Featured

යහපාලන ආණ්ඩුව මේජර් ජෙනරාල් ජගත් ඩයස්‌ පාවාදෙයි

කොටියා මරපු සේනාංක වලට නායකත්වය දුන් ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් පාවාදිමේ සැලැස්මක්! ක්‍රියාත්මක වෙමින් පවතින බවත් එම සැලැස්මට අනුව කොටි සංවිධානයට එරෙහි අවසන් මෙහෙයුමේ දී ඒ ඒ සේනාංක වලට නායකත්වය දුන් ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් සියලූ දෙනාම සේවා දිගු ලබා නොදී විශ‍්‍රාම ගැන්වීමට යහපාලන රජය උත්සහ කරන බවත් ඒ හරහා ඔවුන්ට යුද හමුදාවෙන් ලැබෙන ආයතනික ආවරණය හා ආරක්‍ෂාව සම්පූර්ණයෙන්ම නැති කිරිම හරහා ඔහුන්ගේ ජිවිත අවදානමකට ලක්කරමින් සිටින බවද අප අනාවරණය කළා.

ඒ අනුව යුද හමුදා සේවයෙන් විශ්‍රාම ගැන්වු 57 වැනි සේනාංකාධිපතිව සිටි මේජර් ජෙනරාල් ජගත් ඩයස්‌ මහතාට එරෙහිව ස්‌විස්‌ ඊළාම් සම්බන්ධීකරණ කමිටුවේ මෙහෙය විම මත යුරෝපා රාජ්‍ය නොවන සංවිධානයක්‌ යුරෝපා අධිකරණයට සාවද්‍ය යුද අපරාධ චෝදනා නඩුවක්‌ ගොනු කර තිබේ.

ජගත් ඩයස්‌ මහතා හමුදා සේවාවෙන් විශ්‍රාම යන නිසා ඔහුට හමුදා සහ රාජ්‍ය වරප්‍රසාදය අහිමි බවත් ඒ අනුව 4 වන් ඊළාම් යුද්ධයේ කොටි ත්‍රස්තවාදීන් පරාජය කිරිම සදහා ගෙන ගිය මෙහෙයුම් හරහා තමන්ගේ ත්‍රස්තවාදීන්ට අපරාධ කල අයෙකු ලෙස සලකා කටයුතු කරන ලෙස ඉල්ලා මේජර් ජෙනරාල්වරයාට එරෙහිව ස්‌විස්‌ නඩු අධ්‍යක්‍ෂ කාර්යාලය ද වරෙන්තුවක්‌ ප්‍රකාශයට පත් කර තිබේ.

මේ අතර මේජර් ජෙනරාල් ජගත් ඩයස්‌ මහතාට යුරෝපා රටවලට පැමිණීමට වීසා බලපත් ලබා නොදෙන ලෙස රටින් බැහැර ඊළාම් රජය විසින් බලපැම් කරමින් සිටින බවද වාර්තා වේ.

යහපාලනයේ පාවාදිමේ අභියස සිටින රණවිරුවන්

 

B_prasanna

බි‍්‍රගේඩියර් ප‍්‍රසන්න සිල්වා

මුළු රටම බියවද්දමින් කාලයක් තිස්සේ ශී‍්‍ර ලංකාවේ සාරය උරාබිව් ම්ලේච්ඡ ත‍්‍රස්තවාදී නායකයාගේ සිරුර මගේ රණශූර කොල්ලෝ ගෙනත් මගේ දෙපාළඟ තැබූ පසු මට දැනුණ ආඩම්බරය හැඟීම් වචනවලින් කියන්න බැරිතරම්. ඒ වෙලාවේ මට හිතුණා අපි එකතු වෙලා මේ මුළු රට වෙනුවෙන් ඉටුවිය යුතු මූලිකම, වැදගත්ම යුතුකම ඉටුකළා කියලා.

53 සේනාංකය මෙහෙයවමින් කොටි නායකයාගේ අවසානය ළඟා කළ සේනාංකාධිපති මේජර් ජෙනරාල් කමල් ගුණරත්න රට වෙනුවෙන් ඉටුකළ මෙහෙවරේ මතකය අවදි කෙළේ ඒ අයුරිනි.

මැයි 17, 18, 19 දින තුනේදී කොටි 600 කට වැඩි ප‍්‍රමාණයක් මැරුවා. 19 උදේ 10 ට විතර ප‍්‍රභාකරන් මැරුවේ. හතරවන විජයබාහු බළඇණියේ කණ්ඩායමක් තමයි ඒ අවසන් ප‍්‍රහාරය එල්ල කළේ.

වෙල්ලමුල්ලවයික්කාල් නන්දිකඩාල්කළපුවේ කඩොලාන ප‍්‍රදේශයේ කොටි කණ්ඩායමක් සැඟවී සිටිනවා කියලා අපිට නිරීක්ෂණය වුණා. 18 වැනිදා ඒ ප‍්‍රදේශයේ මෙහෙයුම් සඳහා 53 නේ හිටිය කමාන්ඩෝ කණ්ඩායම යෙදෙව්වා.

ඒ වෙලාවේ දෙපැත්ත හොඳටම ගහ ගත්තා. අපේ අයටත් හානි වුණා. භානු, ජෙයම්, මාදවන්, මාස්ටර් ඇතුළු කොටි නායකයෝ සමඟ 77 ක් එතැනදී මැරුණා.

19 ප‍්‍රභා මැරුණ දවස තමයි එල්.ටී.ටී.ඊ. සංවිධානයේ අවසන් තීරණාත්මක දිනය වුණේ. 4 වන විජයබාහු බළ ඇණිය උදේ සිට කඩොලානෙ හිටිය කොටි එක්ක ෆයිට් කළා. අන්තිමට උදේ 9.30 – 10.00 ය විතර වෙන කොට එතැන හිටිය කොටි ඔක්කොම ඝාතනය වුණා.

ප‍්‍රභාගේ ඔළුවට වෙඩි වැදිලා තිබුණේ. මහ කොටි නායකයාගේ හැඳුනුම්පත හා හඳුනා ගැනීමේ තහඩුව (ටැග් එක) ප‍්‍රභා ළඟ තිබිල අපිට ලැබුණා. කරුණා හා දයා මාස්ටර් දෙදෙනාත් මේ ප‍්‍රභාකරන් බවට හඳුනා ගත්තා.

මුහුදු කොටි මහ කඳවුර

B_shawendra

බි‍්‍රගේඩියර් ශවේන්ද්‍ර සිල්වා

මහ කොටියාගේ අවසානය එසේ සිදුවූවද වන්නි හා උතුර මුදා ගැනීමේ මානුෂික මෙහෙයුම ඇරඹෙන්නේ 2007 සැප්තැම්බර් 01 වැනිදා මන්නාරම සිලාවතුරෙනි.

එවකට අනාරක්ෂිතව පැවැති මේ ප‍්‍රදේශය කොටින්ගේ සැපයුම් මූලස්ථානයක් බවට පත්ව තිබිණි. වයඹ වෙරළ තීරයට රැගෙන එන මත්කුඩු රටපුරා බෙදා හැරුණේ මෙම ප‍්‍රදේශයෙනි. එය ත‍්‍රස්තවාදීන්ගේ ප‍්‍රධාන ආදායම් මාර්ගයක් විය. අවි ආයුධ පුපුරණ ද්‍රව්‍ය ආදියද මේ ප‍්‍රදේශයේ සිට ප‍්‍රවාහනය කෙරිණි.

ශී‍්‍ර ලංකා ගුවන් හමුදාවේ හෙළිකොප්ටර් හයකින් ගමන් ගත් විශේෂ බළකා සෙබළ සේනාව සිලාවතුර වනගත ප‍්‍රදේශයට බැස ගත්හ. ඒ වන විට එහි තිබූ මුහුදු කොටි මහ කඳවුර ඇතුළු ස්්ථාන ගණනක් ගුවනින් වනසා තිබිණි.

මුහුදේ ප‍්‍රවාහන කටයුතු කිරීමට කොටින්ට නොහැකිවන ලෙස නාවික හමුදාව වයඹ මුහුදු තීරයේ රැකවල් තර කැර තිබිණි. ඒ වන විට විශේෂ බළකායේ ප‍්‍රධානියා වූයේ බි‍්‍රගේඩියර් ප‍්‍රසන්න සිල්වාය.

මානුෂික මෙහෙයුමට මා එක් වුණේ මාවිල්ආරුවෙන් 2006 ජූලි 26 දා ඇරඹුණු මෙහෙයුමේදී සාම්පූර්, මනිරාසකුලම්, වාකරේ, තොප්පිගල දක්වා ගිය ගමනේදී මගේ කණ්ඩායමට නැගෙනහිර ජයග‍්‍රහණය දක්වා විශාල කාර්යයක් ඉටුකළා.

B_wagi

බි‍්‍රගේඩියර් චාගි ගාල්ලගේ

බි‍්‍රගේඩියර් ප‍්‍රසන්න සිය මෙහෙවරේ මූලරම්භය එසේ සිහිපත් කෙළේය. නැගෙනහිර ති‍්‍රකුණාමලය මඩකළපුව හා අම්පාර ප‍්‍රධාන නගර මුල්කර ගනිමින් සියලු ප‍්‍රදේශ 2006 ජූලි 26 සිට 2007 ජූලි 11 දා වන විට සම්පූර්ණයෙන්ම මුදාගෙන අවසන් විය.

ති‍්‍රකුණාමලය මුදා ගැනීමේදී විශේෂ බළකාය සමඟ 22 සේනාංකය කි‍්‍රයාත්මක වූ අතර මඩකළපුව 23 සේනාංකය හා විශේෂ බළකාය එක්ව අත්පත් කර ගත්හ.

අම්පාර කංචිකුඩිච්චිආරුව සම්පූර්ණයෙන්ම මුදා ගැනුනේ පොලිස් විශේෂ කාර්ය බළකාය විසිනි. එහිදී කංචිකුඩිච්චිආරු වනයේ සැඟවුණු කුඩා කණ්ඩායම් මෑතක් වනතුරුම ගම්මානවලට පැන විවිධ කි‍්‍රයාවල යෙදුනහ. විශේෂ කාර්ය බළකාය මේ වන විට ද ඒ වනය තුළ ත‍්‍රස්තවාදීන් සැඟ වී ඇති දැයි සෝදිසියෙන් සිටිති.

බි‍්‍රගේඩියර් ප‍්‍රසන්න සිල්වාගේ නායකත්වයෙන් යුත් විශේෂ බළකාය ඉකුත් වසරේ අප්‍රේල් දක්වා වන්නි හා උතුර මුදා ගැනීමේ මෙහෙවරට උරදුන් අතර අපෙ‍්‍ර්ල් මාසයේදී බි‍්‍රගේඩියර් ප‍්‍රසන්න සිල්වාට 55 වන සේනාංකයේ නායකත්වය බාර ගැනීමට සිදුවිය.

Major_Kamal

මේජර් ජෙනරාල් කමල් ගුණරත්න

 

එතැන් සිට නගර්කෝවිල් මුහමලේ තල්අඩි , සොරොම්පත්තු, මාමුනේ, අයියකච්චි, පාලෙ අඩි, අලිමංකඩ, වෙත්තලයිකර්නි, කඩෙයිකාඩු, චුන්ඩිකුලම්, චලෙයි, පුදුමාතලන් දක්වා ආරක්ෂාව තහවුරු කිරීමේ කටයුත්ත සිදුකැර 53 හා 59 හා එක්ව පුදුමාතලන් උතුරු දෙසින් ඇතුළු වී කොටි කටේ සිරව සිටි සාමාන්‍ය වැසියන් මුදා ගැනීමේ මහා මෙහෙයුම ඇරඹූහ.

සිවිල් වැසියන් 70,000 කට අධික සංඛ්‍යාවක් මුදා ගනිමින් 55 සේනාංකය මහ කොටි සැඟව සිටි නන්දිකඩාල් කළපු ප‍්‍රදේශයට ඇතුළු වූහ.

මේජර් ජෙනරාල් ජගත් ඩයස්ගේ නායකත්වයෙන් යුතු 57 සේනාංකය වවුනියාව සින්නපන්ඩිපරිච්චාන් ප‍්‍රදේශයෙන් සිට මෙහෙයුම ඇරඹූහ.

හමුදාපතිතුමාගේ විශේෂ උපදෙස් මත කි‍්‍රයාත්මක වූ අප කි‍්‍රයාකාරී අතින් ඉදිරියෙන් සිටියා. ප‍්‍රධාන ප‍්‍රහාරක සේනාව ලෙස කුඩා කණ්ඩායම් වශයෙන් සැඟවී කොටින්ට පහර දුන්නා.

මේජර් ජෙනරාල් ජගත් ඩයස් මානුෂික මෙහෙවරේදී කොටි පරාජය කිරීමට ගත් මාර්ගය පිළිබඳ සඳහන් කෙළේ ඒ අයුරිනි.

Major_Nandana

මේජර් ජෙනරාල් නන්දන උඩවත්ත

වනගත ප‍්‍රදේශයේ කොටි ස්ථානගතව සිටි මර්මස්ථාන වෙත රහසේ ගමන් ගත් 57 සේනාංකයේ කුඩා ප‍්‍රහාරක කණ්ඩායම් ත‍්‍රස්තවාදීන් ඝාතනය කළහ.

2007 මාර්තු 27 සින්නපන්ඩිපරිච්චාන්හි බලය තහවුරු කර ගත් ඔවුහු එම වසරේ දෙසැම්බර් 22 වැනිදා වන විට කන්දෙපෙරුම්කුලම්හි වියට්නාම් බේස් කොටසත් අත්පත් කර ගත්හ.

එම 28 දා පෙරියතම්පනේ හා වියට්නාම් බේස් සම්පූර්ණයෙන්ම අත්පත් කර ගත්හ. එදිනම පෙරියන්ඩිපරිච්චාන් හිද බලය තහවුරුකර ගත් කණ්ඩායම ඊළඟට මන්නාරම අනාරක්ෂිත ප‍්‍රදේශයට ගමන් කළහ.

ඒ අනුව 2008 අපෙ‍්‍ර්ල් 25 වැනිදා උයිලන්කුලම් උතුර හා මඩු බලය තහවුරු කළහ. තම්පනේ දෙසින් ගමන් ගත් 572 අනු සේනාංකය මඩු පුදබිම ප‍්‍රදේශය නතු කර ගැනීමට සමත් වූයේ එහි තිබූ ගොඩනැගිලිවලට කිසිදු හානියක් නොකරමිනි.

ඊළඟට ඉන් උතුරු දෙසට ගමන් ගත් 57 සේනාංකය ඉකුත් වසරේ මැයි 17 පාලම්පිඩ්ඩි ද එම ජූනි 04 දා අඩම්පන් උතුර කිලෝ මීටරයක්ද අත්පත් කර ගැනිණි. එම මස 14 හා 26 දිනවලදී පෙරියමඩු වැව හා පෙරියමඩු හි බලය තහවුරු කර ගැනිණි.

මෙසේ සැඟව ප‍්‍රහාර එල්ල කැරමින් ත‍්‍රස්තවාදීන්ට දැඩි හානිකර ඉදිරියට ගිය 57 සේනාංකය 2008 ජූනි 26 වැනිදා වන විට චුන්ඩිකුලම් 54 කොටි කඳවුර අල්ලා ගත්හ.

එම වසරේ ජූලි 11 නඩ්ඩන්කන්ඩාල් බලය අල්ලමින් ගමන් කැර එම 24 වැනිදා වන විට මල්ලාවි දකුණේ කිලෝමීටර් තුනක ප‍්‍රදේශයක් අත්පත් කර ගත්හ. මේ මෙහෙයුමට විශේෂ බළකායද එක් විය.

කිළිනොච්චිය අත්කර ගැනීම

එම වසරේ නොවැම්බර් 11 වැනිදා වන විට අක්කරායන්කුලම් ද අත්පත් කර ගත් 57 සේනාංකය කිළිනොච්චි වෙත ඇතුළු වූහ.

ඒ අතර මුලතිව් ඔටියවතු, කොකාවිල්, පිළිවෙළින් එම 29, 30 අත්පත් කර ගත්හ. 58 හා 59 සේනාංකද මේ වන විට කිළිනොච්චි ප‍්‍රදේශයට පැමිණ සිටි අතර නව වසරේ ජනවාරි 02 දා 57, 58 හා 59 එක්ව දිසා කීපයකින් පැමිණ කිළිනොච්චිය අත්පත් කරගනු ලැබීය.

එදිනම පළමුවන කාර්ය සේනාංකය ද සමඟ 57 සේනාංකය කිළිනොච්චි නගරය අල්ලා ගත්හ.

කොටින්ගේ සිහින රාජ්‍යයේ අගනගරය වූ කිළිනොච්චිය තුළ ඔවුන්ගේ මෙහෙයුම් මූලස්ථානය, විදේශයන් හා සම්බන්ධතා පැවැත් වූ පණිවිඩ හුවමාරු මධ්‍යස්ථානය, උසාවිය ඇතුළු බොහෝ දෑ තිබිණ. මේ ප‍්‍රදේශය අත්පත් කැර ගැනීමේ මෙහෙයුමේදී 57 වැනි සේනාංක භට පිරිස මාස දෙකහමාරක් පමණ කොටි සමඟ දරුණු ලෙස ගැටුණහ.

ඒ බිමේ මරඋගුල්, බිම් බෝම්බ බොහෝ සෙයින් අතුරා තිබිණි. වැසි සහිත කාලගුණය ද එක් අතකින් තර්ජනයක් විය. එහෙත් සියලු බාධක ජය ගනිමින් කිළිනොච්චිය අත්පත් කර ගැනීමේ මෙහෙයුමට එක් වූ 57 වැනි සේනාංකය මුලතිව්හි ඉරණමඩු වැවට උතුරින් ගමන් කර විශ්ව මඩු, වට්ටකච්චි, රාමනාථපුරම් දෙසින් පුදුකුඩුඉරිප්පු වයඹ ප‍්‍රදේශයට ළංවිය.

ඒ වන විට 55, 53, 59 සේනාංක හා අටවන කාර්ය සේනාංකය මෙහෙයුමට එක්ව සිටි අතර 57 මේජර් ජෙනරාල් ජගත් ඩයස්ගේ කණ්ඩායමට බලය තහවුරු කළ ප‍්‍රදේශවල ආරක්ෂාව තහවුරු කිරීමට පැවැරිණි.

58 වැනි සේනාංකය මෙහෙය වූයේ බි‍්‍රගේඩියර් ශවේන්ද්‍ර සිල්වාය.

මන්නාරම වවුනියාව මාර්ගය හා සහල්නැලිය මුදා ගැනීම තමයි අපට මුලින්ම පැවැරුණේ. මේ වැඩේට මාස අටක් විතර ගත වුණා. ඒකට විශේෂ හේතුවක් තිබුණා. මේ මෙහෙයුමේදී භූමිය අත්පත් කැර ගැනීමට වඩා අපට ඕනෙ වුණා එල්.ටී.ටී.ඊ. ත‍්‍රස්තයෝ වැඩි ප‍්‍රමාණයක් මරා දමන්න. බි‍්‍රගේඩියර් ශවේන්ද්‍ර වන්නි මෙහෙයුමේ ආරම්භය පිළිබඳ මතකය අවදි කෙළේ ඒ අයුරිනි.

එහිදී කොටි 2015 ක් විතර මැරුණා. ඇත්තටම කොටින්ට ඒක විශාල පාඩුවක් වුණා. ඒ ගමන අපි බටහිර වෙරළ තීරය වෙඩිතලතිව් දක්වා ගමන් කළා.

58 සේනාංකය මන්නාරම උයිලන්කුලමෙන් සිය යුග මෙහෙවර ඇරඹූහ. 2007 දෙසැම්බර් 22 දා උයිලන්කුලම කොටින්ගේ ඊ/ඊ පොයින්ට් අත්පත් කර ගනිමින් ඉදිරියට ඇදුණ මේ කණ්ඩායම එම 27 චෙට්ටිකුලම්හි බලය ඇල්ලූහ. මේ සඳහා ඔවුන්ට දිගින් දිගටම පළමුවන කාර්ය සේනාංකයේ උදවු ලැබිණි.

කොටින්ගේ මරඋගුල්

නව වසරේ ජනවාරි 01 දා පරන්තන් හා ඉරණමඩු කොටින්ට අහිමි කරමින් වේගයෙන් ඉදිරියට ඇදුණු බි‍්‍රගේඩියර් ශවේන්ද්‍රගේ කණ්ඩායම කිළිනොච්චි නගරය වෙතට ඇතුළු වූහ.

ඒ වන විට 57 හා 59 සේනාංකද එහි පැමිණ සිටියහ. 57, 58 හා 59 2009 ජනවාරි 02 දා කිළිනොච්චිය සම්පූර්ණයෙන්ම අත්පත් කර ගනිමින් කොටින්ගේ සිහින නගරය සිහිනයක්ම බවට පත් කළහ.

කිලිනොච්චි විජයග‍්‍රහණයේ සැමරුම

58 සේනාංකය 53 හා අටවන කාර්ය සේනාංකය සමඟ එක්ව අප්‍රේල් 05 වන විට පුදුකුඩුඉරුප්පු සම්පූර්ණයෙන්ම අල්ලා ගනු ලැබීය.

එම 22 වන විට පුදුමාතලන් උතුරු දෙසින් ඇතුළු වී සාමාන්‍ය වැසියන් මුදා ගැනීමේ මහා මෙහෙයුම ආරම්භ කළහ.

මේ ජයග‍්‍රහණය කරා ගිය මගේදී 58 සේනාංකයට බොහෝ දුෂ්කරතාවලට මුහුණ දෙන්නට සිදුවිය. කොටින්ගේ මරඋගුල් පමණක් නොව මෝසම් වැසිද ඔවුන්ගේ ගමනට අවහිරයක් විය.

වන්නි හා උතුර මුදා ගැනීමේ මානුෂික මෙහෙයුමේදී පළමුවෙන්ම සාමාන්‍ය ජනතාව බාරවීම ආරම්භ වූයේ 58 හරහාය.

එමෙන්ම පළමුවෙන් කොටි ත‍්‍රස්තවාදියකු පණපිටින් අල්ලා ගත්තේද ශවේන්ද්‍රගේ කණ්ඩායමය. පුදුමාතලන් වෙත ඇතුළුව ලොව විශාලතම ප‍්‍රාණ ඇපකරුවන් සංඛ්‍යාව අතරින් 170000 ක පමණ පිරිසක් මුදා ගැනීමේ මෙහෙයුම සිදුකළේද මේ සේනාංකය මගිනි.

මේජර් ජෙනරාල් නන්දන උඩවත්තගේ නායකත්වයෙන් යුත් 59 වන සේනාංකය 2008 ජනවාරි 07 දා සිය මෙහෙවර ඇරඹීය. වැලිඔය ස්ථාපිත වූ මේ කණ්ඩායම එම මැයි 29 වන විට වැලිඔය මූනකම්බේස් හි බලය ඇල්ලූහ.

වසර ගණනක් තිස්සේ කොටින් ස්ථාපිත කැරගෙන තිබූ ජනකපුර කිරිඉබ්බන්වැව කොටි ඉදිරි ආරක්ෂක වළල්ල බිඳීමට 59 සේනාංකයට මහත් වෙහෙසක් දැරීමට සිදුවිය.

“අපේ කණ්ඩායම 591, 592 හා 593 විදිහට බෙදිලා කොටින්ගේ මහ පස් බැමි හා දිය අගල් අල්ලා ගනිමින් ගමන් කළේ මහා දුෂ්කර ගමනක්. මීටර් 100 යෙන් 100 යට වනය ශුද්ධ කළ ඕපන් ඒරියා ගණනාවක් තිබුණා.

ඒ තැන්වලින් ඉදිරියට යන විට ඈත සැඟව සිටි කොටින්ට අපිව ඉලක්ක කැර ගන්න හරිම ලේසියි. මේ සමඟ සොබා දහමේ වෙනස්කම් වැස්ස අපට බාධා වුණා. ඒත් අපි ගමන වේගවත්ව ගියා යැයි 59 වන සේනාංකාධිපතිව සිටි මේජර් ජෙනරාල් නන්දන උඩවත්ත පැවැසීය.

වැලිඔයෙන් ඇරඹි ගමන පසුගිය වසරේ ජූලි 04 වන විට මයිකල් බේස් අගෝස්තු 17 හා 27 ජපන් බේස් හා කොටි බංකර් සියයක් සමඟ උලතුවේලි අල්ලා ගනිමින් වැලිඔය අත්පත් කර ගැනීමේ කටයුතු අවසන් කළහ.

ඊළඟට මුලතිව් වෙත ගමන් කළ 59 සේනාංකය පසුගිය නොවැම්බර් 11 දා මුලතිව් තන්නිපුරිප්පුකුලම් මාර්ගය හරහා කුමුලමුනෙයි දක්වා ගමන් කළහ.

එම 17 දා කුමලමුනෙයි අල්ලා ගනිමින් ඉදිරියට ගිය මේ පිරිස දෙසැම්බර් 02 හා 04 පෙරියකුලම් හා අලම්පිල් හි බලය තහවුරු කර ගනිමින් කිළිනොච්චි වෙත ගමන් කළහ.

57 හා 58 හා 59 එක්ව නව වසරේ ජනවාරි 21 වන විට කිළිනොච්චිය අත්පත් කර ගත්හ. ජයග‍්‍රාහී ලෙස කිළිනොච්චියේදී මේ ති‍්‍රත්වය මුණ ගැසීමෙන් පසු නැවත ගමන් ඇරඹූ 59 සේනාංකය මුලතිව් නගරය එම 25 දා අත්පත් කර ගත්හ.

59 සේනාංකය වැලිඔයෙන් ගමන් ඇරඹි මෙහෙයුමේදී කුමුලමුනේ තිබූ විවෘත භූමිය පසුකරන විට කොටින්ගේ ඉලක්කවලින් බේරීමට මහත් පරිශ‍්‍රමයක් හා විටින් විට වෙනස් කරන සැලසුමකට ගමන් කිරීමට සිදුවිය.

තන්නිමුරුවපුකුලම්, නයාරු ලැගුන්, කළුන්කර්නි, ආන්දන්කුලම් සිට ඊළඟට අලම්පිල් නැගෙනහිරට ගමන් කළ මුලතිව් නැදුන්කර්නි මාර්ගයද මුල්ලයාවැලි, සිලාවත්ත ප‍්‍රදේශ ද අල්ලා ගත්හ.

මේ ප‍්‍රදේශයේ තිබූ අවසන් පස්බැම්මද අල්ලා ගනිමින් මුලතිව් නගරය දක්වා මේජර් ජෙනරාල් නන්දනගේ නායකත්වයෙන් යුත් කණ්ඩායම ආහ.

ඊළඟට 59 සේනාංකය බාර වූයේ බි‍්‍රගේඩියර් චාගි ගාල්ලගේටය. පුදුමාතලන් හා වෙල්ලමුල්ලිවයික්කාල් දක්වා අවසන් මෙහෙයුමට 59 මෙහෙයවූයේ බි‍්‍රගේඩියර් චාගි ගාල්ලගේය.

ලොව විශාලතම ප‍්‍රාණ ඇපකරුවන් සංඛ්‍යාව මුදා ගනිමින් කොටින්ගේ අවසන් බිම් අඟලද අහිමි කරලීමට 53, 55 හා 58 සේනාංක සහ අටවන කාර්ය සේනාංකය සමඟ එක් වූ බි‍්‍රගේඩියර් චාගි ගාල්ලගේ නායකත්වයෙන් යුත් 59 වන සේනාංකය ත‍්‍රස්තවාදීන් විනාශ කිරීමේ අවසන් මෙහෙයුම ඉකුත් මස (මැයි) 20 දායින් අවසන් කෙළේ කොටි අවසන් කිරීමේ විජයග‍්‍රහණය ඉතිහාසයට එක් කරමිනි.

 

Top