අලින්ට සහ රතු අලින්ට තහනම් වචනය – රණ විරුවා
ජවිපෙ සිය සාමාජිකයන්ට ‘රණ විරුවා’ යන වචනය තහනම් කරන්නේ යුධ ජයග්‍රහණයටත් පෙරාතුවය. මෙය මුසාවක් නම්, අනුර කුමාරට ප්‍රසිද්ධියේ රණ විරුවා යැයි කට පුරා කියා පෙන්විය හැකිය. නමුත් ඔහුට හෝ එම පක්ෂයේ සාමාජිකයින්ට හෝ “රණ විරුවා” යැයි පැවසිය නොහැක. අනුර කුමාර පසුගිය දශකය පුරාම රණ විරුවා යන වචනය පවසා නැත. විමල් වීරවංශලා ජවිපෙ සිටියදී රණ විරුවා යැයි පවසන විටද අනුර කුමාර එම වචනය මග හැරීය. ඔහු පක්ෂ නායකත්වයට පත් වන්නට පෙරාතුවම එම වචනය සිය පක්ෂ සාමාජිකයින්ගේ මුඛයෙන් උගුල්වා දැමීමට ඔහුගේ කල්ලිය සමත් විය.
රනිල් වික්‍රමසිංහ රණ විරුවන්ට නිසි ගෞරවය දක්වා කතා කරනවා මෙරට ජනතාව දැක නැත. අප දැක ඇත්තේ ඔහු හා ඔහුගේ අනුගාමිකයින් රණ විරුවන් අවමානයට ලක් කරනවා පමණි. එය උන්ගේ දේශපාලන ව්‍යාපෘතියේම කොටසකි.
දැන් රජයේ මාධ්‍යයටද රණ විරුවා යන්න තහනම් වචනයකි. පෞද්ගලික මාධ්‍යය වෙතද එය අනවශ්‍ය වචනයක් බවට මේ රජයෙන් උපදෙස් ලැබී ඇත.
ඉතා භයානක රෝග නිශ්චයන් කරා එළැඹිය හැක්කේ රෝග ලක්ෂණයන් නිරීක්ෂණය හරහාය. මේ “රණ විරුවා” යන වචනය ඉවත් කිරීමට රජය උනන්දු වීම ඉතා භයානක රෝගයක ලක්ෂණයක් බව අපි දකිමු. කුමක්ද මේ රෝගය?
යුද්ධයෙන් දිනා සම්මුතියෙන් පරදින ජාතිය
සිංහලයා එදා පටන්ම යුද්ධයට දක්ෂය. පෘතුග්‍රීසීන්ට, ලන්දේසීන්ට සහ ඉංග්‍රීසීන්ට සටන් මඟින් සම්පූර්ණ රට අත්කර ගත නොහැකි විය. ආක්‍රමණයක් මඟින් 1803 දී නුවර බලය ඇල්ලූ ඉංග්‍රීසීනට මාස කිහිපයක් යනවිට මාරාන්ත්‍රික ප්‍රතිප්‍රහාරයක් එල්ල කොට සිංහලයන් යළි බලය ඇල්ලීමට සමත් විය. 1803 දී සුද්දන් පළවා හැරීමට දායක වූවෝ විරුවන් ලෙස එදා සමාජය හඳුන්වන්නට ඇත.
නමුත් 1815 දී ගිවිසුමකට අසුවූ සිංහලයනට යළි ඒ බලය අල්ලා ගත හැකි වූයේ නැත. අප යුද්ධයට දක්ෂ වූවද ගිවිසුම් වලට එළැඹිමේදී ඉතා දුර්වලයෝ වීමු, වෙනත් පාර්ශවයන් සමඟ බොහෝ ගිවිසුම්වලට අප එළැඹ ඇත්තේ බල ලෝභය මූලික කොට ගෙන මිස රට දැය සමය පෙරට තබා නොව. ජේ ආර් ජයවර්ධනගේ ඉන්දු ලංකා ගිවිසුම, රනිල්-ප්‍රභාකරන් ගිවිසුම මෙන්ම මෙවර ජිනීවාහිදී නූතන අධිරාජ්‍යවාදී රටවල් විසින් අප රටට එරෙහිව ගෙනෙන ලද යෝජනාවට අපගේ රජයම පාර්ශව කරුවකු වීමද එවැනි බල ලෝභය නාභියෙහි තබා එළැඹි ගිවිසුම් පිළිබඳ මෑත කාලීන නිදසුන්ය.
1815 කූප්‍රකට උඩරට ගිවිසුමෙන් මෙරට පාවා දුන්නාට පසු මෙරට ස්වදේශික ජාතිමාමක ජනයා ඉන් වසර තුනක් ඉක්ම යත්ම 1818දී පළමු කැරැල්ළ ඇරඹීය. ඊට දායක වූවෝ විරුවෝය. නූතන වචනයෙන් ඔවුහූ රණ විරුවෝය. නමුත් සුදු අධිරදුන් ඔවුන් හැඳින්වූයේ කැරළි කරුවන් , අපරාධ කරුවන් ලෙසටය. එදාද සුද්දෝ අත්අඩංගුවට ගත් රණ විරුවන්ව අධිකරණය වෙත කැඳවුහ. නඩු කාරයා සුද්දෙකි. නඩු අසන්නට පෙරම තීන්දුව පැහැඳිලිය. වීර මොණර කැප්පෙට්ටිපොල, මඩුගල්ලේ ආදී රණ විරුවන් එදා මේ ලංකාද්වීපය තුළ සුද්දන්ගේ යුද්ධාධිකරණ තීන්දු මඟින් හිස කඳින් වෙන් කෙරුනි. ඒ මොහොත වන විට ඒ විරුවන් වෙනුවෙන් ස්වදේශික ජනතාවට කළ හැකි එකම දෙය වූයේ “අනිච්ඡේ දුක්ඛේ සංසාරේ” යයි කම්මුලේ අත ගසා ගෙන ශෝකවීම පමණි. කෙතරම් අසාධාරණ හා අයුක්තිසහගත වුවත් ඒ ක්‍රියාත්මක කෙරුනේ සුද්දන්ගේ අධිකරණ තීන්දුය. අප වරදා ගෙන තිබුනේ සිංහලේ රජු කුදලාගෙන ගොස් අධිරාජ්‍යවාදීන්ගේ දෙපා මුල දැමූ මොහොතේය. 1815 හි ගිවිසුම අත්සන් කළ මොහොතේය.
හෙට දිනයේදී මේ රජය දැන් එකඟ වී ඇති පරිදි ලංකාවේ දැනට පවතින අධිකරණ ක්‍රියාදාමයට පිටින් ගොස් පිහිටුවනු ලබන විදේශිකයන් නඩු අසන විශේෂ දෙමුහුම් අධිකරණ ක්‍රියාදාමයක් තුළ ලැබෙන ප්‍රතිපලය වනු ඇත්තේ 1818 අරගලයට පණ දුන් රණ විරුවන්ට අත්වූ ඉරණම හා සමාන ඉරණමකට අපගේ නූතන රණ විරුවන් පත් කිරීම බව ඉතා පැහැදිලිය.
ජනයාගේ මනසට වෙනසක් – පාදඩයින්ගේ මෙහෙයුම
රණ විරුවා යන වදන භාවිතයෙන් ඉවත් කිරීමට රනිල්ලා සහ රනිල්ගේ අනුගාමික අනුරලා දරන උත්සාහය අප වටහා ගත යුත්තේ මෙකී සන්දර්භය තුළය. නූතන අධිරාජ්‍යවාදයේ මෙරට පාදඩ පාලක නියෝජිතයන්ගෙ කොටස වන්නේ උන්ගේ අවශ්‍යතාවය මෙරට තුළ ඉටුකර ගත හැකි වටපිටාව සකස් කරදීමයි. ඊට හිළව්වට මේ පාදඩයින් ලබා ගත්තේ රාජ්‍ය බලයයි. දැන් ඒ රාජ්‍ය බලය ක්‍රියාත්මක කළ යුතුව ඇත්තේ ඒ බලවතුන් කියන ආකාරයට පමණි.
රණ විරුවන් වෙනුවෙන් මේ රටේ ජනතාව හඬක් නැගීම නතර කළ යුතුය. ඔවුන්ට එරෙහිව වත්මන් අධිකරණ පද්ධතියට පිටින් ගොස් අධිකරණ පිහිටුවන්නට අවැසි සම්පාදන පාර්ලිමේන්තුව තුළ සම්මත කිරීමට එහි සිටින බඩජාරී මන්ත්‍රීන්ට අත එසවීම පහසු කරවනු පිණිස උන්ගේ ඡන්දදායකයින් අකර්මන්‍ය ජීවීන් බවට පරිවර්තනය කළ යුතුය. රණ විරුවන් ගෞරවාදරයෙන් සිහිපත් කරන සමාජයක් එලෙස නිදි වැද නොසිටිනු ඇත. එනිසා කළ යුත්තේ මහජනතාවගේ සිත් සතන් තුළ සිටින විරුවා මුලින්ම නිකම් හමුදා සාමාජිකයකු බවට පත් කර ගැනීමයි. එලෙස සොල්දාදුවෙකු නැතිනම් හමුදා සාමාජිකයකු බවට පත් කරන අතරේ ඉහළ නිලධාරීන් හොරුන් ලෙස හංවඩු ගැසිය හැකි නම් මේ කර්තව්‍යය උන්ට සාර්ථක කරගත හැකිය.
රණ විරුවන්ට සහ ඊට අණ දුන් දේශපාලන නායකත්වයට එරෙහිව අනේක විධ මුල්‍ය වංචා පිළිබද අසත්‍ය චෝදනා එල්ල කරමින් ඒවා මාධ්‍ය හරහා උදේ හවා කියවමින් ඒ විරුවන් හොරුන් කර දැමීමේ මානසික මෙහෙයුම දැන් දියත් කර තිබේ. අනුර කුමාරලා නින්දෙනුත් ඇවන්ට් ගාඩ් පිලිබද දොඩවන්නේ ඒ විරුවන් හොරුන් කිරීමේ න්‍යාය පත්‍රයේ ඉතා පහත්ම පාදඩ කොටස භාර දී ඇත්තේ උන්ට නිසාය. අධිරාජ්‍යවාදීන්ගේ පාපිෂ්ඨ න්‍යාය පත්‍රය වෙනුවෙන් බුරන බල්ලන්ගේ භූමිකාව රඟන කණ්ඩායම බවට එදා අධිරාජ්‍ය විරෝධී වූ පක්ෂය පත් කර ගැනීමට අනුර කුමාරලාට අද හැකියාව ලැබී තිබේ.
මුලින්ම රණ විරුවාගේ චරිතය ඝාතනය කරනු
රණ විරුවා නීතිය මඟින් ඝාතනය කරන්නට පෙර ඔහුගේ චරිතය ඝාතනය කළ යුතුය. මහජන විඥාණය තුළ විරුවන් හොරුන් බවට පත් කළ පසු මේ විශේෂ අධිකරණය පිහිටුවීමට ඇත්තේ විරුවන් යුධ අපරාද කළාදැයි සොයා බැලීමට නොව, අර සොරුන් විසින් යුධ අපරාධ කළාදැයි සොයා බැලීමටයි. ඒ වන විට ගොනාට අන්දා ගන්නා ලද මහජනතාව මොවුන් විරුවන්ද නැතිනම් හොරුන්ද යයි සිතා ගත නොහැකිව උඩ බිම බලමින් පසුවන අකර්මන්‍ය මන්ද බුද්ධිකයන් පිරිසක් බවට පත් කර ගත යුතුය. විරුවන් හොරුන් ලෙස වර නංවා ඒ හොරුන් යුධ අපරාධකරුවන් බවටද පත් කර දඬුවම් ලබා දෙන විට ජනතාවට එය “යුක්තිය, සාධාරණත්වය හා නීතියේ ආධිපත්‍යය” ලෙස තවත් බොරු කන්දක් සමඟ එකට කළවම් කර පෙවිය හැක. වරද කර ඇත්නම් කර්මය රිය සක මෙන් තමා පසුපස එන බව වැළැක්විය හැකි ජගතෙකු මෙදියතේ නොමැති බවත්, බුදුන් අනුදැන වදාළ ධර්මය එය බවත් එදාට සෝභිත හිමි දේශනා කරනු ඇත.
මහජනතාව මේ මොහොතේ තේරුම් ගත යුත්තේ ඒ ඉරණමට රණ විරුවන් පත් වන තෙක් බලා සිටීම අප අතින් සිදු විය හැකි බලවත් පාප කර්මයක් බවයි. අපි දැනුවත් වෙමු. බොරු කන්ද අතරින් සත්‍යය සොයා ගමු. අපට හා අපගේ දුවා දරුවන්ට අභය දානය දුන් රණ විරුවන් වෙනුවෙන් එක්ව නැගී සිටිමු. රජය විසින් යෝජනා කරන පරිදි විශේෂ අධිකරණය පිහිටුවීමෙන් පසුව දැඟලීමෙන් පලක් නොවනු ඇත. ඉස්තාලය අශ්වයා පලා යාමට පෙර වසා දැමිය යුතුය. මේ මොහොතේ ඇස් කන් පියාගෙන සිටීම ආත්මාර්ථකමෙකි. පාදඩයින්ට ඉඩදීම පාදඩකමෙකි.
ලසන්ත වික්‍රමසිංහ
යුතුකම සංවාද කවය