Breaking
23 Feb 2025, Sun

නෝනා…නානවානම් නාන්න නෝනා…නොනා.නොනා. ..නෙන්න නෝනා

චන්ද්‍රිකා නොමැතිව මොන දේශපාලනයක් ද? ඇය පසුගිය දා කියා තිබුණේ මේ රට අයිති කාහට දැයි තමන් නොදන්නා බව ය. හොරගොල්ල අයිති කාහට දැයි ඇය නිසැකයෙන් ම දන්නවා විය යුතු ය. එබැවින් ම අනුර සමග එහි අයිතිය පිළිබඳ ප්‍රශ්නයක් ද වූ බව මගේ මතකය වෙයි. මා වැරදි විය හැකි ය. කෙසේ වෙතත් හොරගොල්ල විමුක්තිට හා යශෝදරාට මිස පාක්කියසෝති සරවනමුත්තුට නො වේ. අවශ්‍යතාවක් වුවහොත් චන්ද්‍රිකා හොරගොල්ල වෙනුවෙන් සටන් වදින බව අපි දනිමු.
  
චන්ද්‍රිකා මෙරට ජනාධිපතිනිය ව සිටියා ය. රටක ජනාධිපතිනිය රට අයිති කාහට දැයි නොදැන සිටිය ද රට පැවතුණේ වාස්තවිකවාදී සෝම හාමුදුරුවන් කුමක් කීවත් සිංහල බුද්ධාගමේ විෂ්ණු හා අනෙක් දෙවිවරුන්ට පින් සිදුවන්නට ය. මෙයින් පසු ජනාධිපතිවරණ අපේක්‍ෂකයන් රටේ අයිතිය කාහට ද යන්න නාම යෝජනා පත්‍රයෙහි සඳහන් කළ යුතු බවට නීති සම්පාදනය කළ යුතු ය. 

හොරගොල්ලේ අයිතිය සොලමන් ඩයස් බණ්ඩාරනායක නම් මහමුදලි (ගේට් මුඩ්ලියර් හෙවත් දොරටුපාල) ලබාගත්තේ ඔහුගේ පියාගෙන් විය යුතු ය.  කෙසේ වුවත් හොරගොල්ල ඉංගිරිසි (රෝම ලන්දේසි) නීතිය යටතේ බණ්ඩාරනායකවරුන්ට අයිති වී ඇත. ඒ ඉඩම් එයට  කලින් අයිතිව තිබුණේ කාහට ද? නෝනා දන්නේ දැයි අපි නො දනිමු. ඉංගිරිසින් බණ්ඩාරනායකලාට ඒ ඉඩම් පැවරුවේ ද? අපි නො දනිමු. අප දන්නා කරුණක් ඇත. ඒ ඉංගිරිසින් මුඩු බිම් පණත යටතේ සිංහලයේ විසූවන්ගේ ඉඩම් කොල්ල කෑ බව ය. සිංහලයන්ට එකල පෞද්ගලික ඉඩම් අයිතියක් නො තිබිණි. ඔවුන් දැන සිටියේ රාජකාරි ක්‍රමය ය. 1815 සිංහල ඉංගිරිසි ගිවිසුමෙන් සිංහල සිරිතට රට කරවීමට පොරොන්දු වූ ඉංගිරිසිහු ගිවිසුමේ තීන්ත වේලීමටත් පෙර ගිවිසුම කඩා දැමූහ. ඔවුහු මහත්වරු වූහ!

රටේ අයිතිය නොදන්නා නෝනා රට පාලනය කෙළේ කෙසේ ද? ඇය රට පාලනය කර නොමැති බව පැහැදිලි ය. ඇය කුමක් පාලනය කළත් රට පාලනය කර නැත. ඇය සමහර විට ජනතාව පාලනය කරන්නට ඇත. එහෙත් රටක් ගැන ඇයට කැක්කුමක් තිබෙන්නට නො හැකි ය. එබැවින් දෙමළ ජාතිවාදීන් රටෙන් කොටසක් ඉල්ලන විට ඇයට ප්‍රශ්නයක් නො වී ය. ඇය දෙමළ ජාතිවාදීන් වෙනුවෙන් මංගල සමග සුදු නෙළුම් කැඩුවා ය. තවලම් ගියා ය. මංගලත් රට අයිති කාහට දැයි නොදන්නා බවට සැකයක් ඇත. 

නායක්කාර් රජවරු සිංහල පාලකයෝ වූහ (සිංහල සම්ප්‍රදාය අනුව රටේ භාරකරුවෝ වූහ. චන්ද්‍රිකා රටේ භාරකාරිය නො වූවා ය. රට අයිති කාහට දැයි ඇය නොදැන සිටියා ය) ඔවුන්ගේ වංශය මෙහි දී අපට වැදගත් නො වේ. මෙරට භාරකාරත්වය කුමන වංශයක් (යක්‍ෂ, ලම්බකර්ණ, මෞර්ය ආදී) විසින් දරණු ලැබුන ද, ඔවුහු සිංහලයේ භාරකරුවෝ වූහ. නායක්කාර රජවරු ද තමන් සිංහලයේ භාරකරුවන් මිස ආන්ද්‍ර ප්‍රදේශයෙහි හෝ මදුරෙයිහි හෝ පාලකයන් නොවන බව දැන සිටියහ. නෝනා නොදැන සිටියේ ද එය ය. ඇයට ආරක්‍ෂා කිරීමට (රැක බලාගැනීමට) රටක් තිබී නැත්තේ ද එබැවිනි. ශ්‍රී වික්‍රම රජු ද 1803 දී සුද්දන්ට හංවැල්ලට පසු බසින තුරු ම පහර දී එළෙව්වේ ය. නෝනා කොටින්ට උතුරු හා නැගෙනහිර පළාත් භාර දී කොළඹට පසුබැස්සා ය. ඇයට රකින්නට රටක් නො තිබිණි. 

එංගලන්තයේ අයිතිය කා හට දැයි නෝනා දන්නේ ද? සිංහලයකු වීම ගැන තමන් ලජ්ජා වන්නේ යැයි කියන එංගලන්තය් ජීවත්වන විමුක්තිගෙන් අසා දැනගෙන චන්ද්‍රිකා නෝනා අපට කියන්නේ ද? එංගලන්තයට එංගලන්තය යැයි කියන්නේ ඇයි? ඉංග්ලන්ඩ්, ඉංග්ලිෂ්, ඇංග්ලො ආදී වචන අතර සම්බන්ධයක් තිබේ ද? නෝනා ලබන වර එංගලන්තයට ගිය විට එංගලන්තයේ අයිතිය ගැන ස්කොට් සම්භවයක් ඇති කැමරන්ට ප්‍රකාශයක් කරන්නේ ද? ස්කොට් සම්භවයක් තිබිණි ද කැමරන් පෙනී සිටින්නේ එංගලන්තය වෙනුවෙන් මිස ස්කොට්ලන්තය වෙනුවෙන් නො වේ. එහූ  කැමරන් ලංකාවේ සිංහලයන්ට විරුද්ධ වෙයි.  

අපේ රටේ නම සිංහලේ වී නම් රටේ අයිතිය කාහට දැයි දැනගැනීමට නෝනාට හැකි කමක් තිබිණි ද? මැතක දී පුනරුත්ථාපනය කරනු ලැබූ නාලන්දා විශ්වවිද්‍යාලයෙහි  සිංහලයෙන් වැඩම කළ භික්‍ෂූන් වහන්සේ සඳහා වෙන ම නේවාසිකාගාර තිබූ බව නෝනා දන්නේ ද? සෝබෝන් පැත්තේ ගිය නෝනා ඒ බව දන්නේ කෙසේ ද?  

එංගලන්තය අයිති සිංහලයන්ටවත් ගුජරාටි කාරයන්ටවත් නො වේ. පසුගිය මැතිවරණයෙන් ඊනියා දේශපාලන විචාරකයන් කොන්සර්වෙටිව් පක්‍ෂය පරදින බවට අනාවැකි පළකර තිබිය දී ඒ පක්‍ෂය ජයග්‍රහණය කෙළේ ඉංගිරිසින්ගේ ජාතිකත්වය නැවතත් මතු වී තිබෙන බැවිනි. කම්කරු පක්‍ෂයේ වෙනත් ජනවර්ගවලට ඇති හිතවත්කම ඉංගිරිසි ඡන්දදායකයන් විසින් ප්‍රතික්‍ෂෙප කරනු ලැබ ඇත. නෝනා හා විමුක්ති ආධාර කෙළේ කිනම් පක්‍ෂයකට ද?  එංගලන්තය ගොඩනගනු ලැබ ඇත්තේ ඉංගිරිසින් විසිනි. එහි අයිතිය ඉංගිරිසින්ට ය. එහි රැජන එලිසබෙත් නෝනා ය. දැන් වෙනත් ජනවර්ග ද පුරවැසිකම ලබාගෙන ඇත. විමුක්තිටත් එංගලන්තයේ පුරවැසිකම තිබේ යැයි සිතමි. නැත්නම් ඒ ගැන වචනයක් දැමීමට නෝනාට සිරිසේනගෙන් ඉල්ලා සිටිය හැකි ය.

විමුක්ති රට භාර ගැනීමට එන්නේ කවදා දැයි දැනගැනීමට අපි කැමැත්තෙමු.   

නලින් ද සිල්වා


2015 ජූනි 13

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.