Breaking
15 Oct 2025, Wed

ටිරාන්ට එරෙහිව අල්ලස් කොමිසමට පැමිණිල්ලක්! බ්‍රිතාන්‍ය පවුම් ලක්ෂ 14කුත් ඒ අතර!!

යුරොපයේ ‘වර්ජින් අයිලන්ඩ්‘ හි ටිරාන් අලස්ගේ දේපළ සම්බන්ධ නීති විරෝධී තත්වය ගැන සොයාබලන ලෙස ඉල්ලමින් ‘ජන අරගල සන්ධානය‘ අද (14) අල්ලස් හා දූෂණ විමර්ශන කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.ජන අරගල සන්ධානයේ ජාතික විධායක සභික පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව විසින් ඉදිරිපත් කල පැමිණිල්ල හරහා ටිරාන් අලස්, බ්‍රැම්ටන් ප්‍රොපටීස් කියන ආයෝජනය මගින් බ්‍රිතාන්‍ය පවුම් ලක්ෂ 14ක් අයෝජනය ක‍ර ඇති බවට පැමිණිලි කර තිබේ.

මාධ්‍ය වෙත අදහස් දැක්වූ ජන අරගල සන්ධානයේ ජාතික විධායක සභික පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව

” අපි අද අල්ලස් හා දූෂණ විමර්ශන කොමිශන් සභාවට ආවේ හිටපු පොලිස් ඇමති ටිරාන් අලස්ට විරුද්ධව පැමිණිල්ලක් බාර දෙන්න. ඔහු ලංකාවේ දැනට ක්‍රියාත්මක මුදල් විශුද්ධිකරණ පනත්වලට පිටින් ගිහිල්ලා බ්‍රිතාන්‍යයට අයත් ‘වර්ජින් අයිලන්ඩ්‘ කියන දූපතේ මුල්‍ය නීතිවල ලිහිල්භාවය භාවිත කරමින් නීතිවිරෝධීව ආයෝජන කටයුතු කරලා තියනවා. අපි මේ ජාවාරම් ගැන රටට මුලින්ම හෙළිදරව් කළේ පසුගිය ජනාධිපතිවරණය පැවති කාලේ. අපි අද මේ පැමිණිල්ල ඉදිරිපත් කරන්නේ සම්පූර්ණ සාක්ෂි සහිතව. අපි බලාපොරොත්තු වෙනවා කොමිශම මේ ගැන ඉක්මන් විමර්ශනයක් කරලා මේ සම්බන්ධයෙන් අවශ්‍ය නීතිමය ක්‍රියාමාරග ගනියි කියලා.

අපි මේ කියු කරුණු සම්බන්යෙන් මුලින්ම ලෝකයට කරුණු ඉදිරිපත් වුණේ ජාත්‍යන්තර මාධ්‍යවේදීන්ගේ ගවේශනාත්මක සංවිධානය (ICIJ) මගින්. ඔවුන් ‘පැන්ඩෝරා පත්‍රිකා‘ නමින් ප්‍රකාශයට පත් කළ මේ වාර්තා ඒ කාලේ මුළු ලෝකෙම විශාල ආන්දෝලනයකට තුඩු දුන්නා. ටිරාන් අලස් ඇතුළු ලංකාවේ කූට ජාවරම්කරුවන්ගේ විස්තර විශාල ප්‍රමාණයක් මේවගේ තියනවා. අපි දන්න විදිහට ටිරාන් අලස්, බ්‍රැම්ටන් ප්‍රොපටීස් කියන ආයෝජනය මගින් බ්‍රිතාන්‍ය පවුම් ලක්ෂ 14ක් අයෝජනය ක‍රලා තියනවා. ඊලගට බැන්හෑම් බෙන්චර් ලිමිටඩ් කියන සමාගමේ පවුම් පහළොස් ලක්ෂ පනස්දහසක ආයෝජනයක් කරලා තියනවා. ටිරාන් අලස් ඇමතිවරයෙක් විදිහට ඉන්න කාලේ ඉදිරිපත් කරපු වත්කම් බැරකම් ප්‍රකාශ දැනටමත් අල්ලස් හා දූෂණ විමර්ශන කොමිසම සතුව තියනවා. ඒ වත්කම් බැරකම් ප්‍රකාශවල මේ ආයෝජන ගැන තොරතුරු සඳහන් වෙලා නැත්තම් ආණ්ඩුවට පුලුවන් වහාම මේ ගැන පරීක්ෂණයක් කරන්න. මේවා ගැන හොයන්න ඒ දූපත්වලට යන්නම ඕන නැහැ. අවශ්‍ය නම් ජාත්‍යන්තර මාධ්‍යවේදීන්ගේ ගවේශණාත්මක සංවිධානයෙන් වැඩිදුරටත් තොරතුරු ලබාගන්න ආණ්ඩුවට පුලුවන්.

අපි මේ කරුණු රටට හෙළිදරව් කළාට පස්සේ ඒ කරුණු යටපත් කරමින් අනාවරණය කිරීම කළ පාර්ශ්වයට එරෙහිව ජාතික ජන බලවේගයේ ප්‍රචාරක අංශයෙන් විශාල අවලාද සහිත ප්‍රචාරක ව්‍යාපෘතියක් අරගෙන ගියා. දැන් අපි සියලු තොරතුරු සහිතව පැමිණිල්ලක් ඉදිරිපත් කරලා තියෙන්නේ. දැන් බෝලේ තියෙන්නේ අපේ පැත්තේ නෙවෙයි. අපි බෝලේ ආණ්ඩුව අතට දීලා තියෙන්නේ. අපි බලාගෙන ඉන්නේ ආණ්ඩුව දැන් ක්‍රීඩා කරන්නේ කොහොමද කියලා.

ටිරාන් අලස් ඇමතිධූරය දරණ කාලේ අපි දැක්කා ලංකාව ශිෂ්ට සම්පන්න කරනවා කියාගෙන තැන තැන බණ කිය කියා. දැන් ඒ සුදු ඇඳගෙන ඇවිත් රටට කියපු බණ, වැදි බණ වෙලා ඉවරයි. ඔහුගේ වෙස් මුහුණ දැන් සමාජය ඉස්සරහා ගැලවිලා. ජනතාවටත් තියනවා මේ සිද්ධියෙන් ඉගෙනගන්න ලොකු පාඩමක්. තවදුරත් මේ වගේ පුද්ගලයන්ගේ වෙස් මුහුණට රැවටෙන්න එපා කියලා අපි ජනතාවගෙන් ඉල්ලනවා. මොකද සමාජය ඉස්සරහා පෙන්නන ව්‍යාජ මුහුණ නෙවෙයි බලය ලැබුණට පස්සෙ මොවුන්ගේ සැබෑ මුහුණ බවට පත් වෙන්නේ.

අපි දන්නවා ටිරාන් අලස් වගේ දූෂිත දේශපාලනඥයන්ට විරුද්ධව මෙච්චර කාලයක් සිදුවුණ විමර්ශන සියල්ලම වගේ එක් තැනකින් නතර වුණා. ඒවට අදාළ ක්‍රියාමාර්ග ගන්න මේ රටේ නීතිය සමත් වුණේ නැහැ. නමුත් අපි හිතනවා තවදුරත් ඒක එහෙම වෙන එකක් නැහැ කියලා. අල්ලස් කොමිශමට සහ ආණ්ඩුවට දැන් අවස්ථාව තියනවා බලපෑම්වලට යට නොවී ඇත්තටම නීතිය ක්‍රියාත්මක කරන්න. මොකද මේ ආණ්ඩුවට ජනතාව බලය දුන්නෙම පසුගිය ආණ්ඩුවල දූෂණ වංචාවලට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරයි කියන බලාපොරොත්තුව එක්ක. ඒ නිසා ආණ්ඩුවට බැහැ ඒ ජනතා අභිලාෂයන්ට පිටුපාලා කටයුතු කරන්න.

අනිත් කාරණය තමයි දැනට ලංකාවේ නීතිය අනුව මැති ඇමතිවරුන්ගේ දූෂණ ක්‍රියා විතරයි විමර්ශනය වෙන්නේ. හැබැයි අපි දන්නවා මේ රටේ ධනවත්ම ව්‍යාපාරික පැලැන්තිය පසුගිය කාලේ ඩොලර් බිලියන 42කට වැඩි මුදලක් වංචනික විදිහට රටින් පිට කරලා තියනවා. ඒ නිසා මේ රටේ ව්‍යාපාරිකයන්ගේ වත්කම් බැරකම් හොයන තැනට රටේ නීතිය පුළුල් වෙන්න ඕන. ඔවුන් එතරම් විශාල මුදලක් උපය ගත්තේ කොහොමද කියලා ජනතාව දැනගන්න ඕන. නීතිවිරෝධීව උපයගත්ත මුදල් තියනවනම් ඒවා නැවත ජනතාව සතු කරන්න ඕන. මොකද පසුගිය අරගලයේ ප්‍රධාන සඨන් පාඨයක් තමයි ” හොරා කාපු සල්ලි දියව් ” කියන එක. මුළු රටක්ම ආර්ථික අර්බුදයකට ගිය වෙලාවක, රටේ ජනතාවගෙන් බහුතරයක් තුන් වේල කන්න විදිහක් නැතුව මන්දපෝෂණයට ගොදුරු වුණු වෙලාවක ධනවත්ම ව්‍යාපාරික පැලැන්තිය බිලියන ගණං ලාභ උපයගෙන තියනවා. ඒ සියල්ල ජනතාවගෙන් වංචනිකව පැහැරගත්ත මුදල්. ඒ නිසා මේ රටේ ජනතාවගෙන් මංකොල්ල කාපු බිලියන ගණං ධනය නැවත ජනතාවට ලැබෙනකල් ජන අරගල සන්ධානය විදිහට අපි දිගින් දිගටම සටන් කරනවා. අද අපි ආරම්භයක් විදිහට තමයි මේ පැමිණිල්ල ඉදිරිපත් කලේ. ටිරාන් අලස් වගේම තවත් දූෂිතයන්ගේ නම් විශාල ප්‍රමාණයක් අපි සතුව තියනවා. ඉදිරියේදී ඔවුන් සම්බන්ධයෙනුත් අපි මේ රටේ ජනතාව එක්ක අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නවා කියන කාරණය මේ වෙලාවේ මතක් කරන්න ඕන. ”

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *