Breaking
23 Feb 2025, Sun

සාමාන්‍යයෙන් රටක නායකයෝ ප්‍රසිද්ධියේ තවත් රටක් විවේචනය නො කරති. බොහෝ විට රාජ්‍ය නායක ප්‍රකාශ අවමගුල්වල දී කරන කතා මෙනි. කියැවෙන්නේ හොඳ ය. නරකක් නො කියැවෙයි. එහෙත් අප්‍රසිද්ධියේ, එසේත් නැත්නම් ජනමාධ්‍යවේදීන් නැතිව පැවැත්වෙන සාකච්ඡාවල දී වෙනත් දෑ ද කියැවෙයි.

ඒ අතර ප්‍රසිද්ධ ප්‍රකාශවල ව්‍යංගයෙන් කියැවෙන දේ ද වෙයි. මෛත්‍රිපාලට චීනයේ දී එහි නායකයන් කී දේ රාජිත සේනාරත්න අපට නො කියයි. රාජිත කියන අන්දමට චීනය ද මහින්ද රාජපක්‍ෂ විවේචනය කර ඇත. රවි කරුණානායක කියන්නේ අපට චීනයෙන් ආධාර ලැබෙන බව ය. ණය ගත්තත් ඒ ඉතා අඩු පොළියකට ය. 

කොළඹ වරාය නගරය ගැන පැහැදිලි යමක් රාජිත නො කියයි. එහෙත් අපි එකක් දනිමු. ලංකාවට වරාය නගරයේ වැඩ ආරම්භ කිරීමට සිදුවනු ඇත. එය කාලය පිළිබඳ ප්‍රශ්නයක් පමණකි. පරිසරයට වන බලපෑම් පිළිබඳ ව කුමක් නමුත් කමිටුවක් පත්කර එහි වාර්තාව යැයි කියන ලියවල්ලක් මත පදනම් ව වරාය නගරයේ වැඩ ආරම්භ වනු ඇත. එහි දී මහින්ද ට වඩා අඩු මුදලකට එය නිම කරන බව ද අපට රවි කරුණානායක හෝ වෙනත් අයකු හෝ පවසනු ඇත. චීනය මහින්දට වඩා මෛත්‍රිපාලට කැමති ද? අපට නොපෙනෙන මෛත්‍රිපාල කෙනකු චීනයට පෙනෙන්නේ ද? 

යුරෝපා සංගමය කොටි තහනම ඉවත් කිරීම අවලංගු කරයි. ජී එස් පී සහනය ලබා දෙයි. එංගලන්තයේ කැමරන් මැයි මාසයේ දී පැවැත්වෙන මැතිවරණයෙන් පරාජයට පත්වීමට නියමිත යැයි වාර්තා වුව ද මෝටර් රථය ළඟට ම පැමිණ මෛත්‍රිපාලට අතට අත දී ඇත. එමෙන් ම විපක්‍ෂ නායක මිලිබෑන්ඩ් ද මෛත්‍රිපාල ඉහළින් පිළිගෙන ඇත. මෛත්‍රිපාල එලිසබෙත් වින්ඩ්සර් හමු වූ අවස්ථාවේ දී මිලිබෑන්ඩ් හා කැමරන් එකම පක්‍ෂයේ දැයි ඇසූ බවට සඳහනක් නැත. මිලිබෑන්ඩ් අගමැති වූ විට කම්කරු පක්‍ෂයෙන් ම විපක්‍ෂ නායක කෙනකු පත්කර ගන්නේ කෙසේ දැයි මෛත්‍රිපාලගෙන් ඈසූ බවක් ද වාර්තා නො වේ. මිලිබෑන්ඩ්ගේ පියා රැල්ෆ් මිලිබෑන්ඩ් ජීවත් ව සිටියේ නම් ලංකාවේ විපක්‍ෂ නායක පදවිය පිළිබඳ පොතක් ලිවිමට තිබිණි. ඔහු දක්‍ෂ ලේඛකයෙකි. අපිදු දේශපාලනයේ නිරත වූ කාලයේ දී රැල්ෆ් මිලිබෑන්ඩ්ගේ පොතපත කියවීමු. මිලිබෑන්ඩ්ලාට බෙල්ජියානු සම්භවයක් ඇති බව මිලිබෑන්ඩ් අගමැති වු විට රනිල්ට කිව හැකි ය. කැමරන්ට ලංකාවට ඒමට ආරාධනා කළ හැකි ය.

යුරෝපීයයන් රනිල්ට හා මෛත්‍රිපාලට මෙතරම් සලකන්නේ ඇයි? අපට නොපෙනෙන රනිල් හා මෛත්‍රිපාල දෙදෙනකු ඔවුන්ට පෙනෙන බව පැහැදිලි ය. අපට රනිල් හා මෛත්‍රිපාල පෙනෙන්නේ බටහිර ගැත්තන් ලෙස ය. එහෙත් බටහිරයන්ට රනිල් හා මෛත්‍රිපාල ගැත්තෝ නො වෙති. ඔවුන්ට ඒ දෙදෙනා සුපිරි ප්‍රජාතන්ත්‍රවාදියෝ වෙති. දෙමළ ජනයාගේ මානව අයිතිවාසිකම් ලබාදීමට කටයුතු කරන ආරක්‍ෂිත කලාප ඉවත්කරන දෙමළෙන් ජාතික ගීය ගායනා කිරීමට ඉඩ දෙන රනිල් හා මෛත්‍රිපාල සුපිරි ප්‍රජාතන්ත්‍රවාදීන් නොවේ නම් වෙන කවරහු ද? රතන හිමියන් ද දැන් දැන් ප්‍රජාතන්ත්‍රවාදී යැයි කිව හැකි ය. 

ලෝකය සාපේක්‍ෂ ය. මා එයින් අදහස් කරන්නේ ඊනියා වාස්තවික ලෝකයක් අප එකිනෙකාට විවිධාකාරයෙන් සාපේක්‍ෂව පෙනෙන බව නො වේ. අප එකිනෙකාට ඇත්තේ එකිනෙකා විසින් නිර්මාණය කරනු ලැබූ ලෝක ය. යුරෝපියයන්ගේ ලෝකවල සාධාරණ වශයෙන් ගතහොත් සිංහල බෞද්ධ සංස්කෘතියට මෙරට හිමි තැන ලබා දීම ප්‍රජාතන්ත්‍ර විරෝධී සිංහල ජාතිවාදී ක්‍රියාවකි. එසේ නොකිරීම ප්‍රජාතන්ත්‍රවාදී ය. අපට එසේ නොපෙනුනත් රනිල් හා මෛත්‍රිපාල ඉතා ඉහළ ගණයේ ප්‍රජාතන්ත්‍රවාදීහු වෙති. ඒ යුරෝපීයයන්ට ය. යුරෝපීයයෝ ඔවුන්ගේ ප්‍රජාතන්ත්‍රවාදවලට හා ප්‍රජාතන්ත්‍රවාදීන්ට ගරු කරති”. එසේ නොමැති නම් ඔවුන් මෛත්‍රිපාලට ගරු කරන්නේ මෛත්‍රිපාල ඔවුන්ගේ හා ඉන්දීය ඔත්තු සේවාවල උපදෙස් හා ආධාර මත මහින්ද පරාජය කිරීම හැරෙන්නට වෙනත් කුමක් කළාට ද? 

එහෙත් චීනය මෛත්‍රිපාලට සලකන්නේ ඇයි? චීන නායකයන්ගේ ප්‍රකාශ අප  ඇසිය යුත්තේ බොහෝ විට අවමගුලක දී කෙරෙන කතා අසන ආකාරයට ය.

නලින් ද සිල්වා

2015 අප්‍රේල් 01

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.