Breaking
7 Apr 2025, Mon

විසිවැනි ව්‍යවස්ථා සංශෝධනය කැබිනට්ටුව විසින් අනුමත කෙරී ඇත. එහෙත් එහි කේවල ක්‍රමයට පත්කෙරෙන මන්ත්‍රී සංඛ්‍යාව දැනට ඇති ඡන්ද කොට්ඨාශ (බල ප්‍රදේශ) සංඛ්‍යාවෙන් වෙනස් වෙයි. එසේ වෙනස් කිරීමට ඇති වුවමනාව කුමක් ද? ඡන්ද කොට්ඨාශ සංඛ්‍යාව නිත්‍ය ව පැවතිය යුතු නො වේ. සියල්ල වෙනස්වන ලෝකයක (මේ අනිත්‍යය නොවන බව අවධාරණය කළ යුතු ය) ඡන්ද කොට්ඨාශ සංඛ්‍යාව වෙනස් නොවී පැවතිය යුතු නො වේ. එහෙත් මේ මොහොතේ ඡන්ද කොට්ඨාශ සංඛ්‍යාව වෙනස් කළ යුත්තේ ඇයි? 

ප්‍රසිද්ධියේ කියන දෙය හා අරමුණු අතර වෙනසක් ජාතික දේශපාලනයේ මෙන් ම අන්තර්ජාතික දේශපාලනයෙහි ද වෙයි. රටවල් දෙකක නායකයන් එකතු වී කරන ප්‍රකාශවල බොහෝ විට ඇත්තේ ජනතාව රවටන වචන පමණ ය. බාහිරව සිට බලන්නකුට නායකයන්ට අවශ්‍ය දේ යම් පමණකට වුව දැනගත හැක්කේ ඒ ප්‍රකාශ ඓතිහාසික ආර්ථික දේශපාලනික හා සංස්කෘතික සන්දර්භයක කියවීමෙනි. ජාතික දේශපාලනයෙහි ද තත්ත්වය එසේ ය.

එ ජා පක්‍ෂය ප්‍රසිද්ධියේ කුමක් කීවත් කේවල ක්‍රමයකට විරුද්ධ ය. කේවල ක්‍රමය රැගත් මිශ්‍ර ක්‍රමයකට ද විරුද්ධ ය. එ ජා පක්‍ෂයට අවශ්‍ය සමානුපාතික ක්‍රමයට මැතිවරණ පැවැත්වීම ය. ඒ ඔවුන්ට වාසි සහගත ය. ඔවුහු හැකිතාක් දුරට සමානුපාතික ක්‍රමය පවත්වාගෙන යෑමට උත්සාහ කරති. විස්ස සම්මත වුවත් එය මේ මැතිවරණයේ දී ක්‍රියාත්මක නොකිරීමට ඔවුහු වග බලාගනිති. 

පාර්ලිමේන්තුවේ දී සංධානය කළ යුත්තේ විස්ස මීළඟ මැතිවරණයේ දී ම ක්‍රියාත්මක කළ යුතු යැයි කියැවෙන පරිදි සංශෝධනයක් ඉදිරිපත් කිරීම ය. එහි දී ඡන්ද කොට්ඨාශ සංඛ්‍යාව වෙනස් කිරීම ප්‍රශ්නවලට තුඩු දෙනු ඇත. එසේ වෙනස් කිරීම සඳහා යම් කාලයක් අවශ්‍ය ය. එබැවින් කළ යුත්තේ ඡන්ද කොට්ඨාශ සංඛ්‍යාව වෙනස් නොකර මීළඟ මැතිවරණය පැවැත්වීම ය. ඡන්ද කොට්ඨාශ සංඛ්‍යාව වෙනස් කිරීම පසුව කළ හැකි ය.

ඡන්ද කොට්ඨාශ සංඛ්‍යාව වෙනස් නොකර මීළඟ මැතිවරණය පැවැත්වීම ප්‍රශ්නයක් නො වේ. කෙසේ වෙතත් මීළඟ මැතිවරණය පැවැත්වෙන්නේ සමානුපාතික ක්‍රමය යටතේ දැනට පවතින ආකාරයෙන් නම් එය ද පැවැත්වෙනුයේ ඡන්ද කොට්ඨාශ සංඛ්‍යාව වෙනස් නොකර ය. එහෙත් එහි දී බලපානුයේ දිස්ත්‍රික්ක මිස ඡන්ද කොට්ඨාශ නො වේ යැයි කිසිවකු කීමට  ඉඩ ඇත. එසේ වුවත් ජනතාව ඡන්දය දීමට යන්නේ ඡන්ද කොට්ඨාශ ක්‍රමය අනුව ය. ප්‍රතිඵල නිකුත් කෙරෙන්නේ ද ඡන්ද කොට්ඨාශ ක්‍රමය අනුව ය.

දිස්ත්‍රික්ක ක්‍රමයට තදබල වෙනසක් නොකිරීම සඳහා මීළඟ මැතිවරණයේ දී දිස්ත්‍රික්ක ක්‍රමයට සමානුපාතිකව ඡන්දයෙන් පත් කෙරෙන මන්ත්‍රී සංඛ්‍යාව වැඩි කළ හැකි ය. එසේ වැඩිකර ජාතික ලැයිස්තුවෙන් පත් කෙරෙන මන්ත්‍රී සංඛ්‍යාව අඩුකළ හැකි ය. පත් කෙරෙන මන්ත්‍රී සංඛ්‍යාව 225 ට වැඩිවිය යුතු නො වේ. 

ජාතික ලැයිස්තුව මගින් විද්වත්හු පත් නො කෙරෙති. කෙසේ වෙතත් මෙරට පොතපතේ උගතුන් මිස විද්වත්තු නො වෙති. එ ජා පක්‍ෂය විවිධ යෝජනා ගෙනෙන්නේ කේවල ක්‍රමය හෝ කේවල ක්‍රමය හා බැඳුුණු මිශ්‍ර ක්‍රමයක් හෝ ක්‍රියාත්මක නො කිරීමට ය. සංධානයට මේ මගඩිය පරාජය කර මීළඟ මැතිවරණයේ සිට ම ක්‍රියාත්මක කළ හැකි විස්සක් සම්මත කර ගැනීමට හැකි විය යුතු ය.

නලින් ද සිල්වා

2015 ජූනි 13

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.