මේ ලියන ලිපිවලින් සතපහක වැඩක් නොවන බව මම දනිමි. මේ ලිපි කියවන්නේ ඉතා ටික දෙනකු පමණ ය. මා දන්නා කිසිම දේශපාලනඥයෙක් මා පුවත්පතකට ලියන ලිපියක්වත් නො කියවයි. ජාතික ව්‍යාපාරයේ ඇත්තෝ ද මේ ලිපිවත් ඒ පුවත්පත්වල ලිපිවත් නො කියවති. ඡන්දදායකයන්ගෙන් පනස්දාහකට එක් අයකුවත් මේ ලිපි කියවන්නේ නැති බව පැහැදිලි ය. එපමණක් නොව ඒ කියවන අයගෙන් ද බොහෝ දෙනකු සිතන්නේ මා සංගත ව නොලියන බවත් ලිපිවල පරස්පර ඇති බවත් මට එල්ලයක් නොමැති බවත් ය. ඔවුන්ට අනුව ලිපිවල ඇත්තේ විසුරුණු ස්වභාවයකි, මගේ ලිපිවල අන්තර්ගතය මාතෘකාව සමග බැඳී නැත.
එසේ නම් මේ ලිපි ලිවීමේ තේරුමක් ඇත් ද යන ප්‍රශ්නය අසන්නට ඇතැමුන් පෙළඹෙනු ඇත. මා ලියන්නේ මට එයින් සතුටක් ලැබෙන බැවිනි. එමෙන් ම මා ලියන්නේ ගුරුවරයා දුන් පූර්ව නිර්ණිත මාතෘකාවකට අනුව ලියන පාසල් රචනා නො වේ. මා බොහෝ විට මාතෘකාවක් ගැන සිතන්නේ ලිපිය ලිවීමෙන් පසුව ය. මේ සියල්ලෙන් කියැවෙන්නේ මගේ ආත්මාර්ථකාමී, අනෙක් අය නොසලකන, උද්ධච්ඡ ආකල්පය යැයි කිසිවකු කීමට ඉඩ ඇත.
ඇතැමකු කී අන්දමට මගේ අසංගත බවට උදාහරණයක් ලෙස විස්ස හා පාර්ලිමේන්තුව ලිපියේ පළමු වාක්‍ය කිහිපය උපුටා දක්වමි. “මෛත්‍රිපාල තම කාර්යය ඉටුකර ඇත. විස්ස කැබීනට්ටුව විසින් සම්මත කෙරී ඇත. මෛත්‍රිපාල ජූනි 8 වැනි දා විහාර මහා දේවී උද්‍යානයේ දී පැවසුවේ තම කාර්යය විස්ස කැබිනෙට්ටුවේ සම්මත කර දීම බවත් පාර්ලිමේන්තුවේ දී සම්මත කිරීම මන්ත්‍රීවරුන්ගේ කාර්යය බවත් ය. දැන් ඉතිරි වී ඇත්තේ මන්ත්‍රීවරුන්ගේ කාර්ය ය. එය අමාරු කාර්යයක් බවට පත්වන ලකුණු පහළ වී ඇත. කැබිනට්ටුව සම්මත කර ඇත්තේ එ ජා පක්‍ෂයේ විස්ස මිස මෛත්‍රිපාලගේ විස්ස නො වේ.”
එසේ නම් මෛත්‍රිපාල තම කාර්යය ඉටුකර ඇතැයි කියන්නේ කෙසේ ද? එය පරස්පරයක් නො වේ ද? මා සිතන අයුරෙන් නම් එහි පරස්පරයක් නැත. මේ වාක්‍ය කිහිපයෙන් කියැවෙන්නේ මෛත්‍රීපාලගේ දේශපාලනයට උදාහරණයකි. මෛත්‍රිපාලට තමන්ගේ ම වූ අරමුණක් ඉලක්කයක් නැතිවා නො වේ. ඔහුට ඔහුගේ ම වූ ඔහු විසින් නිර්මාණය කරන ලද නව සංකල්ප නැතිවූවාට සංස්කෘතිය විසින් ඔහුගේ අදහස් බවට පත්කෙරුණු අදහස් ඇත. ඒ අදහස් කවරක් වුවත් ඔහුගේ අද කාර්යය සාධාරණ වශයෙන් (පොදුවේ) ගත්කල රනිල්ට අවශ්‍ය දේ ඉටුකිරීම ය. මෛත්‍රිපාලගේ කාර්යය වූයේ ඔහුගේ අදහස් පැත්තකින් තබා විස්ස සම්බන්ධයෙන් රනිල්ට අවශ්‍ය දෙයට කැබිනට්ටුවේ ශ්‍රී ල නි ප මෛත්‍රිපාල කණ්ඩායමේ අනුමැතිය ලබා දීමට ය. ඔහු ඒ කාර්යය ඉටු කෙළේ ය.
මෛත්‍රිපාලට ඇතැම් කරුණුවල දී ජාතික හෙළ උරුමයේ ආධාරය ලැබෙයි. ඒ දෙකොටසට ම ඉන්දියාවේ උපදෙස් ලැබෙයි. ඉන්දියාවේ කෞටිල්‍යයන්ට ඔවුන්ගේ යම් යම් ඉලක්ක තිබුණ ද අද ඔවුහු ප්‍රධාන වශයෙන් ම චීනය සමග ඇති තරගකාරීත්වය හේතුකොටගෙන ඇමෙරිකාවේ ආධිපත්‍යයට යටවෙති. ඇමෙරිකාව රනිල්ට ආධාර කරයි. රනිල් පසුගිය දිනවල ක්‍රියාකළ ආකාරය ඇමරිකාව මුළුනින් ම අනුමත නො කරයි. ඒ ඊනියා ප්‍රජාතන්ත්‍රවාදයකට ඇති කැමැත්ත නිසා නොව රනිල්ගේ ප්‍රතිරූපය යැයි කියන දෙයට ඉන් අවැඩක් සිදුවේ ය යන බිය නිසා ය.
කෙසේ වෙතත් මෛත්‍රිපාලට බලයේ රැඳී සිටීමට නම් ඔහු බටහිරට අවශ්‍ය ආකාරයට පළමුවෙන් ම රනිල් ආරක්‍ෂා කළ යුතු ය. මෛත්‍රිපාලගේ දේශපාලනය බටහිර සරණං ගච්ඡාමි, ඉන්දියාව සරණං ගච්ඡාමි, රනිල් සරණං ගච්ඡාමි යන්නෙන් නිගමනය වෙයි. රනිල්ට විරුද්ධව ගෙනැවිත් ඇති විශ්වාසභංගය විවාදයට ගැනීම වැළැක්වීමට මෛත්‍රිපාල කළ හැකි සියල්ල කරනු ඇත. මෛත්‍රිපාලට හා ජාතික හෙළ උරුමයට අවශ්‍ය වුවත් මන්ත්‍රි සංඛ්‍යාව 255 ට වැඩි කිරීමට පක්‍ෂපාති වීමට මෛත්‍රිපාලට නො හැකි ය. එහෙත් එය ද පරස්පරයක් යැයි මම නො සිතමි. ඒ මෛත්‍රිපාලගේ දේශපාලනය වෙයි. ඔහුගේ පැවැත්ම සඳහා ඒ අසික්කිත දේශපාලනය ඔහුට අවශ්‍ය වෙයි.
නලින් ද සිල්වා
2015 ජූනි 10