Anonymous Reporter

යහපාලන උගුලෙන් රට මුදා ගැනිමේ තියරිය

18වැනි ආණඩුක්‍රම ව්‍යවස්ථා සාශෝධනය අනුව ඕනෑම වාර ගණනක් ජනාධිපතිවරයකුට ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමේ අවස්ථාව තිබිණ. එසේ තිබියදී තමාට 3වැනි වරටත් ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමට හැකියාවක් ඇත්ද යන්න මහින්ද රාජපක්ෂ විසින් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් මතය විමසුවේ ය. එවකට අගවිනිසුරැව සිටි මොහාන් පීරිස් මහතා ශ්‍රේෂ්ඨාධිකරණ රෙජිස්ට්‍රාර් මගින් ශ්‍රී ලංකා නීතීඥ සංගමය අමතා එකී මතය දැක්වීම සම්බන්ධව ලිඛිත දේශනද (Written Submission) ඉදිරිපත් කිරීමට අවස්ථාව ලබා දුන්නේ ය. ජනාධිපතිවරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් මත විමසීමක් කළ අවස්ථාවක පුරවැසියන්ට ලිඛිත දේශන ඉදිරිපත් කිරීමට අවස්ථාව හිමි වීම ද මෙහිදී සුවිශේෂී වෙයි.

ශ්‍රේෂ්ඨාධිකරණයේ එක් විනිශ්චයකාරවරයකු හැර අනෙක් සියලු විනිශ්චයකාරවරැන් ජනාධිපතිවරයකුට 3වැනි වරටත් ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමට ඇති හැකියාව සම්බන්ධව ශ්‍රේෂ්ඨාධිකරණ මත විමසීමට සහභාගී වීමද එකී විනිශ්චයකාරවරැන් සියලු දෙනාම එකම මතයක පිහිටා 3වැනි වර ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට මහින්ද රාජපක්ෂ මහතාට හැකි බව ප්‍රකාශ කිරීමද සුවිශේෂී සිදුවීම් වෙයි.

තෙවැනිවරටත් ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමට ඇති හැකියාව තහවුරැ කරගත් විගස 1වැනි දේශපාලන තීන්දුව ගනිමින් 2015 ජනවාරි 08 වැනි දින ජනාධිපතිවරණය පැවැත්වීමට මහින්ද රාජපක්ෂ විසින් තීරණය කළ අතර ඒ සමගම ලංකා දේශපාලනය උඩු යටිකුරැ වීම ඇරඹිණ.

තමාගේම පක්ෂයේ මහා ලේකම්වරයා පෙර සැළසුමක් අනුව ප්‍රතිවාදී ජනාධිපති අපේක්ෂක ලෙස තරගයට පිවිසීම මහින්ද රාජපක්ෂට අරැමයක් වුවද තෙවන වර ජනාධිපතිවරණයට ඉදිරිපත්විය හැකිද යන ශ්‍රේෂ්ඨාධිකරණ මත විමසීමේ අවසාථාවේ සිටම මේ සැළැස්ම දැන සිටි අතළොස්සක් රටේ විය. මොහාන් පීරිස් අගවිනිසුරැවරයාද නො දැනුවත්ම මේ උගුලේ සිර විය.

2015 ජනවාරි මස 08 වැනි දින ජනාධිපතිවරණය පැවත්වීමෙන් පසු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් මතය විමසූ ජනාධිපති අපේක්ෂකයාම පරාජය වී පොදු අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් වූ මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කිරීමද අහඹු සිදුවීම් නො වීය. යුද්ධය ජයගැනීමෙන් පසු සරත් ෆොන්සේකා මගින් දිනිය නොහැකි වූ දේශපාලන සටන් බිම නරේන්ද්‍ර මෝඩි අනුකරණය කරමින් මෛත්‍රිපාල සිරිසේන විජයග්‍රහණය කළේ ය. මහින්ද රාජපක්ෂ සහ මෛත්‍රීපාල සිරිසේන ද්විත්වයම මෙහෙය වන ලද නීති විශාරදයින්, දේශපාලන විශ්ලේෂකයන් ගේ උපදෙස් අනුව ගත් තීරණ මත මේ දේශපාලන පෙළ ගැස්සීම සිදුවිය.

2015 ජනවාරි මස 08 වැනි දින ජනාධිපතිවරණයෙන් පරාජයට පත් වූ මහින්ද රාජපක්ෂ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෙන්ම එක්සත් ජනතා නිදහස් සන්ධානයේද නායකත්වය මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාට භාර දීමට කටයුතු කරමින් ආගමික කටයුතු මුල් කරගත් දේශපාලන ව්‍යාපාරයක් අරම්භ කළේය.

ඒ අතර අගෝස්තු 17 වැනි දින පාර්ලිමේන්තු මැතිවරණයට දින නියම වූ අවස්ථාවේ නැවත 2වන වැදගත් දේශපාලන තීන්දුව ගනිමින් මෛත්‍රීපාල සිරි‍සේන ජනාධිපතිවරයා නායකත්වය සහ මෙහෙයවීම දරන එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ මැතිවරණයට ඉදිරිපත් වීමට මහින්ද රාජපක්ෂ ක්‍රියා කළේය. තමන්ට ඇති ජනතා ප්‍රසාදය සහ ලක්ෂ 40ක් පමණ වූ පිරිසිදු ඡන්ද සංඛ්‍යාව සම්බන්ධව නීතිමය අයිතිය සහ නෛතික තීරණ ගැනීමේ අයිතිය මෛත්‍රීපාල සිරි‍සේන ජනාධිපතිවරයාට භාර දෙමින් (බන්දේසියක තබා පූජා කරමින්) අගෝස්තු 17 වැනි දින පැවති පාර්ලිමේන්තු මැතිවරණයට මහින්ද රාජපක්ෂ නාම යෝජනා භාර දුන්නේ ය.

මෙම ඡන්ද පූජා කිරීමේ තීරණය මහින්ද රාජපක්ෂ පමණක් තනිව ගත් තීරණයක් වීමට නො හැකි වුවත් ජාතික ලැයිස්තුව පත් කිරීම සම්බන්ධව හෝ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ලේකම් ධූරය සම්බන්ධව හෝ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරැන්ගේ විනය සම්බන්ධව හෝ එක්සත් ජනතා නිදහස් සන්ධානයට ඡන්දය දුන් ඡන්ද දායකයන්ගේ හැගීම් සම්බන්ධව තීරණ ගැනීමට නො හැකිවන අකාරයට දේශපාලන අසරණ භාවයකට මහින්ද රාජපක්ෂව පත් කෙරිණ.

2015 ජනවාරි 08 වැනි දින ජනාධිපතිවරණයෙන් පරාජයට පත්වුණාට වැඩි අසරණභාවයකට 2015 අගෝස්තු 17 දින පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වූ මහින්ද රජාපක්ෂ පත් විය. මැතිවරණයෙන් ජයගත්තද අගමැති ධූරය ලබා නො දෙන බවට මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා සිදු කළ ප්‍රකාෂ මෙන්ම ජාතික ලැයිස්තුව පත්කිරීම පාලනය සදහා සුසිල් ප්‍රේම්ජයන්ත, විශ්වා වර්ණපාල, දුමින්ද දිසානායක, ෆයිසර් මුස්තාෆා සම්බන්ධ කරගනිමින් මෛත්‍රීපාල සිරිසේන සිදුකළ අධිකරණ බලපෑම් මහින්ද රාජපක්ෂ හෝ ඔහුගේ දේශපාලන උපදේශකයන් කිසිසේත් බලා පොරොත්තු නොවූ සිදුවීම් විය.

වර්ෂ 2015 දි ජනාධිපතිවරණය පැවැත්වීම මහින්ද රාජපක්ෂට වූ අත්වැරදීමක් නොවේ. 2015 ජනවාරි මස 08 පැවති ජනාධිපතිවරණයෙන් මහින්ද පැරදුනද එය රටේ පරාජයක් නො වීය. නමුත් රටේ පරාජය සිදුවුණේ 2016 අගෝස්තු 17 දින පාර්ලිමේන්තු මැතිවරණයේදී මහින්දව නොමග යවමින් අනුන්ගේ නායකත්වය යටතේ ඇති UPFA සහ SLFP යටතේ මහින්දට නාමයෝජනා දීමට පිඹුරැපත් කළ අවස්ථාවේදීය. මහින්දව අන්දවමින් අනුන්ගේ නායකත්වය ඇති UPFA සහ SLFP යටතේ මහින්දට නාමයෝජනා දීමට මහින්ද වටා සිටි ෆෙඩරල්වාදී කණ්ඩායම සිදු කළ සැළසුම රටත් ජාතියත් විනාශ කිරීම සදහා සිදුකළ ක්‍රියාවක් බව නුදුරේදී ම ජනතාව අවභෝධ කර ගනු ඇත.

මහින්ද වටා සිටිමින් 2016 අගෝස්තු පාර්ලිමේන්තු මැතිවරණයේදී වැරදි දේශපාලන තීන්දු ගනු ලැබූ පිරිස කවුද යන්න සම්බන්ධව සාකච්ඡා කිරීමක් මෙම ලිපියෙන් අපේක්ෂා නොකරන නමුත් මෙම සමාජ දේශපාලන විශ්ලේෂකයන්ගේ යටි අරමුණු දැන්වත් හදුනා නො නොතහොත් ඉදිරියේදී සැබෑ දේශහිතෛෂීන් දැඩි අභියෝගයන්ට මුහුණ දෙනු ඇති බව වටහා ගත යුතු වෙයි.

2016 අගෝස්තු පාර්ලිමේන්තු මැතිවරණයේදී මහින්ද වෙනම පක්ෂයකින් හෝ ස්වාධීන කණ්ඩායමකින් තරග කළේ නම් අත්වන ප්‍රයෝජන.

1. මන්ත්‍රී ආසන 70ක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් ගෙන විපක්ෂ නායක ලෙස පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට මහින්දට හැකිවීම සහ විපක්ෂය මෙහෙයවීමට ලැබීම.

2. මැතිවරණයට තරග කරමින් පරාජයට පත් මහින්ද විරෝධි අපේක්ෂකයන් රොත්තක්ම ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ඇතුළුකර ගැනීමට මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාට නොහැකි විම.

3. මහින්දව පරීක්ෂණ කොමිෂන්, FCIB ආදීය වෙත ගෙනෙන විට රටේ විපක්ෂ නායකවරයාගෙන් දේශපාලනිකව පළිගැනීමට රනිල්-මෛත්‍රී ආණ්ඩුව කටයුතු කරන බවට දේශීයව සහ ජාත්‍යන්තරව ප්‍රචාරය කරමින් විශාල වශයෙන් දේශපාලන වාසි ගැනීමට අවස්ථාව ලැබීම. (ජනාධිපති අපේක්ෂක සරත් ෆොන්සේකාඡන්දයෙන් පසු දේශපාලන වාසිගත් ආකාරයට)

4. පරාජිතයන් මේ තරම් සංඛ්‍යාවක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරැ නොවන අතර පරාජිතයන් කැබිනට් ඇමතිවරැ නියෝජ්‍ය කථානායකවරැ වීමද වළක්වා ගත හැකි වෙයි.

5. යහපාලන ආණ්ඩුවේ විශාල ඇමති මණ්ඩලයට විරැද්ධව ප්‍රභල ජනමතයක් ඇති කිරීමට අවස්ථාව ලැබීම.

6. යහපාලන ආණ්ඩුවේ ඇමතිවරැ සිදුකරන දූෂණවලට විරැද්ධව ඉදිරිපත් කරන විශ්වාස භංග යෝජන පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයට ඇතුළුකර ගැනීමට අවස්ථාව ලැබීම.

7. කථානායකවරයා විසින් පාර්ලිමේන්තුවේ උත්තරිතර භාවය නොතකා පාර්ලිමේන්තුවෙන් පිටත ගිවිසුම්වලට (දුමින්ද දිසානායක සහ කබීර් හෂීම් ඊනියා ජාතික ආණ්ඩු ගිවිසුම) මුල් තැන දී ක්‍රියා කරද්දී අනුර බණ්ඩාරනායක මහතා ආදර්ශයට ගනිමින් පාර්ලිමේන්තුවේ උත්තරීතරත්වය ආරක්ෂා කරගැනීමට ලැබීම.

8. ආණ්ඩු විරෝධී ජනතාවගේ අදහස්වලට පාර්ලිමේන්තුවේ නිසි තැන ලබා ගැනීමට හැකිවීම.

9. ආණ්ඩුක්‍රම ව්‍යවස්තාවේ 19වැනි සංශෝධනය අනුව පිහිටුවා ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ නිසි නියෝජනයක් ලබා ගැනීම.

10. රනිල්-මෛත්‍රී ආණ්ඩුව විසින් පාර්ලිමේන්තුව අවශ්‍ය ආකාරයට මෙහෙයවමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයක් බවට පත් කරමින් ක්‍රියා කරද්දී යම් අවස්ථාවක රටට අහිතකර ලෙස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් කෙටුම්පත් කළහොත් එකී ව්‍යවස්ථාව සම්මත වීම වැළක්වීමට මන්ත්‍රී ආසන 76ක්වත් ආරක්ෂා කරගනිමින් 2/3ක ඡන්දයෙන් සම්මත වීම වළක්වා ගැනීමට අවස්ථාව ලැබීම.

2016 අගෝස්තු පාර්ලිමේන්තු මැතිවරණයේදී මහින්ද වෙනම පක්ෂයකින් හෝ ස්වාධීන කණ්ඩායමකින් තරග කළේ නම් අත් විදින්නට වන දුෂ්කරතා.

1. දේශපාලන පළිගැනීම් වැඩි වීම

(2016 අගෝස්තු පාර්ලිමේන්තු මැතිවරණය පවත්න දින වනවිට හෝ ඊට පසුව මහින්ද, විමල්, ශිරන්ති ඇතුළු පිරිසට බන්ධනාගාරගත වන ආකාරයට යහපාලන ආණ්ඩුව නීතිය ක්‍රියාත්මක කරනු ඇත.2016 අගෝස්තුපාර්ලිමේන්තු මැතිවරණයේදී මෛත්‍රීරීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ නායකත්වය යටතේ UPFA එකෙන් ඡන්දය ඉල්ලන උගුලට හසු කරගත්තද යෝෂිත, සශී වීරවංශ රිමානඩ් කළ අතර මහින්ද, ‍ගෝඨාභය විමල් ආදීන් පරීක්ෂණ කොමිෂන්, FCIB ආදී ආයතන වෙත කැදවමින් ක්‍රියා කර ඇත.)

2. SLFP දෙකට කැඩුවා යන චෝදනාව එල්ලවීම

2016 අගෝස්තු පාර්ලිමේන්තු මැතිවරණයේදී මහින්ද වෙනම පක්ෂයකින් හෝ ස්වාධීන කණ්ඩායමකින් තරග කිරිම හා නොකිරීම සම්බන්ධ සැළකීමේදී දුර දක්නා නුවණින් උපායශීලීව ක්‍රියා කරමින් 2016 අගෝස්තු මැතිවරණයදී වෙනම තරග කිරීම මහින්ද විසින් සිදුකළ යුතුව තිබිණ. නමුත් එසේ සිදු නො විය.

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ නායතක්වය යටතේ මැතිවරණයට ඉදිර්පත් වූ මහින්ද දැනුවත්ව හෝ නොදැනුවත්ව මෛත්‍රි-රනිල් දේශපාලන උගුලේ හසු විය. අගෝස්තු 17 පැවති පාර්ලිමේන්තු මැතිවරණයට පෙර අවස්ථා කිහිපයකදී ම මහින්ද දිනුවත් අගමැතිකම නොදෙන බව ජනාධිපතිවරයා ප්‍රසිද්ධයේ කියද්දී මහින්දව උගුලට හසුකළ අය එළිදරව්වත් ජනතාවට කළ හැකි දෙයක් නැති විය.

අගොස්තු 17 පැවති පාර්ලිමේන්තු මැතිවරණයට පෙර සිකුරාදා සන්ධානයේ ලේකම්ධූරය දිසා අධිකරණයේ නඩු දමා වාරණය කරමින් මහාචාර්ය විශ්ව වර්ණපාලව පත්කරගෙන ජාතික ලැයිස්තුව තමන්ට අවශ්‍ය පරිදි පත්කර ගැනීමට මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා ක්‍රියා කළ අතර ඒ අනුව මැතිවරණයට තරග කරමින් පරාජයට පත් මහින්ද විරෝධි අපේක්ෂකයන් රොත්තක්ම පාර්ලිමේන්තුවට ඇතුළුකර රනිල්-මෛත්‍රී සුසංයෝගයට හැකි විය. එක්සත් ජාතික පක්ෂයට නීති උපදෙස් දෙන නීතීඥවරැ මෙහිදී මෛත්‍රීපාල ජනාධිපතිවරයාට සහාය දෙමින් අධිකරණ නිවාඩු සමයේදීත් අධිකරණ තීන්දු ලබා ගැනීමට කියා කළේ මහින්ද රාජපක්ෂගේ ඡන්ද දායකයන් අන්ද මන්ද කරමිනි.

2016 අගෝස්තු පාර්ලිමේන්තු මැතිවරණයේදී මහින්ද වෙනම පක්ෂයකින් හෝ ස්වාධීන කණ්ඩායමකින් තරග කළේ නම් කිසි විට මෙවැනි ප්‍රජාතන්ත්‍රවාදී විරෝධී දේවල් සිදු කිරීමට මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාට හැකි නොවේ. පරාජිතයන් මේ තරම් සංඛ්‍යාවක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරැ නොවන අතර පරාජිතයන් කැබිනට් ඇමතිවරැ නියෝජ්‍ය කථානායකවරැ වීමද වළක්වා ගැනීමටද හැකිව තිබුණි. එහෙත් එ‍සේ නො වුණේ මන්ද යන්නත් දේශපාලන විචාරකයන්ගේ බුද්ධියට ‍ගෝචර නොවීම ගැටළුවකි. අවසානයේ කිව හැක්කේ මෙ රට සිටින දේශපාලන විචාරකයන් නාමිකව දේශපාලන විචාරකයන් වනවා පමණක් විය හැකි බවය.

පෙරහැර යාමෙන් පසු හෝ අශ්වයා ඉත්තාලයෙන් ගිය පසු හෝ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ නායතක්වය පිළිගෙන එයට අනුව ඡන්දයට ඉදිරිපත්වී මන්ත්‍රීවරයකු වී සිටින විට මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ නායතක්වයට අභියෝග කිරීම හෝ නායකත්වයට වෙනස්ව වෙනම ක්‍රියාකිරීමට යාම මහින්ද පාර්ශවය විසින් සියතින් ගෙල සිද ගැනීමක් විය හැකිද යන්න කීමට තවමත් කාලය නො වේ.

ලැබුණ මුල් අවස්ථාවේ වෙනම ඡන්දය නොඉල්ලා 2016 මැයි 01වැනි දින වෙනම මැයි රැළියක් පැවැත්වීම මගින් මහින්ද පාර්ශවයට බරපතල ප්‍රතිවිපාක අත් විදින්නට ලැබෙනු ඇත. නීතිමය වශයෙන් උගුලක සිර වී සිටිද්දී කරණම් ගැසීම තව තවත් අහිතකර ප්‍රතිඵලම අත් කරයි. නමුත් මේ කරණම් ගැසිය යුතුම තැනකට මහින්ද මේ වන විට පත් වී ඇත.

මහින්ද ප්‍රසිද්ධියේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපත්වරායට අභියෝග කරමින් වෙනම මැයි රැළියක් කිරැළපයේ පැවැතිවීම මගින් සිදුවන මේ දේශපාලන පුපුරා මගින් කල්ගතවී හෝ මේ යහපාලන ඊනියා ජාතික ආණ්ඩුවේ රංගනයේ නිරැවත ජනතාව හමුවේ එළිදරව්වීම පටන් ගනී. අගොස්තු 17 පාර්ලිමේන්තු මැතිවරණයට මහින්ද ඇතුළු කණ්ඩායම වෙනම තරග කළේ නම් අගමැතිකම නොව විපක්ෂ නායකත්වයවත් රැකගැනීමට තිබිණ. ඒ සමගම මහින්ද සමග එක්වී ඡන්දයට ඉදිරිපත්වී පාර්ලිමේන්තුවට පිවිසීමෙන් පසු මනූෂ නානායක්කර වැනි මන්ත්‍රීවරැන් මේ ගහන කරණම්ද අද සිදුකරනු විලසටම කරනම් ගසනු දැකීමටත් පුළුවන් කම තිබිණ.

වර්තමානයේ ඇත්තේ SLFP ඡන්ද දායකයන්ගේ කැමැත්ත මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා වෙත ලබා ගැනීම සදහා කළ හැකි සියලු දේ සිදුකිරීමේ කාලයයි. ඒ සදහා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා නිසිපරිදි ගෙදර වැඩ (Home Work) කරනු පෙනේ. ඒ ගෙදර වැඩ කිහිපයක් මෙසේ ය.

1. ගාල්ලේ පවත්වන මැයි දින රැළියේදී හැකි පමණ මහින්ද රාජපක්ෂව විවේචනය කරමින් ශ්‍රි ලංකා නිදහස් පක්ෂිකයන් අතර මහින්දට වෛරකරන පිරිස වැඩි කිරීම

2. ජාතික ආණ්ඩුවට විරැද්ධව එයට සම්බන්ධ වී සිටින SLFP යට විරැද්ධව ප්‍රභල ජනතා විරෝධයක් මතු වී ඇති හෙයින් එය සමනය කර ගැනීම සදහා ඩිලාන් පෙරේරා ‍හෝ මහින්ද අමරවීර හෝ දුමින්ද දිසානායක විපක්ෂ නායක කරමින් SLFP මන්ත්‍රීවරැ කණ්ඩයමක් ජාතික ආණ්ඩුවෙන් ඉවත් වී විපක්ෂයේ අසුන් ගැන්වීම. එවිට ආණ්ඩුව කෙරෙහි කළකිරී සිටින SLFP ඡන්ද දායකයන්ගේ කැමැත්ත මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා වෙත ලබා ගැනීම පහසු කරයි.

3. FCIB අහොසි කරමින් නමුත් පාර්ලිමේන්තුව මගින් වෙනම පනතකින් FCIB නීත්‍යානුකූල කරමින් මහින්ද රාජපක්ෂ හිතැති කණ්ඩායම් සහ මන්ත්‍රීවරැ සිරගත කිරීම වේගවත් කිරීම.

4. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයායට හිතවත් SLFP මන්ත්‍රීවරැ විසින් පාර්ලිමේන්තුවේ විපක්ෂයේ බලය අල්ලා ගැනීමෙන් පසු ආණ්ඩුව සහ විපක්ෂය යන අංශ දෙ‍කෙන්ම මහින්ද පාර්ශවයට චෝදනා එල්ල කිරීමට පටන් ගැනීම සහ මහින්ද පාර්ශවයට එරෙහි අධිකරණ කටයුතු සාධාරණ කරන තර්ක ඉදිරිපත් කරමින් ජනතාවගේ අප්‍රසාදය මහින්ද පාර්ශවය වෙත එල්ල කිරීම. මේ සදහා විරැද්ධ පක්ෂයට රජයේ විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍ය විවෘත කිරීම.

5. ඒ සමගම මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාට හිතවත් මන්ත්‍රීවරැ, පළාත් පාලන මන්ත්‍රීවරැ හරහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිතයන්ට රජයේ රැකියා, විදේශ රැකියා, කොන්ත්‍රාත් ආදිය කඩිනමින් ලබා දීම.

6. SLFP ඡන්ද දායකයන්ගෙන් 40%ක්වත් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා වෙත සහාය පළකරන තත්ත්වයක් ඇති කරගන්නා තෙක් පළාත් පාලන මැතිවරණය කල් දමා ගැනීම.

7. ජිනීවා යුධ අපරාධ පරීක්ෂණ අවසන් කිරීමට ඉඩ නොදී කල් ගත කිරීම.

8. UNP ඇමතිවරැන් විසින් ජනතා අයිතිවාසිකම් අහිමි කිරීමට සළස්වා ජනතා උද්ඝෝෂණ ඉදිරිපත්වනවිට ජනාධිපතිවරයා මැදිහත් වී ජනතා හඩට කන්දෙන ජාතික වීරයකු ලෙස අහිමි කළ ජනතා අයිතිවාසිකම් යළි ලබා දීම.

9. කඩිනමින් නව ආණ්ඩුක්‍රම වයවස්ථාව සම්මත කරගනිමින් දෙමළ සහ මුස්ලිම් අන්තවාදීන්ගේ හිත දිනා ගැනීම.

2016 මැයි 01වැනි දින මෛත්‍රී සහ මහින්ද ස්ථාන දෙකක මැයි රැළි පැවත්වුව හොත් හය ගල උඩ සටන ආරම්භ කිරීමක් වෙයි. මෙම සටනෙන් තුන්වැනි පාර්ශවයකට කිසි සේත් වාසියක් අත් නොවේ. මෙම සටනෙන් ජයගන්නා ලාංකීය දේශපාලනය නිශ්චය කරන තීරකයාද වෙයි. ආණ්ඩුවේ සහාය ලබමින් වරප්‍රසාද ලැබූ ඇත්තෝ ගාල්ලේදීත්, ආණ්ඩුවේ සහාය නැත්තෝ කිරැළපනයේදීත් සිදු කරනඒ සටන දෙස අපි බලා සිටිමු.

යහපාලනය මුවාවෙන් මේ ආණ්ඩුව ද, දෙවන ලෝක යුද්ධයේ නිර්මාතෘවරයකු වූ අඩොල්ෆ් හිට්ලර් ජර්මන් පාර්ලිමේන්තුව නාසින්ගෙන් පුරවා ගත් අකාරයේ මනෝ මූලික සංග්‍රාමයක් ආරම්භ කර ඇති බවත් පැහැදිලිය. ගොබෙල්ස්ලා එකෙකු නොව දුසිම් ගණනක් මිත්‍යාව වපුරවනු ලබන බවත්, මාධ්‍ය ආයතන ගොළුවන් බිහිරන් ලෙස එදා වේල සරිකර ගන්නා බවත් ඒ සමගම පෙන්වා දීමට සිදුවෙයි.

අසත්‍ය අසත්යෙන් වසා ගැනීම මේ ආණ්ඩුවේ පැවැත්ම වී තිබේ. ජනතාව වහා මේ තත්ත්වය හදුනා ගැනීමට බුද්ධි ගෝචර විය යුතුය.

Top