Breaking
23 Feb 2025, Sun

සීගිරි කැටපත් පවුරේ කොණ්ඩ කටුවකින් කුරුටු ගෑ මඩකලපුවේ තරුණියක් ජනාධිපති සමාව යටතේ සිරගත කරන ලද කාලය කෙටිකර නිදහස් කරනු ලැබිණි. එසේ නිදහස් කිරීම වරදක් දැයි ඇතැමුන් මගෙන් ප්‍රශ්න කරනු ඇත. මා අන්ත ජාතිවාදියකු බව තවත් අය කියනු ඇත. මෛත්‍රිපාල සිරිසේන ඇයට සමාව දුන්නේ අධිකරණ ඇමති විජයදාස රාජපක්‍ෂගේ නිදර්දේශයක් මත ය. විජයදාසට ඒ පිළිබඳ ව කරන ලද ආයාචනා ආදිය ගැන අපට දැනුමක් නැත. 

මේ තරුණිය වරද කර ඇත්තේ නො දැනුවත් ව යැයි කියැවෙයි. එය පැහැදිලි නැත. ඇය නීතිය නොදැන සිටියේ ද? සිගිරිය ගැන නොදැන සිටියේ ද? කැටපත් පවුරේ වැදගත්කම ගැන නොදැන සිටියේ ද? අපි ඒ නො දනිමු. එහෙත් එකක් පැහැදිලි ය. ඇයට සිගිරිය ගැන හෝ කැටපත් පවුර ගැන හෝ ගෞරවයක් තිබී නැත. එය ඇගේ නොදැනුවත්කම යැයි කියා අපට එය අමතක කළ හැකි නො වේ. මෙරට දෙමළ දරුවනට රටේ ඉතිහාසයට ගරු කිරීමට ඉගැන්වේ ද? එංගලන්තයේ පැරණි මාළිගාවක කුරුටු ගෑමට ගියහොත් එලිසබෙත් වින්ඩ්සර්ගේ සමාව ලැබේ වි ද? ඇය එසේ කුරුටු ගාන්නන්ට අත් වැසුම් ගලවා අතට අත දෙයි ද?  

පසුගිය අවුරුදු සියයකට වැඩි කාලයක් තිසසේ මෙරට ඉතිහාසය විකෘති කළෝ කවරහු ද? ලන්දේසීන්ගේ හා ඉංගිරිසින්ගේ අනුග්‍රහය යටතේ මෙරට ඉතිහාසය නැවත ලිවීමේ කාර්යය යාල්පානම් වෛපව මාලෙයි කෘතියෙන් ඇරඹිණි. සිංහලයන්ට මෙරට උරුමයක් නැතැයි කියන ප්‍රවාද දෙමළ උගත්තු ගොඩ නැගූහ. මඩකලපුවේ තරුණියට සීගිරිය නැරඹීම සත්තු වත්ත නැරඹීමෙන් වෙනස් නොවන්නට ඇත. ඇය ඉතිහාසය නොදැන සිටියේ නම් ඇයට ඉතිහාසයට ගෞරව කිරීමට උගන්වා නැත්නම් ඒ සම්බන්ධයෙන් වග කිව යුත්තෝ කවරහු ද? ඒ වගකිවයුත්තන්ට දඬුවම් කිරීමට මෙරට නීතියක් නැතිවීම ගැන විජයදාස රාජපක්‍ෂට කීමට ඇත්තේ කුමක් ද?

සීගිරිය පිළිබඳ සම්මත ඉතිහාසයෙහි කියැවෙන දේ අප අනුමත කළත් නැතත් අපට එය අපේ උරුමයෙන් බැහැර කිරීමට නො හැකි ය. සීගිරියට කාශ්‍යප රජුට ද එහා යන ඉතිහාසයක් ඇතැයි අපි සිතමු. ඒ ඉතිහාසය නිර්මාණය කර ගැනීම එක් දෙයකි. සීගිරිය කුරුටු ගෑම තවත් දෙයකි. අප මේ සිද්ධි සුළුවෙන් තැකිය යුතු නො වේ.

මෙරට පාසල්වල ඉතිහාසය ඉගැන්වීම බදියුද්දීන් මොහොමඩ් අධ්‍යාපන ඇමති ව සිටි කාලයේ දී නවතා දැමිණි. එහෙත් ඉන්පසු ඉතිහාසය නැවත ඉගැන්වීම පිළිබඳ නිසි වැඩ පිළිවෙළක් නො වී ය. පඬියන් අසන්නේ ඉගැන්විය යුත්තේ කාගේ ඉතිහාසය ද යන්න ය. වාස්තවික භෞතික විද්‍යාවක් නැති විට වාස්තවික ඉතිහාසයක් තිබිය හැකි නො වේ. එහෙත් යම් සංගත ඉතිහාස ඇත. 

එ සංගත ඉතිහාස උගන්වනු වෙනුවට දෙමළ ජාතිවාදීහු වෙන ම ඉතිහාසයක් කියා දුන්හ. ඔවුන්ට අනුව දේවානම්පිය තිස්ස රජු දේවානම් පියතීශම් විය, මෙරට මුල් පදිංචි කරුවෝ දෙමළ වූහ, සිංහලයෝ පසුව පැමිණ රට සිංහල කළහ, සිංහලයෝ එතෙක් පැවති දෙමළ භාෂාව පාළි සමග මිශ්‍ර කර සිංහල නමින් භාෂාවක් නිර්මාණය කළහ, සිංහල භාෂාව ද දෙමළ භාෂාවෙන් බිඳී ආ භාෂාවකි. 

අර තරුණිය කර ඇත්තේ කැටපත් පවුර කුරුටු ගෑම ය. එහෙත් උගත් දෙමළ ජාතිවාදීහු සීගිරිය ම කුරුටු ගැවෝ ය. උගත් දෙමළ ජාතිවාදීන් අර තරුණියට ඔවුන් නිර්මාණය කළ ඉතිහාසය කියා නොදෙන්නට ඇත. එහෙත් ඔවුහු ඇයට ඉතිහාසයට ගරු නොකරන්නට කියා දුන්හ. විජයදාස රාජපක්‍ෂට හෙට ලංකාවට පැමිණීමට නියමිත අමෙරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරීගෙන් ඇමෙරිකානුවන් තම අවුරුදු තුන්සියයක පමණ ඉතිහාසයට කෙතරම් ගරු කරන්නේ දැයි දැනගත හැකි ය. එහෙත් එකී කෙරීලා ම අපේ ඉතිහාසය කුරුටු ගෑමට කියති. බටහිර අධ්‍යාපනය විසින් අප කෙතරම් මෙහෙයවනු ලබන්නේ ද යන්න මේ සිද්ධියෙන් වුව ද පැහැදිලි වෙයි.


නලින් ද සිල්වා


2015 මැයි 01

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.