Breaking
23 Feb 2025, Sun

සූර්යයාට වඩා බලවන්තයා කවරෙක්ද? තරිකිට තෙයි – මේ ටික වෙයි

අග මැතිය. අග විනිසුරුය. අග රැජිනය. අග මෙහෙසිය. අග ලෙසින් මුළින් යොදන්නේ ප්‍රධාන බව අගවන්නටය. ජනතාවාදී අගමැති අපේක්ෂකයා තෝරන්නට ගොස් සැබෑ ශ්‍රිලනිප පාක්ෂිකයින්ට  සිදුව ඇත්තේ අගු පිලක වැදී නිදා ගන්නටය. මීලඟ මහා මැතිවරණය අගමැති අපේක්ෂකයා ශ්‍රිලනිප තෝරා ගන්නේ ගමේ ශ්‍රිලනිප අක්මුල්වලින් නොවේ. ඩාර්ලි රෝඩ් ශ්‍රිලනිප බෝඩ් ලෑලි වලිනි. පක්ෂ මාරුකරමින් හත්වරක් දීගගිය ගැහැණුන් සහ මිනිසුන් අටවැනි වතාවටත් මධුසමය සඳහා පිටත්වී යෑම රටටනම් කැළඹීමට හේතුවක් නොවේ.‍ ශ්‍රිලනිප දැන් පැරචුටන්ගේ පරාදීසයකි.

ශ්‍රිලනිප බිකක් හෝ හානියට ලක් නොකරමින් සන්ධානයෙන් සියළු පාර්ශවයන් සමඟ එක්ව තරඟ කිරීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂයන් ප්‍රමුඛ සන්ධානයේ ප්‍රගතිශීලි බලවේගයන් ගත් සියළු ප්‍රයත්නයන් ගඟට කැපූ ඉනි සේය. ඒ සඳහා කෝදුරු තෙල් හත්පට්ටයක් ගෙනාවද වැඩක් නැති සේය. පනින රිලවුන්ට ඉනිමන් නොව සංගිලි පාලම් බැද දුන්නද දැන් වැඩක් නැත.

 අලි මදිවට හරක්ය. සන්ධානයේ අගමැති අපේක්ෂක ලෙස චමල් රාජපක්ෂ නම් කලහොත් ඒ පිළිබදව සලකා බැලීමට ‍සූදානම් යැයි ඩාර්ලි රෝඩ් ශ්‍රිලනිප කණ්ඩායම මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් ඊයේ කියා සිටියේය. මේ රාජකීය ඔෆර් එකෙන් උද්දාමයට පත්වනු ඇත්තේ ගමේ මල්දෙන සමිති පමණි. ඇමති බලයෙන් වෙරිවූවද සුරාවෙන් වෙරිවූවද ප්‍රතිඵලය එකය. ‘යහපාලන’ ආණ්ඩුවේ සේල්ස් රෙප්ලා බවට පත්වූ වෘත්තීය සමිති කිහිපයක්ද මාධ්‍ය සාකච්ඡාවක් ඊයේ පවත්වමින් මහින්දට සන්ධානයෙන් තරඟ කිරීමට ඉඩ නොදෙන ලෙස ශ්‍රිලනිප සභාපති ජනපති මෛත්‍රීපාලගෙන් ඉල්ලා සිටියේය. මේවා වෘක තර්කය.

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරණතුංග ගම්පහදී කියා සිටියේ අගමැතිකම් ඉල්ලන අය හරි විදිහට සිටිය යුත්තේ හිරේ බවය. චන්ද්‍රිකා හිටපු ජනාධිපතිනිය කට ඇරිය ගමන් මොළයට රාජකාරි නිවාඩුවක්ය. මාධ්‍යවේදීන්ට තලු මර මර කන පුවතක්ය. මෙගා ඩීල් දැම්මේ ජනාධිපති චන්ද්‍රිකා යුගයේදීය. ඒ යටතේ ශ්‍රි ලංකා රක්ෂණ සංස්ථාව, රාජ්‍ය ඩස්ටීලර්ස් සංස්ථාව, ලංකා ෂෙල් ගෑස් සමාගම, ආසියාතික හෝටල් සමාගම, ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම, එයාර් ලංකා සමාගම, ‍බෝගල මිනිරන් සමාගම වික්කේය. රනිල් වික්‍රමසිංහ ආණ්ඩු කාලයේදී පැලවත්ත සීනි කර්මාන්තය, සෙවනගල සීනි කර්මාන්තය, ලංකා මිල්ක් ෆුඩි සමාගම සහ සිලෝන් ඔක්සිජන් සමාගම වික්‍‍කේය. යකඩ ගිනි ගන්නා තැන්වල පුළුන් ගැන මොන කථාද?

පාර්ලිමේන්තුව ජුනි 26 සිකුරාදා විසුරුවන තෙක් ‘යහපාලන’ ආණ්ඩුවේ දින 168ක පාලන කාලය එජාපයට සිහිනෙන් ගෑ මුදු සුවඳක් වාගේය. මන්ත්‍රීවරුන් 49දෙනෙකුගේ සුළුතරයෙන් ආණ්ඩුව පිහිටවූවේය. ශ්‍රිලනිප පාක්ෂිකයින් සහ හිතවතුන් ලක්ෂ 3කට ආසන්න පිරිසකට රැකියා අහිමි විය. ශ්‍රිලංකා මහ බැංකුවේ රුපියල් කෝටි 5,250 බැදුම්කරයට මුවා වී මහා දවාලේ මං‍කොල්ල කෑවේය. පාර්ලිමේන්තුවට ඒ පිළිබදව කෝප් වාර්තාව  ඉදිරිපත් කිරීමට සැර‍සෙද්දී පාර්ලිමේන්තුව විසුරුවේය. ෆෙඩරල් රාජ්‍යයකට පාර කපමින් සිටී. රටේ ආර්ථිකය කඩා වැටෙමින් පවතී. ඇමති මණ්ඩලයේ 81දෙනා අතරින් ඇමතිකම් ගත් ශ්‍රිලනිපයේ ඇමතිවරු 41දෙනාද මේවා හමුවේ නිහඩය. උඩින් ඔපේය. යටින් හපේය.

මහින්ද රාජපක්ෂ ආණ්ඩුව සරසවියේ මහපොල ගෙවීම රුපියල් 1,500කින් වැඩි කළේය. ඒ අනුව මහපොල දැන් 4,000කි. ඉකුත් ජුනි 5වැනිදා වන විටත් මහපොළ ලාභින්ට බැර වූයේ ‍2015 පෙබරවාරි මස මහපොල වාරිකයය.  ඒද මහපොළට ලැබිය යුතු රුපියල් 4,000න් රුපියල් 2,900ක් පමණි. රුපියල් 1,100ක් අඩුවී ඇත. රාජ්‍ය සේවකයින්ගේ මූලික වැටුපට රුපියල් 5,000ක් එක්කරන බව මහින්ද රාජපක්ෂ ආණ්ඩුව 2014 අයවැයේදී කියා සිටියේය. ඉන් රුපියල් 3,000ක් 2014 ‍දෙසැම්බර් වැටුපට ලබාදෙන ලදී. යහපාලන ආණ්ඩුව කියා සිටියේ රුපියල් 10,000ක් ලබාදෙන බවය. එහෙත්  ලබාදුන්නේ රුපියල් 5,000කි. තවත් රුපියල් 2,000ක් ජුනි මස ලැබිණි. මේවා සියල්ල  දීමනා ලෙසින් පමණි. ශුද්ධ වැටුපට එක්වූයේ නැත.

දින 168 ‘යහපාලනය’ තුළ විවිධ දූෂණ සහ අක්‍රමිකතා රැසකි. ගුවන්විදුලි සංස්ථාවේ 79කට උසස්වීම්ය. දුම්රිය සේවයේ තවත් 90කට උසස්වීම් සමඟ වැටුප් වර්ධන තුනකි. ජනාධිපති කාර්යාලයේ 2005න් පසු කරන ලද පත්වීම් වලින් සියයට 90ක් අහෝසිය. එහෙත් මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති තනතුරට 2005 පත්වීමෙන් පසු ජනාධිපති චන්ද්‍රිකා ලබාදුන් පත්වීම් කිසිවක් ‍අහෝසි කළේ නැත. ඒ ඔවුන් ශ්‍රිලනිපයේ බැවිනි. වර්තමානයේ වෙනසක තරම? රාජ්‍ය සේවකයින් පමණක් 8,000ක් ඉවත්කර ඇත.

එජාප ආණ්ඩුව යටතේ මෙම දින 168 තුළ ලක්ෂ 3කට ආසන්න ශ්‍රිලනිප පාක්ෂිකයින්ගේ සහ හිතවතුන්ගේ රැකියා අහිමි වූවද සෑම තැනකම ඒ වෙනුවට එජාප පාක්ෂිකයින් සහ හිතවතුන්ට අලුත් පත්විම් ලබාදී ඇත. සෞඛ්‍යට 600කි. දුම්රියට 450. සාගර විශ්ව විද්‍යාලයට 500කි. වරායට 450කි. ජාතික පාසල් සියල්ලටම එක් පාසැලකට කම්කරුන් 2 බැගිනි. පාසැල් කම්කරුවන් මෙම නව පත්වීම් ලබාගත්තේ ජුනි මස සිට වූවද පත්වීම් දිනය ලෙස සඳහන් වන්නේ අප්‍රේල් 1වැනිදාය. අප්‍රේල් සහ මැයි මාස දෙකට එම කම්කරුවන් එක් අයෙකු වැඩ නොකර ලබාගත් වැටුප රුපියල් 58,000කි. ශ්‍රිලනිප පාක්ෂිකයින්ගේ අහිමිවූ රැකියා වෙනුවෙන් එජාප ආණ්ඩුවෙන් ඇමතිකම් ගත් ශ්‍රිලනිප ඇමතිවරුන් මුනිවත රැකීම සිදුකලේ ගල හොදනම් අඹරන කහ මක්වේදැයි යන න්‍යායෙනි. කරුමේ ඩබල්ය. පින සිංගල්ය.

එජාපය සහ ශ්‍රිලනිප ඩාර්ලි රෝඩ් කණ්ඩායම පවසන පරිදි එක්වරක් පැරදුන මහින්ද රාජපක්ෂට යළිත් ඡන්දයකට ඉල්ලීම අකැපය. එහෙත් 29 වාරයක් පැරදුන රනිල් වික්‍රමසිංහට තව පාරක් ඉල්ලීම කැපය. අනේ කාලේ වනේ වාසේ! මේවා ඇහෙන විට ඉබේටම ඇඩේ. ඔවුන් කියන පරිදි පැරදී ගෙදර ගිය මව්බිම කොටි ත්‍රස්තවාදීන්ගෙන් බේරාගත් සෙන්පතියා වන මහින්ද රාජපක්ෂ ගෙදර ගොස් විශ්‍රාම දිවියක් ගතකල යුතුය. එය කිසිවෙකු තීරණය කල යුතු නැත. ඉදිරි මහ මැතිවරණයේදී ඡන්ද දායකයෝ එයට ප්‍රතිචාර දක්වනු ඇත.  ගර්ෂියා මාකේස් කීවේ ‘මා ආදරය කරන්නේ ඔබට නොව ඔබ ලඟ සිටින මා බවට පත්වන පුද්ගලයාටය.’

එජාපයේ කොළඹ නියෝජ්‍ය නගරාධිපතිවරයා වූ රණසිංහ ප්‍රේමදාස 1959 දෙසැම්බර් නගර සභා මැතිවරණයේදී ‍කොමියුනිස්ට් පක්ෂයේ එල්. ඩබ්ලිව් පණ්ඩිතට පරාජය විය. ප්‍රේමදාස යළිත් 1960 මාර්තු මහා මැතිවරණයට තරඟකර 1960 ජුලිවල පරාජයට පත්විය. අවසානයේදී 1988 දෙසැම්බර් මස ජනාධිපති ලෙස පත්විය. අගමැති එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක 1959 සැප්තැම්බර් 26වැනිදා ඝාතනයෙන් පසු අගමැති වූයේ ඩබ්ලිව් දහනායකය. ඔහු 1960 මාර්තු මැතිවරණයට ඉදිරිපත්වී පරාජයට පත්විය. යලිත් 1960 ජුලි මැතිවරණයේදී ජයගනු ලැබීය. ඩඩ්ලි සේනානායක අගමැතිවූ පක්ෂ 7ක ජාතික ආණ්ඩුවක් 1965 මාර්තු පිහිටවූ අතර දහනායක එහි ස්වදේශ ඇමතිවරයා විය. ලංකා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයෙන් 1977දී ගාල්ලෙන් ඡන්ද ඉල්ලූ දහනායක පරාජය වූවද ඡන්ද පෙත්සම ජයගැනීමෙන් පසු පැවැත්වූ අතුරු මැතිවරණයට එජාපයෙන් තරඟකර ජයගෙන සමූපාකාර ඇමතිධූරයට පත්විය.

ඩී.බී විජේතුංග 1970 මහ මැතිවරණයෙන් පැරදි 1977දී යළි පාර්ලිමේන්තුවට පැමිණියේය. පසුව 1989දී අගමැති තනතුරට පත්වී ප්‍රේමදාස ඝාතනයෙන් පසු 1993 මැයි 1වැනිදා ජනාධිපති පදවියට පත්වූහ. ඉන්දියාවේ ඉන්දිරා ගාන්ධිද 1977 මහ මැතිවරණයෙන් පැරදුනද යළිත් 1980 ජනවාරි මස යළි පත්වී අගමැතිනිය වූවාය. මේ අනුව මහින්ද රාජපක්ෂට එරෙහිව නැවත තරඟ කිරීම පිළිබදව නඟන චෝදනාව තමන්ම කැතකර හත්පොළේ ගා ගැනීම වැනි මෝඩකමක් බව නොකියා බැරිය.

දිනෙන් දින උග්‍රවන අර්බුද හමුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනාගතය එහි වත්මන් නායකත්වය යටතේ අවිනිශ්චිතය. එබැවින් ශ්‍රිලනිප පාක්ෂිකයින් සහ හිතවතුන් මහින්ද රාජපක්ෂ වටා එක්රොක්වී සිටි. එජාප සභාග ආණ්ඩුවක වලිගය ලෙස ඩාර්ලි රෝඩ් ශ්‍රිලනිප කණ්ඩායම එජාප කැබිනට්ටුවක ගැටගසා නන්නත්තාර වීමට ඔවුන් කැමති නැත. එසේ වුවහොත් ශ්‍රිලනිප පාක්ෂිකයින්ට සහ හිතවතුන්ට ඉන්න වෙන්නේ එදා කුංකුනාවේ හාමුදුරුවෝ කියූ මේ කවිය කියමිනි. “අනේ කුහුඹුවනේ, තොපටත් රජෙක් ඇත්තේ, අපිට ඇයි නැත්තේ, අපේ කරුමෙද මෙහෙම වෙන්නේ – රජෙක් ලැබුණෝතින්, කැවුම් කිරිබත් කන්නම්, පෙරහැර කරන්නම්, සාධු කාරෙන් ගිගුම් දෙන්නම්.”

ශ්‍රිලනිප අර්බුදය සහ අනාගතය දැන් පැහැදිලිය. එකතුවකට ඩාර්ලි රෝඩ් ශ්‍රිලනිප කණ්ඩායම කැමති නැත. මෙම හෙයියම්මාරුව නිසා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ නායකත්වයෙන් හදවතින්ම ශ්‍රිලනිප කණ්ඩායමට දැන් සිදුව ඇත්තේ ශ්‍රිලනිප පාක්ෂිකයින්, ප්‍රගතිශීලින් සහ මව්බිමට ආදරැති ජනයාගේ අරමුණ විජයග්‍රහණය කිරීමය. එනම් ඉතිරිව ඇති එකම විකල්පයකට ප්‍රවේශවීමය. එහිදී මතුවන ප්‍රධාන අභියෝගය වන්නේ කපුටු කූඩුවේ කපුටු බිත්තර අතර කෙවිලිය විසින් දමා ඇති කොහාගේ බිත්තර සීරු මාරුවේ වෙන්කර ගැනීමය. නැතහොත් මහ මැතිවරණයේ ප්‍රතිඵලවලින් පසු  බිත්තර පුපුරා කපුටු කූඩුවෙන් කොහෝ කොහෝ ගාමින් කොහාලා පිටතට පියාඹමින් කොහෝ රැළට එකතුවීමය. එවිට කෝපාග්නියෙන් ඇවිළුණාට වැඩක් නැත. හංසයන් දියෙන් කිරි‍ වෙන්කර ගන්නේ යම් සේද නාමයෝජනා පත්‍රයට ඇතුල්විය යුතු අපේක්ෂකයින් දිස්ත්‍රික් මට්ටමෙන් තෝරා ගැනීමද හරියාකාරව සිදුකල යුතුය.  

ජනාධි‍පති මෛත්‍රීපාල සිරිසේනට ත්‍රිකුණාමලය නිලාවැලි මුහුදු වෙරළේ බියක් සැකක් නොමැතිව ඇවිදින්නටද අගනුවර සපත්තු කඩවලට ගොස් නිදහසේ සපත්තු තෝරන්නටද පරිසරය සැකසුනේ මහින්ද රාජපක්ෂගේ දේශපාලන නායකත්වයෙන් යුද්ධයට තිත තැබූ නිසාවෙනි.

නොවැම්බර් 18 මහින්දගේ උපන් දවසය. මහින්ද ජනාධිපතිවූ දවසද නොවැම්බර් 18ය. මැයි 18 මහින්ද රට එක්සේසත් කල දවසය. අගෝස්තු 18වැනිදා මහින්ද රාජපක්ෂ අගමැතිවන දවසය. 18ට යනු මහින්දගේ දවසය.

සූර්යයාට වඩා බලවන්තයා කවරෙක්ද? වලාකුළු ඇතැම් විට හිරු මඩලටත් උඩින් යයි. එහෙත් එය පුළුංවලටත් වඩා හෑල්ලුය. බාල්දුය. ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසු තරිකිට තෙයිය. මේ ටික වෙයිය.

ධර්මන් වික්‍රමරත්න
ejournalists@gmail.com
ධර්මන් වික්‍රමරත්න ලියන මුරගල තීරු ලිපිය – 111

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.