Breaking
24 Feb 2025, Mon

රට පාවාදුන් සීයලා,බාප්පලා පාරේ යන පිං අගමැති

රනිල්ගේ ලෝකය කුමක් ද යන්න අමුතුවෙන් කිවයුතු නැති වුවත් ඉඳහිට ඔහු සිතන පතන ආකාරය ගැන සටහන් කිරීමට සිදුවෙයි. අතුරලියේ රතන හිමියන් වරක් දේශනා කර තිබුණේ රනිල් ප්‍රබුද්ධයකු කියා ය. රනිල් බෞද්ධ පොතපත කියවනවා විය හැකි ය. එහෙත් ඔහුට  සිංහල බෞද්ධ මනසක් සකස් කර ගත නො හැකි ය. පොත් කියවූ පමණින් පුද්ගලයකුගේ මනස වෙනස් නො වේ.

අපේ රටේ මහා විද්‍යාඥයන් යැයි කියා ගන්නා සිංහල බෞද්ධයෝ එමට වෙති. ඔවුහු බටහිර විද්‍යා පොතපත කියවති, ලියති, ඊනියා පර්යේෂණ පත්‍රිකා ප්‍රසිද්ධ කරති, බටහිර විද්‍යාවේ දර්ශනය, ප්‍රවාද ගැන අනෙක් සිංහල බෞද්ධයනට කියා දෙති. එහෙත් ඔවුන්ට ඊනියා විද්‍යාත්මක මනසක් ඇතිකර ගැනීමට නොහැකි වී ඇත. ඔවුන්ට බටහිර විද්‍යාවේ හරිහමන් සංකල්පයක්, ප්‍රවාදයක් නිර්මාණය කරගත නො  හැකි ය. ඇතැම් විට රනිල් වැන්නන් බටහිර විද්‍යාවට නැඹුරු විණි නම් ඔවුන්ට බටහිර විද්‍යාඥයන් වීමට ඉඩක් තිබිණි යැයි සිතමි.  

අද රනිල් කතා කරන්නේ ශ්‍රෙෂ්ඨාධිකරණය ගෝඨාභය රාජපක්‍ෂගේ ඉල්ලීමක් අනුව දුන් අතුරු තහනම් නියෝගයක් ගැන ය. ඒ තහනම් නියෝගයට අනුව ඔක්තෝබර් මාසයේ අදාළ නඩුව නැවත කැඳවන තුරු ගෝඨභය අත් අඩංගුවට ගැනීමට නො  හැකි ය. රනිල්ට ප්‍රශ්නයක් වී ඇත්තේ තමා ද නඩුවේ වගඋත්තරකරුවකු නමුදු තමාට උසාවියේ පෙනී සිටීමට නොතිසි නිකුත් නො කිරීම ය. එබැවින් දැන් ඔහුට පිළිතුරු දීම සඳහා ඔක්තෝම්බර් මාසය වන තුරු බලා සිටීමට සිදුවන බවත් ඒ අතර මෛත්‍රිපාල පාර්ලිමේන්තුව විසුරුවා හරින බවත් එබවින් ඔහුට පිළිතුරු දීමට අවස්ථාවක් නොලැබෙන බවත් ඔහුගේ දුක්ගැනවිල්ල වෙයි. පාර්ලිමේන්තුව විසුරුවා හැරියත් ඔහු භාරකාර අගමැති ය. ඔහුට පිළිතුරු දීමට අවස්ථාවක් නොලැබෙන්නේ ඔහු මැතිවරණය පරාජය වී අගමැති තනතුරට පත් නොවූවහොත් නම් ය. රනිල් තමා මැතිවරණයෙන් පරදින බව දැනටමත් දන්නේ ද? මැතිවරණ විසිගණනක් පරාජය වී ඇති රනිල් තම ඉරණම දන්නවා ඇත. ජනාධිපතිවරණයෙන් දිනුවේ මෛත්‍රිපාල මිස තමා නොවන බවත් එය පාර්ලිමේන්තු මැතිවරණයක් නොවූ බවත් තමා අගමැති ධුරය පික්පොකට් ගැසූ බවත් වෙන කාහටත් වඩා හොඳින් රනිල් දනියි. 

රනිල්ට අවශ්‍ය නම් පිළිතුරු දීම සඳහා ක්‍රමවේදයක් මෙරට අධිකරණ සම්ප්‍රදායෙහි සොයාගත හැකි ය. ඔහුගේ නීතිඥ මණ්ඩලය ඒ සඳහා ඔහුට උපදෙස් දෙනු ඇත. ඔහු දැන් තවත් කතාවක් කියයි. තහනම් නියෝගයක් දීමට විනිසුරුවන් තිදෙනකු සිටිය යුතු බව ඔහු කියයි. එහෙත් තහනම් නියෝගය දෙනු ලැබ ඇත්තේ විනිසුරුවන් දෙදෙනකු විසිනි. එහි යම් ප්‍රශ්නයක් තිබෙන බව ද ඔහු කියයි. මේ සියළු ප්‍රශ්න විසඳා ගැනීමට පොදුරාජ්‍ය මණ්ඩලීය අධිකරණයකට යා යුතු යැයි ඔහු කියයි. ඒ යුක්තියුක්ත කිරීම සඳහා ඔහු කියන්නේ මෛත්‍රිපාල සිරිසේන පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක මණ්ඩලයේ සභාපති බවත් අප පොදුරාජ්‍ය මණ්ඩල රාමුවේ වැඩකරන බවත් ය. මෙය ප්‍රාථමික පාසල් ශිෂ්‍යයකුවත් නොගෙනෙන නොවටිනා තර්කයකි. 

මෛත්‍රිපාල පොදුරාජ්‍ය මණ්ඩලීය නායක තනතුරෙන් ඉවත් වූ පසු මේ තර්කය වලංගු නැද්ද? මෙරට අධිකරණය ස්වාධීන ය යන්නෙන් අදහස් කරන්නේ තවත් කරුණු අතර වෙනත් අධිකරණයකට එයට බලපෑම් කළ නොහැකි බවත් ය. රනිල් මෙරට අධිකරණයේ ස්වාධීනත්වය නැතිකර විදේශීය ඇඟිලි ගැසීම්වලට එය ලක්කිරීමට සූදානම් වෙයි. මේ සියල්ලෙන් පෙනී යන්නේ රනිල්ගේ කොමන්වෙලත් (පොදුරාජ්‍ය මණ්ඩලීය)  හා කොලෝනියල් (යටත්විජිතවාදී) මනස ය.  කලකට පෙර අප රට ජනරජයක් වීමට පෙර මෙරට අධිකරණ තීන්දුවලට එරෙහිව එංගලන්තයේ සාමි මන්ත්‍රණ මණ්ඩල අධිකරණයට (ප්‍රිවි කවුන්සිලයට) අභියාචනා ඉදිරිපත් කිරීමට රනිල්ගේ සීයලා හා බාප්පලා අවස්ථාව ලබා දී තිබුණේ අපේ නිදහස හැල්ලුවට ලක්කරමිනි. රනිල්ට අද අවශ්‍ය වී ඇත්තේ තම සීයලා හා බප්පලා අනුගමනය කරමින් අපේ නිදහස පාවාදීමට ය.

නලින් ද සිල්වා


2015 මැයි 15

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.