතේරීම තුළ හෝ ඔහුගේ රජය පත්වී ඇති ආර්ථික අගාධයෙන් ගොඩ ඒමට පට්ට කෙබර වපුරා දුප්පතාගේ බඩට ගැසීමට මංපෙත සැලසීම මිස මෙම ව්‍යායාමය වෙන දෙයක් සඳහා නොවන්නේය.

රටේ සෞඛ්‍ය අමාත්‍යවරයා වශයෙන් අවංකවම බෝ නොවන රෝග පාළනය සඳහා කටයුතු කිරීමට එතුමාට හා ඔහුගේ රජයට අවශ්‍යනම් මෙම මෝඩ යෝජනාවලට වඩා කළ යුතු බොහෝ දේ ඇත.

රටේ බත් පරිභෝජනයට වඩා ආනයනික පාන්පිටි පරිභෝජනය ඉහළ ගොස් ඇත. අධික පාන්පිටි පරිභෝජනය බෝ නොවන රෝග සඳහා අංක එකේ වගකියන්නා වේ. එමනිසා පාන්පිටි වලට ලබාදෙන සහන ඉවත්කර ඒ සඳහා සැලකිය යුතු බද්දක් පැනවීමෙන් අමාත්‍යවරයාගේ අරමුණු සාක්ෂාත්කර ගත හැක. එමඟින් රටේ වී ගොවියාද ආරක්ෂා වී ජනතාවගේ සෞඛ්‍යද ආරක්ෂා වනු ඇත. ජනතාවට පාන් නොකෑවට බත් කෑ හැක. එමෙන්ම රටපුරා ඇවිදින චූන්පාන් වෑන් නැවැත්වීමට හැකියාවක් ඇතිනම් ලුණු සීනිවල මිල වැඩි කිරීමෙන් බලාපොරොත්තු වන ප‍්‍රතිඵලයට වඩා හොද ප‍්‍රතිඵලයක් ඔහුට ලබාගත හැක.

එමෙන්ම රට පුරා වසංගතයක් ලෙස පැතිර යන කෙටි ආහාර හා කඩ කෑම රස කිරීමට භාවිත කරන ලොව අංක එකේ විස සහිත රසකාරකයක් වන සියළු බෝ නොවන රෝග සඳහා වගකියන්නා ලෙසට විද්‍යාත්මකව ඔප්පු වී ඇති මොනෝසෝඩියම් ග්ලූටමේට් තහනම් රසකාරකයක් ලෙස නීතිගත කිරීමට තරම් අමාත්‍යවරයාට කොන්ද පණ ඇත්නම් රට තුළ බෝ නොවන රෝග පාළනය කිරීමට සීනි, ලුණු, පොල්තෙල් මිල ඉහළ දැමීමට වඩා ප‍්‍රතිඵලදායක වනු ඇත.

වෛද්‍ය සුමිත් වන්නිආරච්චි

සභාපති

ශ‍්‍රී ලංකා හරිත පක්ෂය 

Top