Breaking
23 Feb 2025, Sun

අජිත් පෙරේරා නියෝජ්‍ය ඇමතිවරයා ජනමාධ්‍ය සාකච්ඡාවක දී තර්ජනයක් කර ඇත. ඔහු කියනු ඇත්තේ ඒ තර්ජනයක් නොවන බව ය. ඔහු කියා ඇත්තේ 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය අප්‍රේල් 28වැනි දාට සම්මත කරගැනීමට නොහැකි වුවහොත් එදින ම ජනාධිපති පාර්ලිමේන්තුව විසුරුවා හරින බව ය. ඔහුගේ තර්ජනය ඇතිව හෝ නැතිව හෝ ශ්‍රී ල නි පක්‍ෂය පාර්ලිමේන්තුවේ දී 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය පැරද විය යුතු ය. 

වෙනත් වචනවලින් කිවහොත් 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයට තුනෙන් දෙකේ බහුතර ඡන්දයක් නොලැබෙන බවට ශ්‍රී ල නි පක්‍ෂය වග බලාගත යුතු ය. මේ බව මෛත්‍රිපාල නොදන්නවා නො වේ. ශ්‍රී ල නි පක්‍ෂය කළ යුත්තේ ඊනියා 20 වැනි සංශෝධනය 19ත් සමග පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට බලකිරීම නොව 19ට පෙර ඉදිරිපත් කිරීමට බලකිරීම ය. මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම ජනාධිපති විධායක බලතල සමහරක් අගමැතිට පැවරීමට පෙර සිදු කළ යුතු ය. 

නීති විරෝධීව අගමැති ලෙස පත් වූ රනිල් වික්‍රමසිංහ අගමැති ධුරයෙන් ඉවත් කිරීමෙන් පසුව පමණක් ජනාධිපති විධායක බලතල කප්පාදු කිරීමට කටයුතු කළ යුතු ය. 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය පිටුපස වැඩි වශයෙන් ඇත්තේ සිංහල බෞද්ධ විරෝධීන් බව පැහැදිලි ය. රනිල් නීති විරෝධී අගමැති ලෙස සිටිය දී 19 සම්මත කරගැනීම දෙමළ ජාතිවාදයට උඩගෙඩි දීමකි. ඒ පිටුපස බටහිරයෝ ද ඉන්දීයයෝ ද වෙති.

දින සියයේ වැඩ පිළිවෙළ අනුව හෙට (අප්‍රේල් 23) පාර්ලිමේන්තුව විසුරුවා හැරිය යුතු ය. ඒ අතර අද ඇමරිකානු තානාපති, ජර්මන් තානාපති හා එංගලන්තයේ වැඩ බලන මහ කොමසාරිස්වරිය මෛත්‍රිපාල හමු වී ඇත. මෛත්‍රිපාල දින කිහිපයකට පෙර සංධානයේ පක්‍ෂ නායකයන්ට කියා තිබුණේ බටහිරයන් තමන්ට බලපෑම් කරන බවත් බටහිරයන් විශ්වාස කරන්නේ රනිල් බවත් ය. අද හමුවීම, ප්‍රධාන බටහිර රටවල් තුනෙන් කියා කීම වරදක් නො වේ. ඔවුන් මෛත්‍රිපාල එකම දිනයක, 23 වැනිදාට දිනයකට කලින්, මෛත්‍රිපාල හමුවූයේ බලපෑම් නොදැමීමට යැයි අපි කෙසේ කියමු ද? 

ඒ අතර අද බැසිල් රාජපක්‍ෂ අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන්නේ යැයි කියැවෙයි. ඇතැම් වන විට මේ වන විටත් ඔහු අත් අඩංගුවට ගෙන තිබීමට හැකි ය. මෙය පළමු පියවර පමණක් බව ශ්‍රි ල නි පක්‍ෂයට හා සංධානයට මතක් කර දිය යුතුව ඇත. බැසිල් රාජපක්‍ෂ අත්අඩංගුවට ගැනීමේ ක්‍රියාවලියේ දී සම්ප්‍රදාය අනුගමනය කෙරී ඇත් දැයි දැනගනු කැමැත්තෙමු. එහෙත් ලබ්බට තැබූ අත පුහුලට ද තබන දිනය වැඩි ඇතක විය නො හැකි ය. මහින්ද රාජපක්‍ෂ තමා වැරදිකරුවන්ට දඬුවම් නොකළ බව කියා ඇත. එයට අජිත් පෙරේරා ද විරුද්ධත්වය පා ඇත. ඔහු විරුද්ධ වූයේ බටලන්ද වැරදිකරුවන්ට දඬුවම් නොකිරීම පිලිබඳ ව ද? එසේත් නැත්නම් වෝටර්ස් එජ වැරදිකරුවන්ට දඬුවම් නොකිරීම පිළිබඳ ව ද? 

එ කුමක් වුවත් මෛත්‍රිපාලට රනිල් සමග තවදුරත් ආණ්ඩුවක් පවත්වාගෙන යෑමට නොහැකි බව පැහැදිලි ය. අජිත් පෙරේරා 28 වැනි දා පාර්ලිමේන්තුව විසුරුවා හරින බවට තර්ජනය කරන්නේ මේ සුළුතර ආණ්ඩුව ශ්‍රී ල නි පක්‍ෂයේ සහය නොමැතිව කරගෙන යා නොහැකි බැවිනි. ඔහුගේ හා එ ජා පක්‍ෂයේ වෙනත් අයගේ ද උත්සාහය තර්ජනයෙන් ශ්‍රී ල නි පක්‍ෂයේ සහය ලබාගැනීම ය. එහෙත් ඔවුන්ගේ පොරොන්දුව අනුව අප්‍රේල් 23 වැනි දාට පාර්ලිමේන්තුව විසුරුවා හැරිය යුතු ය. එබැවින් තර්ජනයක් ලෙස19ක් ගැන අමුතුවෙන් කොන්දේසි නොදමා හෙට පාර්ලිමේන්තුව විසුරුවා හැරිය යුතු ය. 

ඇතැම් විට හෙට රාත්‍රී මෛත්‍රිපාල පාර්ලිමේන්තුව විසුරුවා හරිනු ඇත. එසේත් නැත්නම් ජනතාව අමතා පාර්ලිමේන්තුව විසුරුවා හැරිය නොහැක්කේ ඇයි දැයි කියනු ඇත. ඒ කුමක් වුවත් ඔහු කියනු ඇත්තේ බටහිර තානාපතිවරුන් ඔහුට කිරීමට කී දෙය ය. හෙට විසුරුවා නොහැරියොත් 28 වැනි දා හෝ 29 වැනි දා හෝ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ඉඩ ඇත. අජිත් පෙරේරා ජනාධිපති නොවූවත් 28 වැනි දා පාර්ලිමේන්තුව විසුරුවා හරින බව කියන්නේ  බටහිරයන් ඒ බලපෑම මෛත්‍රිපාලට කරන බව එ ජා ප දෙවැනි පෙළේ නායකයන් ද දන්නා බැවිනි. 19 සම්මත වීමට ඉඩක් නැති බව බටහිරයන්ට වැටහි ඇත්නම් හෙට ම පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට වැඩි සම්භාවිතාවක් ඇත. 

එහෙත් ඒ කුමකටවත් ශ්‍රී ල නි පක්‍ෂය ප්‍රමුඛ සංධානය බිය විය යුතු නො වේ. රනිල් සහ මෛත්‍රිපාල තව තවත් සංධාන නායකයන් හා ඊනියා ජාතිවාදය පතුරවන්නන් අත් අඩංගුවට ගෙන මැර බලය යොදා මැතිවරණයක් පැවැත්වීමට ඉඩ ඇත. එහෙත් සංධානයට සිංහලයන්ගේ ඡන්දයෙන් 65%ක් ලැබෙනු ඇත. ජනාධිපතිවරණයේ දීත් එය 58%ක් විය. ජනාධපතිවරණයේ දීත් ආසන සංඛ්‍යාව ලෙස ගතහොත් සංධානයට වැඩි ආසන සංඛ්‍යාවක් ලැබිණි. 

අජිත් පෙරේරාගේ තර්ජනය පුස්සකි. ශ්‍රී ල නි පක්‍ෂය ප්‍රමුඛ සංධානය කළ යුත්තේ අත්අඩංගුවට ගැනීම් පිළිබඳ විරුද්ධත්වය පළකිරීමත් මැතිවරණයකට සූදානම් වීමත් ය. එහි දී මෛත්‍රිපාල හා ඇතැම් ශ්‍රී ල නි ප ජ්‍යෙෂ්ඨයන් එ ජා ප සමග එකතුවන්නේ නම් එය වඩාත් හොඳ ය. කෙසේ වෙතත් එකී ජ්‍යෙෂ්ඨයන්ට සංධානයෙන් නාම යෝජනා දිය යුතු නො වේ.

නලින් ද සිල්වා

2015 අප්‍රේල් 22

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.