වසරක්ම නිහඬව සිට මේ කියා ඇත්තේ නොකියාම බැරි තැනය. දැනට දිගට නොකියමි. NPP ආණ්ඩුව කුක්කන් බැඳ තැබීමටත්, අපරිණත වාචාලයන් මෙල්ල කිරීමටත් කටයුතු කළ යුතුවේ. එසේ නැතහොත් හඳුන්නෙත්ති ඇමතිවරයා කියූ “බිග් කුච්චෙන්” සියැසින් ම දැක ගැනීමට ලැබෙනු ඇති බවත් රජයට එරෙහිව ප්‍රතිචාර දැක්වීමට ලැබෙන පළමු අවස්ථාවේදීම මහජනතාව පෙරටත් වඩා සැහැසි ලෙස නිසි ප්‍රතිචාර දක්වනු ඇති බව මාලිමාවට කඩේ ගිය මහාචාර්යවරයෙකු වන ජ්‍යෙෂ්ඨ මහාචාර්ය බිහේෂ් ඉන්දික සම්පත් සිය පශ්චාත්තාපය සටහන් කර තිබේ.
( උපුටා ගැනීම )
ඔක්කොම හොඳයි මුක්කම නරකයි කියා කියමනක් ඇත. ඔක්කොම කෙසේ වෙතත් මේ ආණ්ඩුවේ සාධනීය වශයෙන් ගත හැකි දේවල් කිහිපයක්ම තිබේ. මහජන දේපළ තවම හොරා කෑමට පටන්ගෙන නොතිබීම ඒ අතරින් වැදගත් වන්නකි. එහෙත් ඒ අතර අසංතෘප්තිකර දේවල්ද ගණනාවක් ම ඇති බව පිළිගත යුතුය. මේ සටහන ඒ ගැනයි. සටහන තබන්නේ ද විශේෂ දිනයකයි. 2025.09.30. මුළු රටේම රාජ්‍ය විශ්වවිද්‍යාල NPP රජයට එරෙහිව එක්දින සංකේත වැඩවර්ජනයක් ක්‍රියාවට නැංවූ දිනයකි.
මේ සටහන තබන මම, මගේ කුළුඳුල් ඡන්දයේ සිට බොහෝ අවස්ථාවල JVPය හෝ NPPය හෝ ඔවුන්ගේ නියෝජනය වෙනුවෙන් ඡන්දය පාවිච්චි කළ අයෙක්මි. එය වෙනස් වූයේ ෆොන්සේකා ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ අවස්ථාවේ මහින්දට ඡන්දය දීමෙන් පමණි. කිසිදු දේශපාලනික පක්ෂයකට සෘජුව සම්බන්ධ නොවූ නමුත් අරගලයෙන් පසු NPP සාමාජිකත්වය ලබාගත් අතර කොට්ඨාස සභා පිහිටුවීම්, ජන හමු ආදි ගණනාවකට සහභාගි වූයෙමි. කිහිප වතාවක් NPP වේදිකාවටද ගොඩවීමි.ඒ වෙනුවෙන් ඡන්දය ලබා ගැනීම උදෙසා මැදිහත්වීමි. වසරකට විදේශගත වීමට තිබූ අවස්ථාව දින කිහිපයකට පමා කරගත්තේ අනුර සහෝදරයාට ඡන්දය දී යාමට අවශ්‍ය වූ නිසාය. ඔහුගේ ජයග්‍රහණය මා දැනගත්තේ තායිලන්තයේ ස්වර්ණ භූමි ගුවන් තොටුපළහි දීය. කෙසේ වෙතත් ඒ කිසිවක් මා උදෙසා කිසිවක් ලබාගැනීමට නොවේ. රට උදෙසාමය.
ජනාධිපතිවරයා පත් වී මාස පහ, හයකට පසුව නැවතත් මා නිවාඩුවකට ලංකාවට පැමිණ ගිය අවස්ථාවේදී රටෙහි කිසිදු දැනෙන වෙනසක් ඇතිවී තිබුණේ නැත. පොලිස්කාරයන් යොදවා කඩිමුඩියේ වාහනවල කෑලි ගැලවීම වැනි සිල්ලර වැඩ ටිකක් පමණි. ආණ්ඩුවට තවදුරටත් කාලය දිය යුතුය යන අදහසින් නිහඬව සිටියෙමි. පළාත් පාලන මැතිවරණය අවස්ථාවේදී මෙරට සිටියේ නැති උනත් දන්නා කියන අයගේ ඡන්දය ලබාදීමට කටයුතු කළෙමු. කෙසේ වෙතත් එම අවස්ථාවේදී ඡන්දදායක මහජනතාව රජයට ලබා දී තිබුණු පණිවුඩයද දැක ගතිමු.
විදේශගත වූ කාර්යය සමාප්ත කොට නැවත මා මෙරටට පැමිණියේ ජනාධිපතිවරයාගේ පදවිප්‍රාප්තියේ වර්ෂ පූර්ණයට ආසන්න කාලයේ ය. සැබැවින්ම වසරක කෙරුවාව ගැන සෑහීමකට පත්විය හැකිද? හොරු ඇල්ලීම්මේ උත්සාහය, නාස්තිය හා දූෂණය අවම කිරීම, ක්ලීන්ශ්‍රී ලංකා වැඩසටහන, දේශපාලනඥයන් අනිසි සැප භුක්ති නොවිඳීම සහ මහජන මුදල් අවභාවිත නොකිරීම වැනි ඇතැම් දේහි සාධනීය ලක්ෂණ ඇතත් සෑහීමකට පත්විය නොහැකි කරුණු කාරණා ද ගන්නාවක්ම පවතී.
1. මහ මහජනතාව ලබා දුන් අතිවිශාල ජනවර්ම නිසා උද්දාමයට පත්ව පොදු මහජනතාවත් විරුද්ධ බලවේගත් නොතකා හැර අහංකාරීව වහසි දොඩන දේශපාලඥයන් කිහිප දෙනෙකුම දුටුවෙමු. අප මාලිමාවට ඡන්දය දුන්නේ එවැනි අපේක්ෂාවකින් නොවේ.
2. අනුමණ්ඩල පත් කිරීම, අධ්‍යක්ෂවරුන් පත්කිරීම වැනි අවස්ථාවල ද ගැටළු රාශියක් පවතී. මහින්ද යටතේත්, ගෝඨා යටතේත්, රනිල් යටතේත්, මෛත්‍රිපාල යටතේත් අනුමණ්ඩලවල කටයුතු කිරීමෙන් ලද අත්දැකීම් අපට ඇත. එහෙත් ඒ කිසිදු අවස්ථාවක නොපැවැති ආකාරයෙන් දේශපාලනික අගතිගාමීත්වයක් වර්තමානයේ නිරීක්ෂණය වේ. මේ සම්බන්ධව දැනට දිගට නොකියමි. මාලිමා වේදිකාවේ සිට ඒ වෙනුවෙන් කටයුතු කළ අයට වරදාන හා වරප්‍රසාද හැටියට විවිධ තනතුරු ලබාදුන් අවස්ථා රැසක් නිරීක්‍ෂණය වී ඇත. කෙසේ වෙතත් මාලිමා ආණ්ඩුව පත් කළ එවැනි අධ්‍යක්ෂ තනතුරු ආදියෙන් දැනට සැලකිය යුතු පිරිසක් ඉල්ලා අස්වී ඇති බවද පැහැදිලිය. මේ හැම එකක් දෙසම පුළුල්ව දැකිය යුතුවේ.
3. මාලිමාවේ ඇතැම් දේශපාලනඥයන් අදටත් තමා ලද දේශපාලන බලයටත් වඩා සමාජ මාධ්‍යයේ ළාමක ප්‍රචාරකවාදී දේ විශ්වාස කරන බවක් පෙනේ. සමාජ මාධ්‍යවල හුවා දක්වන දේ හැරුණු කොට සැබවින්ම ඔවුන් අතින් මේ වන තුරුත් රට හා ජනතාව වෙනුවෙන් ඵලදායී යමක් සිදුවී නැත.
4. මාලිමාවේ දේශපාලනඥයන් සම්බන්ධයෙන් පොදු ජන සමාජයේ අපේක්ෂා කළ පරමාදර්ශී භාවය ශීඝ්‍රයෙන් විඳවැටීමට පටන් ගැනිණ. එය ආචාර්ය පට්ටම්වලින් ඇරඹී වත්කම් බැරකම් ප්‍රකාශනයේදී තීව්‍ර විය. වත්කම් තිබීම හොඳ දෙයක් නමුත් බලයට පත්වන තුරු මාධ්‍ය හමුවේ ප්‍රකට කළ ව්‍යාජ ප්‍රතිරූපය සම්බන්ධයෙන් මේ වනවිට සමාජය ප්‍රශ්න කරමින් සිටි.
5. ඇහුම්කන් නොදෙන උද්දච්ච ස්වභාවය මාලිමාවේ බලධාරීන්ගේ ඇති අගතිගාමී ලක්ෂණයකි. බලය ලබා දෙන තුරු දේශපාලඥයන් මහජනතාවගේ පසු පසින් යාමත් බලය ලද පසු මහජනතාවට ඔවුන් පසුපස යාමට සිදුවීමක් පූර්ව කාලයේ පටන් හුරු පුරුදු තත්ත්වයකි. දැනටත් එයින් වෙනස් දෙයක් සිදුවී නැත.
6. බලය ලැබීමට පෙරාතුව අගමැති හරිනි විශ්වවිද්‍යාලය අවට පැවැත්වූ කුඩා රැස්වීම් හා සුහද හමු ගණනාවක් මතකය. ජනාධිපතිවරයා සූම් මගින් හෝ විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ට සාකච්ඡා ලබා දුන් අවස්ථා මතකය. එහෙත් දැනට තත්වය නම් ඔවුන්ගේ රජය විසින්ම නිර්මාණය කරන ලද ප්‍රශ්නවලට වත් විසඳුම් ලබා දීමට තරම් වගවීමක් ප්‍රකට නොකිරීමයි.විශ්වවිද්‍යාල පද්ධතියේත් විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තියේත් ඇති කළ ගැටලු ඊට හොඳම නිදසුනකි.
7. ඒ කාලයේ දුරකථනයෙන් කතාකර අතන මෙතන රැස්වීම්වලට ආරාධනා කළ සහෝදරයන් කිසිවෙකු වත් දැන් කතාකරන්නේ නැත. එසේ කතා කරන්නට වුවමනාවක් ද නැත. එහෙත් ගැටලුවට විසඳුම් ලබාදිය යුතුවේ. ඇත්තට නිදිගත් තැනැත්තන් අවදි කරවිය හැකි වුවත් බොරුවට නිදි ගත්තවුන් අවදි කරවිය හැකි නොවෙයි. අද කරුණු පැහැදිලි කළ යුතුව ඇත්තේ අපටත් වඩා හැමදේම හොඳින් දත් එවකට වෘත්තිය සමිතියේ ප්‍රමුඛයන් වූ පුද්ගලයන්ටයි. ඔවුන් අපට වඩා හොඳින් හැමදේම දන්නා නමුත් නොදන්නවා සේ පසුවෙති.
8. ඇතැම් වෘත්තිකයන් දැනට වෘත්තීය ක්‍රියාකාරකම්වලින් ඉවත්ව ආණ්ඩුව ආරක්‍ෂා කිරීමේ සහ එහි කුණුසේදීමේ කටයුතුවල පමණක් නිරතව සිටිති. ඔවුහු වට්සැප් සමූහ ආදියේ ස්වයං වින්දනය කරමින් පසු වෙති. ඇතැමුන් තවදුරටත් තානාන්තර පතා වෘත්තිය සංගම ආදියේ බලය පවා දෙමින් සිටිනවා දැයි සැක සිතේ. කෙසේ වෙතත් 2025.09.30 දින සංකේත වැඩවර්ජනය සඳහා කිසිදු භේදයකින් තොරව ලංකාවේ රජයේ විශ්ව විද්‍යාලවල සියලු ආචාර්යවරුන් සම්බන්ධ වීම රජය හරිහ හැටි කියවා ගත යුතු තත්ත්වයකි.
9. තම පෞද්ගලික සුඛ විහරණ කැපකොට තමා ඉපයූ මුදල් පවා ජනතා විමුක්ති පෙරමුණ උදෙසා මිඩංගු කොට අද ජීවිකාව පවා පවත්වාගෙන යාම ගැටලුවක් වී ඇති පැරණිතම, ජ්‍යෙෂ්ඨ සාමාජිකයන් ගැන මම දනිමි. එවැන්නන් ගැන නොතකා, එවැන්නන්ගේ අදහස් උදහස් වලට පවා අවධානයක් යොමු නොකොට ඉතාම මෑත කාලයේ එක් වූ ළාමක පිරිස් පෙරට ගෙන සිදු කරන්නාව වූ අපරිණත දේශපාලනික කටයුතු පිළිබඳ අපට අවබෝධයක් ඇත.
10. 2025 09.30 දින වර්ජනය මුල්කොට අදහස් පළ කළ එක් කුක්කෙකු විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සේවාව පදනම් කොටගත් අදහසක් වශයෙන්, විශ්වවිද්‍යාලවලට විශේෂ තත්ත්වයක් ලබා නොදිය යුතු බවත් ඒවාද පාසල්වලම දිගුවක් වූ හුදු අධ්‍යාපන ආයතන වශයෙන් සැලකීම ප්‍රමාණවත් බවත් පැවසූ බවක්ද දැනගන්නට ලැබිණ. ඒ ගැන පසුව ලියමි.
වසරක්ම නිහඬව සිට මේ කියා ඇත්තේ නොකියාම බැරි තැනය. දැනට දිගට නොකියමි. NPP ආණ්ඩුව කුක්කන් බැඳ තැබීමටත්, අපරිණත වාචාලයන් මෙල්ල කිරීමටත් කටයුතු කළ යුතුවේ. එසේ නැතහොත් හඳුන්නෙත්ති ඇමතිවරයා කියූ “බිග් කුච්චෙන්” සියැසින් ම දැක ගැනීමට ලැබෙනු ඇත. රජයට එරෙහිව ප්‍රතිචාර දැක්වීමට ලැබෙන පළමු අවස්ථාවේදීම මහජනතාව පෙරටත් වඩා සැහැසි ලෙස නිසි ප්‍රතිචාර දක්වනු ඇත.
බිහේෂ් ඉන්දික සම්පත්,
ජ්‍යෙෂ්ඨ මහාචාර්ය,
කැලණිය විශ්වවිද්‍යාලය.
2025.09.30
(උපුටා ගැනීම අවසන්)