Featured

‘ආප්ප විප්ලවය අපට එපා! දැන් ඉතිං ගෙදර යන්න’

රටේ ස්වෛරීභාවය පාවාදීම, හමුදාව බිල්ලට දීම, වේදනාවෙන් බලා ඉන්න මේ රටේ මහා සංඝරත්නය ඇතුළු ජනබලවේග පාරට බැහැලා ඉහත බලපෑම මේ ආණ්ඩුව කළ යුතු කාලය එළඔ තිබෙනවා. ඒ සඳහා සූදානම් වෙන්න කියන ඇරයුම අපි මේ රටේ මහජනතාවට කරන බව නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා පවසයි.

අද(06) බොරැල්ල එන්.එම්. පෙරේරා කේන්ද්‍රයේදී පැවැති ඒකාබද්ධ විපක්‍ෂයේ මාධ්‍ය හමුවට එක් වෙමින් විමල් වීරවංශ සදහන් කළේ ‘2016 වසරේ ලක්වාසී ජනයා 2015 ජනවාරි 08 වැනිදා සිදු වූ වැරැද්ද නිවැරදි කිරීම සඳහා පියවර ගනිවී’ කියලා. 2016 වසර මේ ආණ්ඩුවට ‘ආප්ප විප්ලවය අපට එපා! දැන් ඉතිං ගෙදර යන්න’ කියන මහජන බලපෑම සිදුකරන වසර බවට පත්කල යුතු බවයි.

‘‘ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා බලයට පත්වෙලා අවුරුද්දක් සම්පූර්ණ වෙනවා කියන්නේ මේ ආණ්ඩුවටත් අවුරුද්දක් සම්පූර්ණ වෙනවා කියන එකයි. මේ ආණ්ඩුව බලයට පත්වන අවස්ථාවේ ලබාදුන් පොරොන්දු ඉටුවෙලා තිබෙනවාද, කියා සමාලෝචනයකර බැලීමේ මහගු අවස්ථාවක් මේ රටේ පොදු ජනතාව ඉදිරිපිට නිර්මාණය වී තිබෙනවා.

පොදු ජනතාවට ලබා දුන් පොරොන්දු ඉටු කරනවා වෙනුවට බටහිර රටවල්, ඉන්දියාව හා කොටි හිතවාදී ඩයස්පෝරාවට ලබාදුන් පොරොන්දු පමණක් ඉටු කරන ආණ්ඩුවක් බවටයි මේ ආණ්ඩුව පත්ව ඇත්තේ. ‘ජීවන බර අඩු කරනවා’ කීවාට අඩු කළේ නැහැ, උහුලන්න බැරි විදිහට වැඩි කළා. ‘ජනතාවට හිමි අයිතිවාසිකම්, සුබසාධනය වැඩි දියුණු කරනවා’ කීවාට අද ඒවා කප්පාදුකර තිබෙනවා. රාජ්‍ය සේවයේ විශ‍්‍රාම වැටුප, පොහොර සහනාධාරය, පාසල් නිල ඇඳුම කප්පාදු කළා. රජයේ විධායක නිලධාරීන්ගේ වාහන බලපත‍්‍ර හිමිකම අහිමි කළා. ‘ මහපොළ ශිෂ්‍යාධාර වැඩි කරනවා’ කීවාට වැඩි කළේ නැහැ. ‘අධ්‍යාපනයට වැඩි මුදලක් වෙන් කරනවා’ කීවාට පාසල් නඩත්තුව 05/2015 චක‍්‍රලේඛය මගින් සම්පූර්ණයෙන්ම දෙමාපියන් මත පටවා තිබෙනවා.

ගොවියකුගේ පුතෙක් ජනාධිපති වුණාට අද ගොවි ජනතාව ඉන්නේ බරපතළ අසහනයට පත් වෙලා. ගොවියාගේ, රාජ්‍ය සේවකයාගේ, ශිෂ්‍යයාගේ පටන් මේ සියලූ අංශවලට ලබාදුන් පොරොන්දු අද පොඩි පට්ටම්කර තිබෙනවා. අවුරුද්දක් ඇතුළත මේ ආණ්ඩුව ඔප්පුකර පෙන්වා තිබෙනවා, තමන්ට පොදුජන හිතවාදී ගමනක් යාමට කිසිදු හැකියාවක් නැති බව.

‘දෝරෙ ගලන ප‍්‍රජාතන්ත‍්‍රවාදය’

මේ අය විශාල උත්සාහයක් ගන්නවා ‘ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනවලින් රට කිරියෙන් පැණියෙන් උතුරනවා’ කියලා ජනතාවට පෙන්වන්න. 19 ගෙනාවා. ‘20 ගෙනෙනවා’ කිව්වා. මේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනවලින් රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය දෝරේ ගලනවා නම් හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර මැතිනිය මේ වන විට ඉන්න ඕනේ හිර කුඩුවේ. පොලිස් කොමිසම පිහිටුවීමෙන් පසුව මේ රටේ පොලීසිය ස්වාධීනව කටයුතු කරනවා නම්, එදා වපුරපු ඒ කතාව ඇත්තනම්, හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර මැතිනිය අත්අඩංගුවට නොගෙන ඉන්න බැහැ. නමුත් පොලීසිය එහෙම ස්වාධීන වෙලා නැහැ කියලා කාටත් පෙනෙනවා. ව්‍යවස්ථා සංශෝධනවල වචන හරඹ පෙන්වලා මහජනයාගේ ඇස්වලට ඒ වැලිටික ගහලා රටේ අනෙකුත් ජනතා අයිතිවාසිකම් සහ රාජ්‍යයේ පැවැත්ම අනතුරට හෙළන ක‍්‍රියාදාමයක් මේ යන්නේ.

නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් ගෙන එන්න මේ ආණ්ඩුවට නොයෙකුත් අය උපදෙස් දෙනවා. කොටි සංවිධානයේ හිටපු නීති උපදේශක ශිවා පසුපති, නෝර්වේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා විශේෂඥයන්, ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති බැරුක් ඔබමාගේ නියෝජිතයන් ඒ අතර වෙනවා. ඒ අනුව පෙනෙනවා ‘මේ ආණ්ඩුව පාලනය කරන්නේ මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාත් රනිල් වික‍්‍රමසිංහ අගමැතිවරයාත් නොවෙයි’ කියලා. මේ ආණ්ඩුව ඇත්තටම පාලනය කරන්නේ එක්සත් ජනපදයත් ඉන්දියාවත් කොටි හිතවාදී ඩයස්පෝරාවත් විසිනුයි. ඒ අය දෙන න්‍යාය පත‍්‍රය විතරයි අද මේ රටේ ක‍්‍රියාත්මක වෙන්නේ. ෆෙඩරල් ව්‍යවස්ථාවක්, බෙදුම්වාදයට පාර කපන ව්‍යවස්ථාවක් මේ රටේ පොදු ජනතාව ඉල්ලූවාද? නැහැ. ඒ ඉල්ලීම කරනු ලැබුවේ කොටි හිතවාදී ඩයස්පෝරාව සහ ඉන්දියාව විසිනුයි.

‘ජාත්‍යන්තර බලවතුන්ගේ වහල්ලූ’

මේ ආණ්ඩුවට ඉදිරි පැවැත්මක් නැහැ. ඒ නිසා ඔවුන් ජාත්‍යන්තර බලවතුන්ගේ වහල්ලූ බවට පත්ව තිබෙනවා. මේ වෙන්නේ ඒ වහලූන් තම වහල් හිමියන් විසින් දෙන න්‍යාය පත‍්‍රය ක‍්‍රියාත්මක කිරීම. වහල් හිමියා කියනවා, ‘රටේ මුදුන දුර්වල කරලා ප‍්‍රාන්ත පාලනය බලවත් කරන ව්‍යවස්ථාවක් හදන්න’ කියලා. ඒ වගේම කියනවා ‘ යුද අපරාධ අධිකරණය පිහිටුවන්න’ කියලා. ඒ අනුව ජනවාරි 09 වැනිදා නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් හදන යෝජනාව පාර්ලිමේන්තුවට එනවා. ජනවාරි මාසය තුළ යුද අපරාධ අධිකරණය හදන්න අවශ්‍ය අණපනත් ටික පාර්ලිමේන්තුවට ගෙන ඒමට නියමිතයි.

අර්ථිකය දෙස බැලූවත් මේ ආණ්ඩුව ජෝර්ජ් සෝරෝස් වැනි කුප‍්‍රකට මූල්‍ය ජාවාරම්කරුවන් ගැන විශ්වාසය තබා යන ගමනකුයි දකින්න ලැබෙන්නේ. සෝරෝස්ලා එක්සත් රාජධානිය, ප‍්‍රංශය, තායිලන්තය හා මැලේසියාව වැනි රටවල ආර්ථිකයන්ට කළ දේ දන්න අය දන්නවා. තායිලන්තය වැනි රටවල ආර්ථිකයන් බලා ඉදිද්දීම කඩා වැටුණේ සෝරෝස්ලා පිළිබඳව විශ්වාසය තබලා කටයුතු කළ නිසා. ඒ නිසා ඉතා පැහැදිළියි, ‘මේ ආණ්ඩුවට ආර්ථිකමය වශයෙන් දැක්මක් නැහැ’ කියලා. ඒ වගේම මේ ආණ්ඩුවේ දේශපාලන දැක්ම තමයි තමන්ගේ බටහිර හාම්පුතුන්ගේ න්‍යාය පත‍්‍රය ක‍්‍රියාත්මක කිරීම. රටේ ස්ථාවරභාවය ඇති කරන්න මේ ආණ්ඩුවට කිසිදු ආකාරයක ක‍්‍රමෝපායික වැඩපිළිවෙළක් නැහැ.

‘ජවිපෙ ජනතාවගෙන් සමාව ඉල්ලිය යුතුයි’

මේ ආණ්ඩුව බලයට ගෙන එන්න කත් ඇදපු, බර ඇදපු ජනතා විමුක්ති පෙරමුණේ අයත් දැන් කියනවා. ‘අනේ මේ ආණ්ඩුව ජනවරමට පිටුපාලා’ කියලා. ‘ජනවරමට පිටුපාලා’ කියලා කියනකොට අනියමාර්ථයෙන් කියැවෙන්නේ ජවිපෙ ‘බොල්ෂෙවික්වාදීන්ටත්’ මේ ආණ්ඩුව පිටුපාලා කියන එකයි. ඒ නිසා පළමුකොටම ඒ පිළිබඳව ජවිපෙ රටේ ජනතාවගෙන් සමාව ඉල්ලන්න ඕනේ. කොහොම වුණත් ඉතා පැහැදිළියි ‘මේ ආණ්ඩුවට රටට ලබාදිය හැකි ජයග‍්‍රහණයක් නැහැ’ කියලා.

ඒ නිසා අවුරුද්දක් යනකොට රට දැඩි අනතුරකට මුහුණපාලා ඉවරයි. යුද අපරාධ අධිකරණය පිහිටුවීමට අදාළ අණපනත් ජනවාරියේ එනවා විතරක් නොවෙයි ඒ අතරේ හමුදාව දියකර හැරීමත් සිදු වෙනවා. ඉතාමත් රණකාමී ලෙස සටන් වුදුණු හමුදාවේ ඉහළ නිලධාරීන් සේවා දිගුවක් ලබා නොදී හමුදාවෙන් එළියට ඇද දමනවා. ජාත්‍යන්තරය ඉදිරියේ ව්‍යාජ පාපොච්චාරණයක් කළ අය දැන් යළි හමුදාව ඇතුළට ගන්නවා. හමුදා බුද්ධි අංශ සම්පූර්ණයෙන්ම පොඩිපට්ටම්කර දමලා තිබෙනවා. හමුදාව සිර කඳවුරුවලට ගාල් කරන තත්වයක් උදා කරලා තිබෙනවා. ජාතික ආරක්‍ෂාව අනතුරේ හෙළා ඇති මේ ආණ්ඩුව උතුරේ සිදු කරන දේවල් අද නිල මාධ්‍ය ඔස්සේ ප‍්‍රචාරය වන්නේ නැහැ.

ගුවන් හමුදාවට අයත් පලාලි ගුවන් තොටුපළ වාණිජ ගුවන් තොටුපළක් බවට පත් කිරීමට රනිල් වික‍්‍රමසිංහ මහත්තයලා එකග වූ බවට තොරතුරු තිබෙනවා. මත්තල වී ගබඩා කරනවා. රටට එකක් ඇති කියනවා. එහෙම කියන ගමන් පලාලිවල තව වාණිජ ගුවන් තොටුපළක් අරින්න හදනවා. දෙමළ ජාතික සන්ධානය සහ ඩයස්පෝරාව ‘පලාලි වාණිජ ගුවන් තොටුපළක් බවට පත් කරන්න’ කියලා ඉල්ලන්නේ ඇයි?. මේ අයගේ සැලැස්ම තමයි, ව්‍යවස්ථා සංශෝධනයක් සිදු වන අතරේ, රටේ අවධානය ඒ පැත්තට හරවලා 13 වැනි සංශෝධනයේ සම්පූර්ණ බලතල ලබාගෙන ඒ මගින් උතුරු-නැගෙනහිර ඒකාබද්ධ කරලා ප‍්‍රාන්ත පාලනයක් නිර්මාණය කර ගැනීම. ඒකට ශ‍්‍රී ලංකා රාජ්‍යයේ මුදුන දුර්වල කරන්න ඕනෙ. විධායක ජනාධිපති ධුරය සතු බලය නැති කරන්න ඕනෙ. මුදුනට තීන්දු තීරණ ගැනීමේ බලය නැති කරන්න ඕනෙ. ඊට අවශ්‍ය ව්‍යවස්ථාවක් තමයි මේ අය පාර්ලිමේන්තුව ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයක් බවට පත් කරලා හදන්න සූදානම් වෙන්නේ. ඒ නිසා අපේ රට ඉතාම අනතුරුදායක අඩියක තියෙන්නේ.

රට, ජාතිය මේ විපත්තිදායක මාවතේ තවදුරටත් ඇදගෙන යන්න දුන්නොත් ඒකෙන් වෙන විනාශය යළි හරවන්න බැහැ. ඒ නිසා අපි විශ්වාස කරනවා ‘2016 වසරේ ලක්වාසී ජනයා 2015 ජනවාරි 08 වැනිදා සිදු වූ වැරැද්ද නිවැරදි කිරීම සඳහා පියවර ගනිවී’ කියලා. 2016 වසර මේ ආණ්ඩුවට ‘ආප්ප විප්ලවය අපට එපා! දැන් ඉතිං ගෙදර යන්න’ කියන මහජන බලපෑම සිදුකරන වසර බවට පත්කළ යුතුයි.

රටේ ස්වෛරීභාවය පාවාදීම, හමුදාව බිල්ලට දීම, වේදනාවෙන් බලා ඉන්න මේ රටේ මහා සංඝරත්නය ඇතුළු ජනබලවේග පාරට බැහැලා ඉහත බලපෑම මේ ආණ්ඩුව කළ යුතු කාලය එළඔ තිබෙනවා. ඒ සඳහා සූදානම් වෙන්න කියන ඇරයුම අපි මේ රටේ මහජනතාවට කරනවා.’’
ජාතික නිදහස් පෙරමුණ
2016.01.06

Top