ලෝකයා

සමෘද්ධි නිලධාරීන් සමග ගැටී පච වූ නියෝජ්‍ය ඇමති

මිල්ලනිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පසුගියදා පැවැති සම්බන්ධිකරණ කමිටු රැස්‌වීමකදී විදුලිබල හා පුනර්ජනනීය බලශක්‌ති නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා විසින් සමෘද්ධි ව්‍යාපාරය සහ සමෘද්ධි නිලධාරීන් පිළිබදව දැඩි විවේචන එල්ල කරමින් සිදු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් රටේ සෙසු සමෘද්ධි නිලධාරීන්ගේද බලවත් විරෝධය එල්ල වී තිබේ. එම ප්‍රකාශය රුපවාහිනී මාධ්‍ය මගින් ද කාටත් දකින්නට, අසන්නට ලැබිණි. අජිත්.පී පෙරේරා නියෝජ්‍ය ඇමතිවරයා එහිදී හැකි නම් ස්‌ට්‍රයික්‌ කරලා පෙන්වන්නැයි ද සමෘද්ධි නිලධාරීන් ට අභියෝග කළේය. මේ අභියෝගය සමස්‌ත ලංකා සමෘද්ධි සංවර්ධන හා කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාර නිලධාරී සංගමය විසින් භාර ගත්තා පමණක්‌ නොව අජිත් පී. පෙරේරා නියෝජ්‍ය ඇමැතිවරයාගේ බලප්‍රදේශය වන බණ්‌ඩාරගම නගරයටම ගොස්‌ ඇමතිවරයාගේ එම ප්‍රකාශය ඉල්ලා අස්‌ කරගන්නැයි බල කරමින් පසුගිය ජනවාරි 22 වැනිදා පෙ.ව. 10.00 සිට උද්ඝෝෂණයක්‌ද කළේය. එහෙත් අජිත් පී. පෙරේරා නියෝජ්‍ය ඇමතිවරයා ඒ පැත්ත පළාතකට ආවේ නැත. සමෘද්ධි නිලධාරීන් එම උද්ඝෝෂණය පවත්වන වේලාවේ නගුට පිටුපස සගවාගෙන සිටි ඔහු එම උද්ඝෝෂණය අවසන් වී සමෘද්ධි නිලධාරීන් පිටව ගිය පසු දොඩන් ගෙඩියක්‌ සහ දෙළුම් ගෙඩියක්‌ රැගෙන මහා වීරයෙක්‌ මෙන් මාධ්‍ය ඉදිරියට පැමිණ (පච වූ මුහුණින් යුතුව) පොර ටෝක්‌ එකක්‌ දුන්නේය. එහෙත් ඔහු සමෘද්ධි නිලධාරීන්ගේ විරෝධයට හේතු වූ මිල්ලනියේදී කළ තම ප්‍රකාශය ඉල්ලා අස්‌ කර නොගත්තේය. මේ නිසාම සමස්‌ත ලංකා සමෘද්ධි සංවර්ධන හා කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාර නිලධාරී සංගමය විසින් අජිත් පී. පෙරේරා නියෝජ්‍ය ඇමතිවරයාට එරෙහිව දිස්‌ත්‍රික්‌ මට්‌ටමින් උද්ගෝෂණ මාලාවක්‌ හා දිනක සංකේත වැඩ වර්ජනයක්‌ද සිදු කිරීමට තීරණය කළේය. එම උද්ගෝෂණ මාලාවේ පළමු උද්ගෝෂණය පෙරේදා (29) උදේ 9.30 ට කුරුණෑගල නගරයේදී පැවැත්විණි. බණ්‌ඩාරගම උද්ඝෝෂණය ට මෙන්ම කුරුණෑගල උද්ඝෝෂණයට ද සමෘද්ධි නිලධාරීහු විශාල පිරිසක්‌ සහභාගී වී සිටියහ.

මෙයට නිමිත්ත වු මිල්ලනියේ පැවැති සම්බන්ධිකරණ කමිටු රැස්‌වීමේදී සමෘද්ධි ව්‍යාපාරය ගැන සහ එහි නිලධාරීන් ගැන බරපතල ලෙස විවේචනය කරමින් විදුලිබල හා පුනර්ජනනීය බලශක්‌ති නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතා විසින් මෙසේ ප්‍රකාශ කර තිබුණි.

“සමෘද්ධි ව්‍යාපාරය සම්පුර්ණයෙන්ම දේශපාලනීකරණය වූ ව්‍යාපාරයක්‌. තාමත් එහෙමයි. අපි බබ්බු කියල හිතුවද? අපි බබ්බුද? සුද්ධ කරන්න ලෑස්‌ති වෙන්න එපා. සමෘද්ධි ව්‍යාපාරයට ඕන නම් තනියම වැඩ කරන්න, එහෙම වැඩ කරලා බලන්න.

මේ සැරේ කරනකොට හරි විනිවිද භාවයෙන් කරන්න ඕන. සහනාධාරයක්‌ බෙදනවානම් හැම ගමේම දැන්වීමක්‌ ගහන්න ඕන, ප්‍රසිද්ධ ස්‌ථානවල. තෝරා ගැනීමේ ක්‍රියාවලියේ තියෙන්න ඕන ලකුණු දීමේ ක්‍රමයක්‌. ඒකට බෝඩ් එකක්‌ ඉන්න ඕන. ඒ නිසා සාධාරණීකරණය කරන්න එපා. දිස්‌ත්‍රික්‌ ලේකම්තුමාව, ප්‍රාදේශීය ලේකම්තුමියව තාප්පෙට හේත්තු කරලා. ආ…… අපි සමෘද්ධි, අපි දිවිනැගුම අපි ස්‌ට්‍රයික්‌ කරනවා. කරලා බලන්නකො ස්‌ට්‍රයික්‌ එක. කරන්න පුළුවන්ද කියලා.”

මේ ඔහු කළ ගොන් පාට්‌ ප්‍රකාශයෙන් කොටසක්‌ පමණි. තවත් බොහෝ දේ ඔහු එහිදී කීවේය. නියෝජ්‍ය ඇමතිවරයා පසුගියදා සිදු කළ එම ප්‍රකාශය සමෘද්ධි ව්‍යාපාරයටත්, සමෘද්ධි නිලධාරීන්ටත් පොදුවේ රාජ්‍ය සේවයටත් තර්ජනයක්‌ වන ආකාරයේ එකක්‌ යෑයි සමස්‌ත ලංකා සමෘද්ධි සංවර්ධන හා කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාර නිලධාරී සංගමයේ ලේකම් ජගත් කුමාර පවසයි.

”සමෘද්ධිය” ගැන විවේචනය කළ අජිත් පී. පෙරේරා නියෝජ්‍ය ඇමතිවරයා මෙන්ම ඔහුට එරෙහිව උද්ගෝෂණය කරමින් සිටින සමස්‌ත ලංකා සමෘද්ධි සංවර්ධන හා කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාර නිලධාරී සංගමයේ ලේකම් ජගත් කුමාර යන දෙදෙනාටම ”සමෘද්ධිය” ගැන අපටත් කියන්නට දෙයක්‌ තිබේ. සමෘද්ධි ව්‍යාපාරය දේශපාලනීකරණය වූ ව්‍යාපාරයක්‌ බව අප කීවේ අජිත් පීs. පෙරේරා කියන්නට බොහෝ කලකට පෙරය. . ඒ නිසා ”සමෘද්ධිය” ගැන අජිත් පී. පෙරේරා නියෝජ්‍ය ඇමතිවරයා කළ විවේචනවල ද ඇත්තක්‌ නැතුවා නොවේ. එහෙත් එය නිවැරදි කළ හැක්‌කේ මිල්ලනිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පැවති සම්බන්ධිකරණ කමිටු රැස්‌වීමේදී පහළ මට්‌ටමේ, සමෘද්ධි නිලධාරියෙක්‌ අල්ලාගෙන පිරිසක්‌ ඉදිරියේ දෙස්‌ දෙවොල් තැබීමෙන් නොවේ. ඔය කියන නිවැරදි කිරීම කළ යුත්තේ පහළ මට්‌ටමින් නොව ඉහළම මට්‌ටමිනි. මුලින්ම අජිත් පී. පෙරේරා නියෝජ්‍ය ඇමතිවරයාට, තනි නිලධාරියෙකු අසරණ කරමින් ”සමෘද්ධිය” ගැන එහි වැරදි නිවැරදි කළ යුතු ආකාරය ගැන මහා වීරයෙකු මෙන් දෙස්‌ දෙවොල් තියන්නේ නැතුව, වත්මන් යහපාලන රජයේ සමෘද්ධිය භාර ඇමති එස්‌.බී. දිසානායකට ඔය ටික ඉදිරිපත් කළා නම් වඩාත් හොදය. ඇමති එස්‌.බී. වත්මන් රජයේ ”සමෘද්ධිය” භාර ඇමතිවරයා පමණක්‌ නොව එහි නිර්මාතෘවරයාද වෙයි. කිසියම් ප්‍රදේශයක ලවුඩ්ස්‌පීකර් බැදගෙන ඒ පැත්තේ පමණක්‌ අයදුම්පත්‍ර ගෙන්වාගෙන ”සමෘද්ධියේ” වැරදි නිවැරදි කරන්න පුළුවන් කමක්‌ තිබේද? ඒ නිසා මෙය කළ හැක්‌කේ නිලධාරියෙක්‌ අල්ලාගෙන ඔහුව අසරණ කරමින් දේශපාලන චන්ඩි පාට්‌ දැමීමෙන් නොවේ. දැන් අජිත් පී. පෙරේරා, ඔය දේශපාලන (ගොන්) පාට්‌ එක දැමිය යුත්තේ වෙන කාටවත් නොව යහපාලන රජය තුළ ඔවුන් සමග එකට දේශපාලන දීග කන ඇමති එස්‌. බී. දිසානායකටය. ඔහු ඒ සදහා සූදානම්දැයි අප දන්නේ නැත. ”සමෘද්ධිය” තුළ සාධාරණය ඇති කිරීමට සහ එහි වැරදි ක්‍රමවේද ඇත්නම් ඒවා නිවැරදි කර ගත හැක්‌කේ කෙසේද? අජිත් පී. පෙරේරා ඒ පැත්තේ, ලවුඩ්ස්‌පීකර් දාලා, ජනතාව එකතු කරලා, ප්‍රතිලාභීන් තෝරලා, එම ප්‍රතිලාභ බෙදලා දුන්නාම ‘සමෘද්ධියේ’ ඔහු කියන වැරදි නිවැරදි වෙනවාද? අනිත් අතට ‘සමෘද්ධියේ’ අලුත් ක්‍රමවේද ගැන ‘සමෘද්ධි’ නිලධාරීන්ට උපදෙස්‌ ලැබිය යුත්තේ අදාළ අමාත්‍යංශයෙන් සහ දෙපාර්තමේන්තුවෙන් නොවේද? එසේ නැතුව වෙනත් අමත්‍යාංශයක නියෝජ්‍ය ඇමතිවරයෙකු මිල්ලනිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී වාචිකව දේශපාලන චන්ඩි පාට්‌ දමමින් දෙන උපදෙස්‌ අනුව නව ක්‍රමවේද ක්‍රියාත්මක කිරීමට සමෘද්ධි නිලධාරීන් බැඳී සිටිනවාද ?එසේ සමෘද්ධි නිලධාරීන්ට කළ හැකිදැයි අපි ඇමති එස්‌. බී. දිසානායකගෙන්ද අසමු. අනිත් අතට එසේ කිරීම ක්‍රමයක්‌ද නොවේ. එසේ කළත් ඒ නිසා සමස්‌ත ‘සමෘද්ධි’ ව්‍යාපාරය තුළ ඇති අජිත් පී. පෙරේරා කියන වැරදි නිවැරදි වන්නේ නැත. සමෘද්ධි ව්‍යාපාරය මුළු රටේම ක්‍රියාත්මක වන ව්‍යාපාරයකි. අජිත් පී. පෙරේරා මිල්ලනියේදී දුන් උපදෙස්‌ ටික ‘සමෘද්ධි’ භාර ඇමති එස්‌. බී. ට කිව්වා නම් ඔහු එම, අජිත් පී. පෙරේරාගේ ලවුඩ්ස්‌පීකර් ක්‍රමවේදය ඇතැම් විට අනිත් ප්‍රදේශවලටද ව්‍යාප්ත කරනු ඇත. එහෙත් ‘මේ සම්බන්ධයෙන් සමෘද්ධි’ නිලධාරීන් කියන්නේ මෙහෙම කතාවකි.

‘සමෘද්ධි’ නිලධාරීන් විදිහට අපි වැඩකරන්නේ අපිට නිකුත් කරලා තියෙන චක්‍රලේඛ අනුවයි. ‘නමුත් අජිත් පී. පෙරේරා ඇමැතිතුමා දැන් කියන්නේ ලවුඩ්ස්‌පීකර් දාලා, ජනතාව එකතු කරලා මේවා බෙදලා දෙන්න තිබුණා කියලයි. අපි ඒකට එකග නැහැ. මොකද අපි අදාළ ප්‍රතිලාභීන් තෝරාගන්නේ අප වෙත නිකුත් කරලා තියෙන චක්‍රලේඛවලට අනුවයි. ඒ චක්‍රලේඛවලට පිටින් වැඩ කරන්න ගියොත් රාජ්‍ය නිලධාරීන් විදිහට අපිටත් යම් යම් ගැටඵවලට මුහුණ දෙන්න සිදුවෙනවා. ඒ නිසා අජිත් පී. පෙරේරා නියෝජ්‍ය ඇමැතිවරයා කියන විදිහට එහෙම ක්‍රමවේදයක්‌ ඕනෑ නම් වර්තමාන සමෘද්ධි අමාත්‍ය එස්‌. බී. දිසානායක ඇමැතිතුමා එක්‌ක කතා කරලා ප්‍රතිපත්තියක්‌ හදන්න. ඒ චක්‍රලේඛවලට අනුව අපි වැඩ කරන්නම්. ”

නියෝජ්‍ය ඇමැති අජිත් පී. පෙරේරා මහතාට එරෙහි දිස්‌ත්‍රික්‌ මට්‌ටමේ පළමු සමෘද්ධි උද්ඝෝෂණය පෙරේදා (29) දින උදේ 9.30 සිට බොහෝ වෙලාවක්‌ කුරුණෑගල නගරයේදී පැවැත්විණි. අජිත් පී. පෙරේරා මහතාට එරෙහි මීළඟ සමෘද්ධි උද්ඝෝෂණය පෙබරවාරි 02 වැනිදා ගාල්ල නගරයේදීද පෙබරවාරි 05 වැනිදා පුත්තලම නගරයේදීද පෙබරවාරි 08 වැනිදා බදුල්ල නගරයේදීද, පෙබරවාරි 09 දින ගම්පහ සහ නුවරඑළිය යන නගර දෙකෙදීද, පෙබරවාරි 10 දින මාතර නගරයේදීද, පෙබරවාරි 12 වැනි දින කෑගල්ල නගරයේදීද පෙබරවාරි 15 දින මොණරාගල නගරයේදීද පෙබරවාරි 16 දින හම්බන්තොට නගරයේදීද, පෙබරවාරි 17 දින පොලොන්නරුව නගරයේදීද, පෙබරවාරි 19 දින රත්නපුර නගරයේදීද පෙබරවාරි 22 දින මාතලේ නගරයේදී සහ පෙබරවාරි 23 දින නුවර නගරයේදීද පැවැත්වේ. සමස්‌ත ලංකා සමෘද්ධි සංවර්ධන හා කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාර නිලධාරී සංගමයේ ඉකුත් ජනවාරි 26 දින පැවති විශේෂ විධායක සංගම් රැස්‌වීමේදී මෙසේ දිස්‌ත්‍රික්‌ මට්‌ටමින් නියෝජ්‍ය ඇමැතිවරයාට එරෙහි උද්ඝෝෂණ මාලාවක්‌ පැවැත්වීමට සහ එක්‌ දින සංකේත වැඩ වර්ජනක්‌ද සිදු කිරීමට එම සංගමය තීරණය කර ඇත.

නියෝජ්‍ය ඇමැති අජිත් පී. පෙරේරා සහ සමෘද්ධි නිලධාරීන් අතර මේ සටනින් කවුරු ජය ගනු ඇතිද? නියෝජය ඇමති අජිත් පී. පෙරේරා තව තවත් පච වී, තමන් මිල්ලනියේදී කළ ප්‍රකාශය ඉල්ලා අස්‌ කර ගනු ඇතිද? එසේම තවමත් මේ සම්බන්ධයෙන් නිහඬ පිළිවෙතක්‌ අනුගමනය කරමින් සිටින සමෘද්ධි විෂය භාර ඇමති එස්‌. බී. දිසානායක මේ සම්බන්ධයෙන් කියන්නේ කුමක්‌ද සහ ඒ සම්බන්ධයෙන් කුමන ක්‍රියාමාර්ගයක්‌ ගනු ඇතිද යන්න තවමත් පැහැදිලි නැත. කවරක්‌ නමුත් සමස්‌ත ලංකා සමෘද්ධි සංවර්ධන හා කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාර නිලධාරී සංගමය විසින් මේ ගැන ලි තව සමෘද්ධි විෂය භාර එස්‌. බී. දිසානායක ඇමතිවරයාට දැනුම් දී මේ ප්‍රශ්නයට මැදිහත් වන්නැයි දැනුම් දුන් බව මේ ගැන කළ විමසුමකදී සමස්‌ත ලංකා සමෘද්ධි සංවර්ධන හා කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාර නිලධාරී සංගමයේ ලේකම් ජගත් කුමාර මේ ලියුම්කරුට කීවේය. එහෙත් ඔහු පැවසූ පරිදිම ඇමති එස්‌. බී ගෙන් මේ සම්බන්ධයෙන් තවමත් ප්‍රතිචාරයක්‌ නැත. එයට හේතුව නියෝජ්‍ය ඇමැති අජිත් පී. පෙරේරාට එරෙහි දිස්‌ත්‍රික්‌ මට්‌ටමේ සමෘද්ධි උද්ඝෝෂණ මාලාව පැවැත්වී අජිත් පී. පෙරේරා පච වනු දැකීමට ඔහු කැමැත්තෙන් සිටින නිසාද? මෙය තවමත් අප හරියටම දන්නේ නැත.

නුසුදුස්‌සන් සමෘද්ධි ප්‍රතිලාභ ලබන බවත්, සුදුස්‌සන් විශාල පිරිසකට සමෘද්ධි සහනාධාර නොලැබෙන බවත් මුල සිටම සමෘද්ධි වැඩසටහනට පැවති බලවත් චෝදනාවකි. එය චෝදනාවක්‌ පමණක්‌ නොව සමෘද්ධි වැඩසටහනේ ඇත්ත තත්ත්වය ද වෙයි. ශ්‍රී ලංකාවේ සමෘද්ධි සහනාධාරය ලබන්නන්ගෙන් සියයට 50 ක්‌ පමණම නුසුදුස්‌සන් බව වරෙක ලෝක බැංකුවද පෙන්වා දී තිබුණු බව අපට මතකය. ශ්‍රී ලංකා මහ බැංකුව ද වරින් වර අවස්‌ථා ගණනාවකදීම සමෘද්ධි ව්‍යාපාරයේ පවතින මේ තත්ත්වය පෙන්වා දී තිබිණි. ශ්‍රී ලංකා මහ බැංකුවේ 2001 වාර්ෂික වාර්තාවේ මෙසේ සඳහන්ය.

“ශ්‍රී ලංකාවේ මුළු පවුල් සංඛ්‍යාවෙන් භාගයක්‌ පමණ සමෘද්ධි ප්‍රතිලාභ ලබාගන්නා නමුත් මේ වැඩසටහන තුළ ඒ සඳහා නුසුදුසු පවුල් සිටින අතර මෙම වැඩසටහනට ඇතුළත් නොවූ දිළිඳු පවුල් විශාල සංඛ්‍යාවක්‌ද සිටින බව පෙන්වා දී ඇත.”

2001 වර්ෂය තරම් ඈතදී මහ බැංකු වාර්තාවේ තිබූ මේ සඳහන, මේ ලිපියේ සටහන් කළේ, සමෘද්ධි ව්‍යාපාරය ආරම්භයේ පටන්ම, මේ රටේ සැබෑ දුප්පතුන්ට සාධාරණය ඉටුකර නැති බව පෙන්වා දීමටය. සැබෑ දුප්පතුන් පිරිසකට ද සමෘද්ධි සහනාධාර ලැබී තිබෙන බව ඇත්තය. එහෙත් ආරම්භයේ පටන්ම නුසුදුස්‌සන්ට සමෘද්ධි සහනාධාර ලබාදීමෙන් සහ සුදුස්‌සන්ට සමෘද්ධි සහනාධාර ලබා නොදීමෙන් දීර්ඝ කාලයක්‌ තිස්‌සේ සිදුව ඇත්තේ කුමක්‌ද? මහජනයාගේ බදු මුදල් විශාල ප්‍රමාණයක්‌ සමෘද්ධි ව්‍යාපාරය හරහා දුප්පත්කම පිටුදැකීමේ නාමයෙන් විනාශ වීමකි. එහෙත් එදා මෙදා තුර සමෘද්ධි වැඩසටහනට එල්ලවූ බලවත් විවේචන නිසාම මේ වැඩසටහන සැබෑ දුප්පත් ජනතාව වෙනුවෙන් ඉලක්‌ක කිරීමේ අවශ්‍යතාව නොයෙක්‌ විට පෙන්වා දී ඇත. මේ අනුව සමෘද්ධි වැඩසටහන ඉලක්‌ක ගත කිරීම සඳහා, පසුගිය කාලය තුළ ගත් නොයෙකුත් උත්සාහයන් නිසා මේ වැඩසටහන තුළ තිබූ වැරදි යම් තරමකට හෝ නිවැරදි කර ගැනීමට හැකිව ඇත. අජිත් පී. පෙරේරා කියන පරිදි සමෘද්ධි වැඩසටහන තුළ තවදුරටත් වැරදි ඇත්නම් ඒවා ද නිවැරදි කර ගත යුතුමය. ඒ ගැන තර්කයක්‌ නැත.

නියෝජ්‍ය ඇමති. අජිත් පී. පෙරේරාගේ ප්‍රකාශයට එරෙහිව උද්ගෝෂණය කරන සමස්‌ත ලංකා සමෘද්ධි සංවර්ධන හා කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාර නිලධාරී සංගමයේ ලේකම් ජගත් කුමාරට අපට කියන්නට ඇත්තේ සමෘද්ධි ව්‍යාපාරයේ ඇති වැරදි නිවැරදි කර ගැනීමට ඔබලා ද දායකත්වයක්‌ ලබා දිය යුතුව ඇති බවයි. මේ සියලු කරුණු අනුව අපට පැහැදිලි වන්නේ මේ රටේ සැබෑ දුප්පත් ජනයා වෙනුවෙන් සහ අන්ත දිළින්දන් වෙනුවෙන් සමෘද්ධි වැඩසටහන හරිමගට ගැනීමේ බලවත් අවශ්‍යතාවක්‌ මුලසිටම පැවති බවයි. අජිත් පී. පෙරේරා නියෝජ්‍ය ඇමතිවරයා පවසන පරිදි තවමත් සමෘද්ධිය තුළ මේ අසාධාරණය තිබේ නම් ඒවා මිල්ලනියේ පමණක්‌ නොව හරි ක්‍රමයට මුළු රටේම නිවැරදි කර ගත යුතුය. ඒ නිසා අවශ්‍ය කරන්නේ අතීත වැරදි නිවැරදි කරගෙන මේ රටේ සැබෑ දුප්පතුන් වෙනුවෙන් කැප වන, වඩාත් කාර්යක්‌ෂම හා ඵලදායී දිළිඳුකම පිටුදැකීමේ වැඩසටහනක්‌ බවට සමෘද්ධි වැඩසටහන පත්කර ගැනීමයි. එය අජිත් පී. පෙරේරා කරන ආකාරයේ දේශපාලන ගොන් පාට්‌ වලින් කිරීමට පුළුවන්කමක්‌ නැත. එය යහපාලනය ද නොවේ.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

Top