විශේෂාංග

නමක්‌ හා මූණක්‌ නැති අබිරහස්‌ සාක්‌කිකරුවන් හා වන්නි මෙහෙයුමේ සේනාධිපතිවරුන්ගේ ඉරණම?

ඉන්දියාවේ අම්රිත්සාර්හි රන්දෙවොල සීක්‌ ත්‍රස්‌තවාදීන්ගෙන් බේරා ගැනීම සඳහා ජනරාල් අරුන් විද්‍යා ඔපරේෂන් බ්ලූස්‌ටාර් මෙහෙයුම දියත් කළේය.එහිදී ත්‍රස්‌තයන්ට අමතරව කාන්තාවන් හා ළමුන් රැසක්‌ද මරුමුවට පත්විය.ඉන්දු කාශ්මීරයේ බෙදුම්වාදී ක්‍රියා මර්දනය කිරීමට ඉන්දීය හමුදාව ක්‍රියා කිරීමේදී සිවිල් වැසියන්ද ඝාතනය වූ බව දක්‌වමින් ඉන්දීය හමුදා නිලධාරීන් 800 කට මානව හිමිකම් උල්ලංඝනය කළ බවට චෝදනා එල්ල විය.

ඇෆ්ගනිස්‌තානයේ තාලිබාන් ත්‍රස්‌තවාදීන් මර්දනය කිරීමට ඇමරිකාව ඩ්‍රෝන් යානා ප්‍රහාර එල්ල කිරීමෙන් සිවිල් වැසියන් 4000 කට අධික පිරිසක්‌ ඝාතනය විය. එහෙත් මේ මෙහෙයුම සම්බන්ධයෙන් ඉන්දියාව හෝ ඇමරිකාව තම හමුදාවේ සේනාධිපතිවරුන්ට එරෙහිව විශේෂ අධිකරණ ස්‌ථාපිත කළේ නැත. ඊශ්‍රායල් හමුදා පලස්‌තීන සිවිල් වැසියන් මරා දැමීමට වගකිව යුතු යෑයි එක්‌සත් ජාතීන්ගේ ගෝල්ඩ්ස්‌ටන් වාර්තාවේ සඳහන් වුවත් ඊශ්‍රායල් අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රකාශයක්‌ කරමින් මෙලෙස කියා සිටියේය. “අපේ සෙබළුන් ත්‍රස්‌තවාදයට එරෙහිව තම වර්තමානයත් අනාගතයත් පුද කළා. ඔවුන් සිටියේ නැත්නම් අද ඊශ්‍රායලය කියා රටක්‌ නැහැ. ත්‍රස්‌තවාදීන් මනුෂ්‍යත්වයේ දේවාලය විනාශ කිරීමට උත්සාහ කරද්දී අපට බලා සිටිය හැකිද?”

මේ පසුබිම මැද මෙරට සිදු වන්නේ කුමක්‌ද? වසර 30 ක්‌ තිස්‌සේ මෙරට දේශපාලනඥයන් ප්‍රභාකරන්ට බියේ ගැහෙමින් සිටියහ. ප්‍රභාකරන් සැතපුම් 250 ක්‌ ඈත වන්නියේ සිට දේශපාලඥනයන් ජීවත් විය යුතුද නැද්ද යෑයි තීරණය කළේය.

මරාගෙන මැරෙන බෝම්බකාරියන් සහ බස්‌රථවල ඇටවූ බෝම්බ නිසා ත්‍රස්‌ත භීතිය රටපුරා පැතිර ගොස්‌ තිබුණි. 2009 මැයි 19 දා ත්‍රස්‌ත භීතිය සහමුලින්ම නතර විය. වන්නි මෙහෙයුමින් කොටි ඝාතක කණ්‌ඩායම වැනසුණි. එහෙත් ත්‍රස්‌තවාදය නැති කළ වන්නි මෙහෙයුමේ සේනාධිපතිවරු යුද අපරාධ චෝදනාවලට මුහුණ දී ඇත. ලෝක ඉතිහාසයේ මෙවැන්නක්‌ සිදු වන්නේ මුල්වරටය. මේ යුද අපරාධ චෝදනාවල පැමිණිලිකරුවන් කවුද? ඒ කොටි රූකඩය මෙන් කටයුතු කළ ද්‍රවිඩ සංධානය සහ ප්‍රභාකරන්ගේ ත්‍රස්‌තවාදය ගෙන යැමට අරමුදල් සැපයූ ඊළාම් සංවිධානයි.

එසේ වුවත් ද්‍රවිඩ සංධානයට යුද අපරාධ චෝදනා එල්ල වී නැත. යුද අපරාධවලට සම්බන්ධ ජීවත්වී සිටින කොටි ක්‍රියාකාරීන්ට එරෙහිවද යෝජිත විශේෂ අධිකරණය මගින් ක්‍රියා කරන බව පවසා ඇත. එහෙත් යුද අපරාධ සිදු කළ කොටි 60 කට අධික පිරිසක්‌ විදේශ රටවල ජීවත් වේ. ඔවුන්ට වෙනත් නම් යටතේ දේශපාලන රැකවරණ ලැබී තිබේ. එම තත්ත්වය යටතේ ඔවුන්ට එරෙහිව කිසිසේත් ක්‍රියා කළ නොහැකිය. මෙහිදී සිදු වී ඇත්තේ ජයග්‍රාහී යුද හමුදාවට පරාජිතයන් වී වන්දි ගෙවීමට සිදු වීමයි.

වන්නි මෙහෙයුමේදී 6000 කට අධික පිsරිසක්‌ දිවි පුදා ඇත. ඔවුන් දිවි පිදුවේ ත්‍රස්‌තවාදය විනාශ කර රටේ ඒකීය භාවය රැකීමටය. එහෙත් වන්නි මෙහෙයුමට සම්බන්ධ සේනාධිපතිවරුන් විශේෂ අධිකරණය වෙත ගෙන ඒමට උත්සාහ කරන්නේ එකී මෙහෙයුමට කිසිසේත් දායක නොවූ පාර්ශව බව හෙළි වී ඇත.

එදා ද්‍රවිඩ එක්‌සත් විමුක්‌ති පෙරමුණේ නායක වී. ආනන්ද සංගරී ප්‍රභාකරන් උතුරේ ඡන්ද ප්‍රචාරක කටයුතු කිරීමට ඉඩ නොදෙන බව පවසමින් අධිකරණයට යොමු කළ පෙත්සම විභාග කිරීම පෞද්ගලික හේතූන් මත යෑයි කියමින් ප්‍රතික්‍ෂේප කළේ උතුරු මහ ඇමැති විග්නේශ්වරන්ය. මේ අතීතය අමතක කළ යුතුද?

මෙම තත්ත්වය යටතේ වන්නි මෙහෙයුමේ සේනාධිපතිවරු අධිකරණය හමුවට ගෙන ඒමට උත්සාහ කරන්නේ කාගේ අවශ්‍යතාවයකටද? බටහිර රටවල් සහ ඊළාම් සංවිධාන පසුගියදා ප්‍රකාශයක්‌ කරමින් යුද අපරාධකරුවන්ට දඬුවම් කරනතුරු ශ්‍රී ලංකාවේ සංහිඳියා ක්‍රමවේදයට එකඟ නොවන බව දතක්‌වා ඇත. යුද අපරාධවලට ගොදුරු වූවන්ට යුක්‌තිය හිමිවිය යුතු බවද ඊළාම් සංවිධාන තවදුරටත් ප්‍රකාශ කර තිබේ.

එසේ නම් මෙහි සඳහන් වන යුද අපරාධවලට ගොදුරු වූවන්ට යුක්‌තිය හිමි වූයේද?
1. වැලිවේරිය, මරාගෙන මැරෙන බෝම්බ පිපිරීම
2. කොටුව දුම්රිය ස්‌ථානයේ බෝම්බ පිපිරීම
3. නුගේගොඩ නෝලිමිට්‌ බෝම්බ පිපිරීම.
4. දෙහිවල දුම්රියේ බෝම්බ පිපිරීම
5. පිළියන්දල හා ගල්කිස්‌ස බස්‌ රථවල බෝම්බ පිපිරීම
6. කොටුව මහ බැංකු බෝම්බ ප්‍රහාරය
7. මරදාන, පිටකොටුව බෝම්බ පිපිරීම
8. කැබිතිගොල්ලෑව බස්‌ බෝම්බය

මේ බිහිසුණු සිදුවීම් ගැන ද්‍රවිඩ සංධානය වචනයක්‌වත් කතා කර නැත. මේ තත්ත්වය මත අදාළ විශේෂ අධිකරණ ක්‍රියාදාමය සම්බන්ධව විදේශ කටයුතු බලධාරීන් රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරීන් සමඟ සාකච්ඡා කර ඇත.

වන්නි මෙහෙයුම නතර කර කොටි ත්‍රස්‌තවාදීන් බේරා ගැනීමට රාජ්‍ය නොවන සංවිධාන රැසක්‌ දැඩි උත්සාහයක්‌ ගත් බවද සිහිපත් කළ යුතුය.මෙකී පසුබිම මැද බිහිසුණු යුද අපරාධ කළ කොටි ත්‍රස්‌තයන් බේරා ගැනීම සඳහා ද්‍රවිඩ සංධානයද දැඩි උත්සාහයක යෙදී ඇත.

එහෙත් ඉන්දීය අගවිනිසුරු එම්. එල්. ඩට්‌ටු සහ විනිසුරු කලිපුල්ලා රජිව් ගාන්ධි ඝාතනය කිරීම ගැන වරදකරුවන් වූ කොටි ක්‍රියාකාරීන් හත්දෙනා සම්බන්ධව දැඩි තීන්දුවක්‌ ප්‍රකාශ කර ඇත.

මේ ඝාතක කණ්‌ඩායම තමන් යම් දිනෙක නිදහස්‌ වනු ඇතැයි බලාපොරොත්තු නොවිය යුතුයි. රජිව් ගාන්ධි ඝාතනයට අදාළ ගොදුරු වූ අනෙකුත් අය වෙනුවෙන් අනුකම්පාවක්‌ දක්‌වා නැති විටෙක මොවුන් නිදහස භුක්‌ති විඳිය යුතුද?

මෙම තත්ත්වය මත කොටි ත්‍රස්‌තයන් නිදහස්‌ වීමට උත්සාහ කරද්දී වන්නි මෙහෙයුමේ සේනාධිපතිවරු දඬුවම් ලැබිය යුතුද?

මෙරටින් විදේශ රටවලට පැන ගිය කොටි ත්‍රස්‌තයන්, කොටින්ට අරමුදල් සැපයූවන් සහ බෙදුම්වාදීන් ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට ගොස්‌ ශ්‍රී ලංකා හමුදාවට එරෙහිව බොරු සාක්‌ෂි දී ඇත. ඔවුන් කවුදැයි කිසි දිනෙක හෙළි නොවේ. එසේම මෙරට මාධ්‍ය පාර්ශවයක්‌ ජිනීවා ගොස්‌ ගල්පැලෙන බොරු ප්‍රකාශයන් කළේය.

හිටපු ආරක්‍ෂක ලේකම්, මේජර් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා අමතා කොටි හමුදා නායකයන් මරන ලෙස පැවසූ බව ඔහු සිය සාක්‌කියේ දක්‌වා ඇත.

හිටපු ආරක්‍ෂක ලේකම් ප්‍රකාශ කළ බව කියන මේ නියෝගය ඔහුට ශ්‍රවණය වීමට නම් ආරක්‍ෂක ලේකම්ගේ හා ශවේන්ද්‍ර සිල්වාගේ ජංගම දුරකථන ශබ්ද විකාශන යන්ත්‍ර විය යුතුය.

වන්නි මෙහෙයුම යටතේ මෙරට කොටින් හිටපු බී. බී. සී. වාර්තාකාරී ප්‍රාන්සස්‌ හැරිසන් හා චැනල්-4 අධ්‍යක්‍ෂ කැලම් මැක්‌රේ ද ශ්‍රී ලංකා හමුදාවට එරෙහිව සාක්‌කි දී ඇත.

එසේම නමක්‌ හා මූණක්‌ නැති අබිරහස්‌ සාක්‌කිකරුවන්ද ජිනීවා පරීක්‍ෂණ මණ්‌ඩලය හමුවේ සාක්‌කි දී තිබේ. මෙවන් විශ්වාස කළ නොහැකි සාක්‌කි මත යුද අපරාධ චෝදනා එල්ල කළ හැකිද?

කීර්ති වර්ණකුලසූරිය

Top