Breaking
24 Feb 2025, Mon

රනිල් වික්‍රමසිංහ පසුගිය දා ඊනියා දේශපාලන විසඳුමක් ගැන කතා කර තිබිණි. ඔහු කියා තිබුණේ දැන් යුද්ධය අවසන් බවත් දේශපාලන විසඳුමක් දිය යුතු බවත් ය. රනිල් එන්නේ මොකාට ද යන්න ඉතා පැහැදිලි ය. ඔහු නියෝජනය කරන්නේ සිංහල බෞද්ධ තබා සිංහල මතයවත් නො වේ. ඔහුට අද අවශ්‍ය මහින්ද රාජපක්‍ෂ අත් අඩංගුවට ගැනීමට ය. එහෙත් ව්‍යවස්ථාවෙන් එයට බාධා පැමිණ වෙයි. රාජපක්‍ෂ රෙජිමය යන්න ඇමරිකානුවන්ගේ රෙජිමය යන්න ගෙඩිය පිටින් ගෙන යොදා ගත්තක් මිස නිර්මාණයක් නො වේ. මෙරට පඬියන් සංකල්පයක් නිර්මාණය කෙළේ කවදා ද?

එසේ වුවත් අද බටහිරයන්ගේ හා ඉන්දීයයන්ගේ හා පොදුවේ සිංහල විරෝධීන්ගේ අවශ්‍යතාවට ඊනියා රාජපක්‍ෂ රෙජිමයේ සාමාජිකයන් අත් අඩංගුවට ගනු දැකි ය හැකි ය. ගෝඨාභය අත් අඩංගුවට ගැනීම කාලය පිළිබඳ ප්‍රශ්නයකි. මෙහි පිටුපස ඇත්තේ ඊනියා දූෂණය නො වේ. මහින්ද රාජපක්‍ෂ කොටින් නොපැරදුවේ නම් මේ එක් අයකුවත් අත් අඩංගුවට නොගැනෙනු ඇත. රාජපක්‍ෂ රෙජිමය යනු කොටින් පැරදවීමේ දී මහින්ද රාජපක්‍ෂ සමග සිටි කණ්ඩායම ය.  ඊනියා දූෂණයක් ගැන අද ද කතා කරන්නේ ජනාධිපතිවරණයේ දී මෙන් ම දෙමළ ජාතිවාදී ප්‍රශ්නය යට ගැසීමට ය. යහපාලනය යනු සිංහලයන්ට වහපාලනයක් ද යමපාලනයක් ද වෙයි.

රනිල් වික්‍රමසිංහ මෙරට දෙමළ ජාතිවාදයේ ඉතිහාසය නොදන්නවා නො වේ. එය අද ඊයේ ආරම්භ වූවක් නො වේ. රනිල් තවමත් කියවා නැත්නම් ප්‍රභාකරන් ඔහුගේ සියලා බාප්පලා හා මස්සිනාලා පොතෙහි පිටපතක් එවිය හැකි ය. එහි රනිල්ගේ සීයලා බාප්පලා හා මස්සිනාලා ගැන ද සඳහන් වෙයි. අද මෙරට ක්‍රියාත්මක වන්නේ සිංහලයන්ට විරුද්ධ ව බටහිරයන්ගේ දෙමළ වසන්තයකි. ඒ උදාකරනු ලැබුයේ මෛත්‍රිපාල සිරිසේන ඉදිරියට දමමිනි. දෙමළ වසන්තය බටහිර රටවල හා ඉන්දියාවේ සැලැස්මකට අනුව ක්‍රියාත්මක වෙයි. මාදුළුවාවේ සෝභිත හිමියෝ දෙමළ වසන්තය  අගය කරති.

ඊනියා යුද්ධය හදිසියේ ඇති වූවක් නො වේ. ඉංගිරිසින් යටතේ 1833 සිට ක්‍රියාත්මක වන දෙමළ ජාතිවාදය යොදා ගනු ලැබුයේ සිංහලයන්ට හ සිංහල බෞද්ධ සංස්කෘතියට මෙරට හිමි තැන අහිමි කිරීමට ය. ව්‍යවස්ථාදායක මණ්ඩලවල සිංහල නියෝජනත්වය අඩු කිරීමට ඉංගිරිසින්ගේ අනුග්‍රහයෙන් දෙමළ ජාතිවාදීහු මුල සිට ම ක්‍රියා කළහ. එය අවුරුදු 140 ක පමණ විකාශය වීමෙන් පසුව ඊනියා යුද්ධය දියත් කෙළේ ය. ඒ දෙමළ ජාතිවාදය බෙදුම්වාදයක් බවටත් ඉන්පසු ත්‍රස්තවාදයක් බවටත් පත්වීමේ ප්‍රතිඵලයකි.

දෙමළ ජාතිවාදය මොන මුහුණුවරින් ක්‍රියාත්මක වුවත් ඒ ඊනියා දේශපාලන විසඳුමක් සඳහා වූ ව්‍යාපාරයක් විය. දෙමළ ජාතිවාදීන් ඉංගිරිසින්ගේ අනුග්‍රහයෙන් ඉල්ලා සිටි දේශපාලන විසඳුම වූයේ සිංහල බෞද්ධ සංස්කෘතියට, ඉතිහාසයට, ජනගහන ව්‍යාප්තියට මෙරට හිමි තැන අහිමි කිරීම ය. ඔවුන්ට අවශ්‍ය වූයේ හැකිනම් රටේ දේශපාලන, ආර්ථික හා සංස්කෘතික ආධිපත්‍යය තම නායකත්වය යටතට ගැනීම ය. 

1931 දී වැරදීමකින්   ඉංගිරිසින් අපට සර්වජන ඡන්දය නො දෙන්නට රනිල්ගේ සීයලා බාප්පලා හා මස්සිනාලා ඒ තත්ත්වය දෙමළ ජාතිවාදීන්ට ලබා දීමට තිබිණි. එහෙත් එය වැළකී ගියේ ය. එහි ප්‍රතිඵලය වූයේ දෙමළ ජාතිවාදීන් වෙන ම රාජ්‍යයක් ඉල්ලා සටන් කිරීම ය. එය දේශපාලන විසඳුමක් විය. එහි පූර්ව විසඳුම වූයේ සන්ධිය හෙවත් ෆෙඩරල් රාජ්‍යයකි. රනිල්ගේ මාමා වූ ජේ ආර් මන්ත්‍රීවරුන් හෝටලයක රඳවා ගෙන සම්මත කළ දහතුන් වැනි ව්‍යවස්ථා සංශෝධනය සන්ධීය රාජ්‍යයක් කරා යන දේශපාලන විසඳුමක් විය. දෙමළ ජාතිවාදීන් ආයුධ අතට ගත්තේ වෙන ම රාජ්‍යයක් නම් දේශපාලන විසඳුම වෙනුවෙනි. ඒ එක දේශපාලන විසඳුමකටවත් සිංහලයෝ පොදුවේ කැමති නො වූ හ. සිංහලයෝ හමුදා මෙද මෙහෙයුම් මගින් මේ සියළු විසඳුම් පරාජය කළහ. හමුදා ක්‍රියා මාර්ග යනු දේශපාලන ක්‍රියා මාර්ග ම බව රනිල් නොදන්නවා නො වේ. 

දැන් රනිල්ට දීමට ඇති වෙනත් දේශපාලන විසඳුමක් නැත. දේශපාලන විසඳුම මහින්ද රාජපක්‍ෂගේ දේශපාලන නායකත්වයෙන් හා ගෝඨාභය රාජපක්‍ෂගේ සැලසුම්වලින් අවුරුදු හයකට පෙර නන්දිකඩාල් කලපුවේ දී රණවිරුවෝ ලබා දුන්හ. ඊනියා දේශපාලන විසඳුමක් ගැන නැවත කතා කිරීම රාජපක්‍ෂලා හා රණවීරුවන් පාවා දීමකි. බටහිරයන්ට ඊනියා රාජපක්‍ෂ රෙජිමය පරාජය කිරීමට අවශ්‍ය වූයේ ඒ පාවාදීම සඳහා ය. මහින්ද රාජපක්‍ෂ ජනාධිපති ධුරයෙන් ඉවත් කළ පසු අද ඔවුන් සැරසෙන්නේ අප එදා කී පරිදි මහින්ද ගෝඨාභය ඇතුළු පිරිසක් දංගෙඩියට යැවීම ය. අත් අඩංගුවට ගැනීම් එහි පළමු පියවර පමණ ය. ඒ දෙමළ ත්‍රස්තවාදය පරාජය කිරීම හේතුවෙන් ඔවුන්ට ලැබෙන දඬුවම ය. රනිල් නැවතත් දේශපාලන විසඳුමක් ගැන කතා කරන්නේ බටහිරයන්ගේ අවශ්‍යතාව, එනම් සිංහලයන්ට හා සිංහල සංස්කෘතියට හා ඉතිහාසයට මෙරට හිමි තැන අහිමි කිරීමට බටහිරයන්ට ඇති වුවමනාව, ජයග්‍රහණය කරවීමට ය.

නලින් ද සිල්වා


2015 මැයි 11

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.