Breaking
23 Feb 2025, Sun

කූට ලේඛන වරදට සන්නස්ගල ‘හිරේ’ යයි?

ජනවාරි 08 වෙනිදා පැවති ජනාධිපතිවරණ ජයග්‍රහණයෙන් පසු කූට ලේඛන පිළිබඳ සමාජය තුළ කතා බහක් නිර්මාණය විය. ඒ “නහී වේරේන වේරානී” බණ පදයෙන් ආරම්භ කළ යහ පාලන ජනාධිපතිවරණ ව්‍යාපාරය ජයග්‍රහණයෙන් කෙළවර වීමත් සමඟ ගිනි කන්දක් පුපුරා ගියා සේ වෛරය, පළිගැනීම නමැති ලෝ දිය රට පුරා ගලන්නට වූ හෙයිනි.

ජනාධිපතිවරණයට පෙර වේදිකාවේ මහින්දගේ ආණ්ඩුවේ සිටි හොරුන්, දූෂිතයින් අත් අඩංගුවට ගන්නා බවට සපථ කළ ද අත් අඩංගුවට ගත්තේ තිස්ස අත්තනායක සහ ශෂී වීරවංශ ය. ඔවුන්ට එල්ල වී ඇති චෝදනාව කූට ලේඛන සෑදීමයි. තිස්ස අත්තනායක ව්‍යාජ මෛත්‍රී-රනිල් ගිවිසුමක් හැදූ බවට චෝදනා කළ ද ඒ ගිවිසුමේ තිබුණු කරුණු සත්‍ය බව යහ පාලන ආණ්ඩුව දින 100 තුළ ක්‍රියාවෙන් ඔප්පු කර අවසන් ය. ශෂීට එල්ල වී ඇති චෝදනාව පිළබඳ අධිකරණයේ නඩු ඇසෙමින් පවතී.

එහෙත් ශ්‍රී ලාංකේය මහා සිනමාකරුවා ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ ඡායාරූපවලට කේ. පී. පද්මනාදන්ගේ හිස සවි කර පාඨලි චම්පික රණවක කළ මහා කූට ලේඛන වංචාව සඳහා යහ පාලන ආණ්ඩුවේ දඬුවම වූයේ ඔහු නැවත විදුලි බල හා බලශක්ති ඇමති ධූරයෙහි පිහිටුවීම ය. තමන් කූට ලේඛන හැදූ බව පිළිගත් වික්‍රමබාහු කරුණාරත්න ආණ්ඩුවේ විධායක සභාව නම් ප්‍රජාතන්ත්‍ර විරෝධි ආයතනයේ යෙහෙන් වැජඹෙයි. තමන් කූට ලේඛන මිටි ගණන් හැදූ බව පිළිගත් යහ පාලන පෙරගමන්කරු උපුල් ශාන්ත සන්නස්ගල ආණ්ඩුවේ මාධ්‍ය ආයතනවල සුපිරි තරුව බවට පත්ව බබළයි.

මහාචාර්ය එදිරිවීර සරත්චන්ද්‍රයන්ගේ කෘති නීති විරෝධි ලෙස මුද්‍රණය කිරීමේ වරදට ලක්ෂ 7.5 වන්දි ගෙවූ සන්නස්ගලයෝ පියසේන කහඳගමගේ සූරීන්ගේ පොත් හොරට මුද්‍රණය කොට බෙදා හැරීම පිළිබඳ සමාව ඉල්ලා කහඳගම සුරීන්ට ලිපියක් යැවූහ. සන්නස්ගලයෝ මහාචාර්ය සුචරිත ගම්ලතුන්ගේ ග්‍රන්ථ 11ක් කිසිදු ප්‍රකාශන අයිතියක් නොමැති තවමත් මුද්‍රණය කරන බව ගම්ලත් මහතාගේ බිරිඳ සේපාල් අමරසිංහයන්ට පවසා කළ හැකි දෙයක් නැතිව දුක් වෙත්. ගම්ලතුන්ගේ මහාර්ඝ ශබ්දකෝෂයට ගෙවිය යුතු මුදල් නොගෙවීම පිළිබඳ නඩුව තවමත් අධිකරණයේ ඇසෙත්.

මේ අනුව යහ පාලන සුපිරි තරුව සන්නස්ගලයන් තරම් කූට ලේඛන පිළිබඳ කුප්‍රකට චරිතයක් ලොව ඇතැයි මම අසා නොමැත. එහෙත් සන්නස්ගලයන් මෙවැනි වංචාකාරයෙකැයි නළුවෙක් නොවන මොළයක් බව කියන, හොර බොරු වංචාවලට කිසිදා ඉඩක් ලබා නොදුන් රනිල් වික්‍රමසිංහ මහතා මෙතෙක් දැන සිටියේ නැත. ඒ වරද සැලවූ වහා ම යහ පාලන ආණ්ඩුව තරාතිරම නොබලා සියලු වැරදිකරුවන් අල්ලා සිරගත කරන බව නැවත වරක් සනාථ කරමින් උපුල් ශාන්ත සන්නස්ගලයෝ එක්සත් ජාතික පක්ෂ රත්මලාන ආසන සංවිධායක ධූරයෙහි සිරගත කළේ ය.

මෙලෙස නැවත නැවත යහ පාලන නීතිය සැමට එක බවත් නීතියට උඩින් කිසිවෙකුට ක්‍රියාත්මක විය නොහැකි බවත් අකනිටා බඹලොව දක්වා විහිද පැතිරවූ යහ පාලන ආණ්ඩුව දිගුකල් දිනේවා!

නාමල් උඩලමත්ත
යුතුකම සංවාද කවය

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.