Breaking
24 Feb 2025, Mon

විජාතික බලවේගව පරදවමු! මෛත්‍රී ඩීල් ගැන අවධානයෙන් සිටිනු!

අපි පසුගිය අප්‍රේල් 12 වැනි දා කාලය වෙබ් අඩවියෙහි මෙසේ පැවසීමු. “ අද මෛත්‍රිපාල  සිරිසේන ද සිංහල ජාතිකත්වයට විරුද්ධ ය. ඔහුට පසුගිය දා ඉන්දියාවේ දී හා එංගලන්තයේ දීත් ඊට පෙර අමෙරිකාවේ දීත්  උගන්වා ඇත්තේ සිංහල විරෝධී වීමට ය. ඔහු ඉඳහිට කියන්නේ කල්පනාකාරීව වැඩ නොකළහොත් අපට භයානක අනතුරකට ඉදිරියේ දී මුහුණ පෑමට සිදුවන බව ය. ඔහු මේ නොකියා කියන්නේ අප දෙමළ ජාතිවාදීන්ගේ ඉල්ලීම් ඉටු නොකළහොත් රට භයානක අනතුරකට මුහුණ දෙනු ඇති බව ය. ඔහු අද සිංහල ජාතිකත්වයට කන්දීමට සූදානම් නැත. ඔහු අද  මතවාදී වශයෙන් ද  යැපෙන්නේ බටහිරයන්ගෙන් හා ඉන්දියානුවන්ගෙනි. ඔහු අද චන්ද්‍රිකා මෙන් ම ශ්‍රී ල නි පක්‍ෂයේ මූලික ජාතිකවාදී ප්‍රතිපත්තිවලට  විරුද්ධ ය.

එවැනි මෛත්‍රිපාල කෙනකු විසින් ශ්‍රී ල නි පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨයන් කිහිප දෙනකු ශ්‍රී ල නි පක්‍ෂයේ මධ්‍යම කාරක සභාවෙන් නෙරපනු ලැබ ඇත. ශ්‍රී ල නි පක්‍ෂය කළ යුතුව ඇත්තේ පක්‍ෂයට ද්‍රෝහි වූ ද පක්‍ෂයේ ප්‍රතිපත්තිවලට විරුද්ධ වූ ද මෛත්‍රිපාල පක්‍ෂයෙන් ම නෙරපීම ය. ඒ ගැන අපි පසුව තවදුරටත් කතා කරමු. පක්‍ෂයෙන් එළවිය යුතු මෛත්‍රිපාල පක්‍ෂයට හානියකි. ඔහු හා මහින්ද රාජපක්‍ෂ අතර කිසිම සාම්‍යයක් නැත. එබැවින් ඒ දෙදෙනා එකතු කිරීමේ අවශ්‍යතාවක් නො වේ. මෛත්‍රිපාල පක්‍ෂ ප්‍රතිපත්තිවලට විරුද්ධ ය. මහින්ද පක්‍ෂ ප්‍රතිපත්ති ආරක්‍ෂා කරයි. ඔවුන් එකතු කිරීමේ අවශ්‍යතාව ඇත්තේ ශ්‍රී ල නි පක්‍ෂය සිංහල ජාතිකත්වයට විරුද්ධව ක්‍රියාකරනු දැකීමට කැමති අයට ය. ඔවුන්ට ඒ සඳහා කිසිම ඉඩක් දිය යුතු නැත. පක්‍ෂය ශක්තිමත් වනු ඇත්තේ මහින්ද මෛත්‍රිපාල එකතු කිරීමෙන්  නොව පක්‍ෂයෙන් මෛත්‍රිපාල එළවා දැමීමෙනි.”

ඉන් පෙර මාර්තුවේ ම රනිල් මෛත්‍රිපාල ගැටුම ගැන කතා කෙළෙමු. අද රනිල් මෛත්‍රිපාල ගැටුම තවත් උග්‍ර වී ඇත. එහෙත් මහින්ද මෛත්‍රිපාල එකතුවක් ගැන දැන් කතා කෙරෙයි. දේශපාලනයෙහි යම් වෙනසක් සිදු වී ඇති බව පැහැදිලි ය. බටහිරයන් හා මෙරට විජාතික බලවේගවලට අවශ්‍ය ශ්‍රී ල නි පක්‍ෂය ජාතිකත්වයෙන් ඉවත් කිරීම ය. ඔවුහු අනුවේ දශකයේ මුල ප්රාජිතලා, අයිවන්ලා සමග එකතු වී චන්ද්‍රිකා මගින් ඒ සාක්‍ෂාත් කිරීමට උත්සාහ කළහ. එහෙත් 2005 වන විට ඒ අසාර්ථක විය. අවුරුදු පහළොවකට ආසන්න කාලයක ක්‍රියාත්මක වූ ප්‍රබල ව්‍යාපෘතියක් පරාජය කිරීමට ජාතික ව්‍යාපාරයට හැකි විය. 

2010න් පසුව විජාතික බලවේග ක්‍රියාත්මක වූයේ ඊනියා රාජපක්‍ෂ රෙජිමය දේශපාලන වශයෙන් අකර්මන්‍ය කර අවසානයේ දී එහි කිහිප දෙනකු දංගෙඩියට යැවීම ය. ඒ සඳහා බටහිරයෝ හා ඉන්දියානුවෝ ඊනියා සාධාරණ සමාජය, පිවිතුරු හෙටක් ආදී ව්‍යාපාර හා යහපාලන සංකල්පය යොදා ගත්හ. මෛත්‍රිපාල ඒ ව්‍යාපෘතියෙහි සංකේතය විය. ඔහුගේ මනසට ටික ටික බෙදුම්වාදී සංකල්ප ඇතුළත් කෙරිණි. ඔහු ශ්‍රී ල නි පක්‍ෂයේ ප්‍රතිපත්තිවලට විරුද්ධව චන්ද්‍රිකා ගිය පාරේ ම යෑම ආරම්භ කෙළේ ය. විජාතික බලවේග අපේක්‍ෂා කෙළේ මෛත්‍රිපාල රනිල් සංයෝගය මගින් සිංහල ජාතිකත්වයට පහර ගසා දෙමළ බෙදුම්වාදය හා දෙමල ජාතිවාදය ශක්තිමත් කිරීමත් මහින්ද රාජපක්‍ෂ දුර්වල කර ඊනියා රාජපක්‍ෂ රෙජිමයේ ඇතැම් සාමාජිකයන්ට දඬුවම් කිරීමත් ය. ඇතැමුන්ට විරුද්ධව නොයෙකුත් දූෂණ වංචා චෝදනා ගොනු කෙරුණා පමණක් නොව ඒ සඳහා අල්ලස් හෝ දූෂණ විමර්ෂන කොමිසමට අමතර ව පොලිස් මාෆියාවක් ද පිහිටුවනු ලැබිණි. 

එහෙත් විජාතික බලවේග බලාපොරොත්තු නොවූ ආකාරයෙන් ජනතාව මහින්ද රාජපක්‍ෂ වටා එක් රොක් වූහ. ඒ බලවේගය අන්කිසිවක් නොව දෙමළ ජාතිවාදයට හා යටත්විජිතවාදයට එරෙහි වූ පනස්හයේ දරුවන්ගේ බලවේගයක් විය. මෙරට සිංහල ජාතික බලවේගය ඇතැමුන් සිතනවාට වඩා ශක්තිමත් ය. ග්ලයිෆොසේට් තහනම ද පනස්හයේ දරුවන්ගේ බලවේගයේ ක්‍රියාකාරීත්වයේ ප්‍රතිඵලයකි. රාජ්‍ය නොවන සංවිධාවලට හෝ ඊනියා විද්‍යාඥයන්ට හෝ ග්ලයිෆොසේට් තහනමට විරුද්ධව ගොවි ජනතාව සංවිධානය කළ නො හැකි ය!

ජාතික බලවේගයේ ශක්තිය විසින් මෛත්‍රිපාල රනිල් සංයෝගය කඩා දමා මෛත්‍රිපාලට මහින්ද සමග එක්වීමට බලකෙරෙයි. සති කිහිපයකට පෙර කෙසේ වුවත් අද මෛත්‍රිපාල සිරිසේනගේ පැවැත්මට තර්ජනයක් නොවී සංධානයේ ආණ්ඩුවක් පිහිටුවීමේ හැකියාව වෙයි. දේශපාලන මෙහෙයුම් පෞද්ගලික ගනුදෙනුවලින් (අද භාෂාවෙන් ඩීල්වලින්) වියෝ නො වේ. එබැවින් ම මේ එකතුව ගැන අපි දැඩි අවධානයෙන් සිටිය යුතු වෙමු. මේ එකතුවෙහි ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ල නි පක්‍ෂය තව තවත් ජාතිකත්වය දෙසට නැඹුරු කරවීමට ජාතික ව්‍යාපාරය ක්‍රියා කළ යුතු ය. විජතික  බලවේගවලට අවශ්‍ය වනුයේ එහි අනෙක් පැත්ත ය. විජාතික බලවේගවලට අවශ්‍ය වනු ඇත්තේ එකතුව මගින් දෙමළ ජාතිවාදය ජයග්‍රහණය කරවීම ය. ජාතික ව්‍යාපාරය එයට ඉඩ නොතැබිය යුතු ය.’

නලින් ද සිල්වා


2015 ජූනි 17

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.