Breaking
24 Feb 2025, Mon

ශ්‍රී ල නි පක්‍ෂය ආරාක්‍ෂා කරගැනීමට නො හැකි මෛත්‍රී සභාපති ධුරයේ තබාගත යුතු ද?

මා ප්‍රශ්නයක් දෙස බලන්නේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ප්‍රඥප්තියට අනුව හෝ පට්ටපල් බොරු වූ බටහිර විද්‍යාවට, දේශපාලන විද්‍යාවට, දර්ශනයට හෝ වෙනත් බටහිර දැනුමකට අනුව නො වේ. මා ප්‍රශ්න දෙස බලන්නේ සිංහල බෞද්ධ (වඩාත් සියුම් ව ගතහොත් හෙළ බෞද්ධ) සංස්කෘතියට සාපේක්‍ෂව ය. එයින් අදහස් කෙරෙන්නේ සිංහල ක්‍රිස්තියානින් දෙමළ හින්දූන් ආදීන් නොසලකා හරින බව නො වේ. මගේ දෘෂ්ටි කෝණය සිංහල බෞද්ධ ය. ඒ දෘෂ්ටි කෝණයෙන් බැලූ කල මහින්ද මෛත්‍රිපාල සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස රටට හානියක් නො සිදුවෙයි. එබැවින් සාකච්ඡා සාර්ථක ය. 

පසුගිය සති කිහිපයෙහි මහින්ද කණ්ඩායමෙහි දේශපාලනය ගැන මට තිබුණේ කළකිරීමකි. එහි මුල ඇත්තේ මහින්ද රාජපක්‍ෂ මහතා ශ්‍රි ල නි පක්‍ෂයෙහි සභාපතිකම මෛත්‍රිපාල සිරිසේන මහතාට භාරදීම ය. එසේ භාරදීමටවත් භාරගැනීමටවත් ඔවුන්ට ශ්‍රී ල නි පක්‍ෂ ව්‍යවස්ථාවෙන් අවසරයක් නැත. මෛත්‍රිපාල සිරිසේන මහතා නීත්‍යානුකූල ව ශ්‍රී ල නි පක්‍ෂයේ සභාපති නො වේ. රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරණයකින් පසුව දි මු ජයරත්න මහතා අගමැතිව සිටිය දී ම අගමැති ධුරය පික්පොකට් ගැසූ ආකාරයට ම මෛත්‍රිපාල සිරිසේන මහතා ශ්‍රී ල නි පක්‍ෂයේ සභාපති ධුරය පික්පොකට් ගසා ඇත. නිමල් සිරිපාල ද සිල්වා මහතා ඒ බව නොදන්නවා නො වේ. එහෙත් විපක්‍ෂ නායකකම පික්පොකට් ගැසීමෙන් පසු ඔහු අනෙක් පික්පොකට් කරුවන් ගැන කතා කිරීමෙන් වැළකී සිටියි. 

මෛත්‍රිපාල සිරිසේන මහතා ශ්‍රි ල නි පක්‍ෂයේ සභාපති වීම පක්‍ෂ ව්‍යවස්ථාවට අනුව නීති විරෝධී වුවත් මහින්ද කණ්ඩායම ඉන්පසු අභියෝගාත්මක ව ක්‍රියා කෙළේ ය. ඒ හේතුවෙන් මහින්ද රාජපක්‍ෂ මහතා වටා රැල්ලක් ද ඇතිවිය. එහෙත් එහි භයානක පැත්තක් ද විය. මහින්ද රාජපක්‍ෂ මහතා ජනවාරි අටවැනි දා පරාජය වීමෙන් පසු මාස දෙකක පමණ කාලයක් දක්නටවත් නොසිටි හිටපු මැති ඇමතිවරු කිහිප දෙනෙක් නැවත මහින්ද රාජපක්‍ෂ මහතා වටා එක් රොක් වී මහින්ද දේශපාලනය සිංහල විරෝධී ස්ථාවරයකට තල්ලු කිරීමට උත්සාහ ගත්හ. ඔවුන්ගේ උත්සාහය යම් ප්‍රමාණයකට සාර්ථක වූ බව පිළිගත යුතු ය. එයට මූලික හේතුව වූයේ ශ්‍රී ල නි පක්‍ෂයේ සරත් වීරසේකර, ජානක බණ්ඩාර මහතුන් වැනි ඉතා සීමිත පිරිසක් හැරෙන්නට අනෙක් අය ප්‍රශ්න දෙස රට ජාතිය ආගම පැත්තෙන් නො බැලීම ය.  

සිංහල විරෝධීන් මහින්ද රාජපක්‍ෂ මහතා වටා එක් රොක් වී ඇති බව ශ්‍රී ල නි පක්‍ෂය ප්‍රමුඛ සංධානය දහනවවැනි ව්‍යවස්ථා සංශෝධනයෙහි දී ක්‍රියා කළ ආකාරයෙන් පැහැදිලි විය. ඊනියා සංශෝධනවලට මුවා වී සංධානය දහනවයට පක්‍ෂ ව ඡන්දය දුන්නේ ය. මහින්ද රාජපක්‍ෂ මහතා දහනවයට විරුද්ධව සෘජු දේශපාලන නායකත්වයක් දුන්නේ නම් දහනවය පැරදවීමට අවශ්‍ය මන්තී්‍රන් හැත්තෑහය සොයා ගැනීමට තිබිණි. එහෙත් යම් කිසි හේතූන් නිසා ඒ වැළකී ගියේ ය. මහින්ද රාජපක්‍ෂ මහතාගේ ජනවාරි අටවැනි දා පරාජයට යම් ආකාරයකින් වුව වහකිවයුත්තෝ නැවතත් පක්‍ෂයේ සුක්කානම අතට ගෙන සිටිය හ. ඔවුහු ඔවුන්ගේ ආරක්‍ෂාව සඳහා මෛත්‍රිපාල සිරිසේන මහතා සමග සම්මුති දේශපාලනයක නිරත වීමට කටයුතු කළහ. පිලිප් ගුණවර්ධන පිටියේ මෛත්‍රිපාල සිරිසේන මහතාගේ නායකත්වයෙන් පැවති මැයි දින රැළියට මහින්ද රාජපක්‍ෂ මහතා සුබ පැතුමක් යැවුවේ මේ සම්මුති දේශපාලනය වෙනුවෙනි. 

සම්මුති දේශපාලනයෙහි නිරත වූවෝ මහින්ද මෛත්‍රිපාල සාකච්ඡා සඳහා පාර කැපුහ. ඔවුන් ඒ කපන්නේ සිංහලයන්ගේ මිනී වළ බව අපට පැහැදිලි විය. අපි ඒ බව කීවෙමු. එහෙත් අප කියන බොහෝ දේ එදත් අදත් මහින්ද රාජපක්‍ෂ මහතාට නො ඇසෙයි. ඔහුට ඇසෙන්නේ ඔහු වටකර ගෙන සිටින කාක දේශපාලනඥයන්ගේ කාක් හඬ ය. මහින්ද රාජපක්‍ෂ මහතාට නැවතත් මෙරටට සේවයක් කළ හැක්කේ කාකයන්ට සවන් දීමෙන් නොව ජනතා හඬට කන්දීමෙනි. ඒ මහතාට කොටින් පරාජය කිරීමට හැකි වූයේ ජනතා හඬට කන්දීමෙන් මිස කාක පඬියන්ට සවන් දීමෙන් නො වේ. කාක පඬියන්ට අනුව ප්‍රභාකරන් අනභිබවනීය යුද නායකයකු විය. 

සිංහලයන්ගේ පැත්තෙන් බැලූ කල සම්මුති දේශපාලනය පැරදී ඇත. සිංහලයන්ට හුස්ම ගැනීමට තවත් කාලයක් ඉතිරි වී ඇත. මෛත්‍රිපාල මහින්ද හමුව සිංහල විරෝධීන්ට සාර්ථක ප්‍රතිඵල ගෙන දීමට සමත් වී නැත. මීළඟ සාකච්ඡාවක් ගැන තීරණයක් ද නැත. යම් හෙයකින් සාකච්ඡා අසාර්ථක (සිංහල විරෝධී පැත්තෙන් සාර්ථක) වී නම් එය සිංහලයන්ගේ යුගයක අවසානය වීමට ඉඩ තිබිණි. එහෙත් ඒ එසේ නො වී ය. මහින්ද රාජපක්‍ෂ මහතාට සුළු දෙයක්වත් දීමට මෛත්‍රිපාල සිරිසේන මහතාට නො හැකි ය. අඩුම තරමෙන් පළාත් පාලන ආයතන විසුරුවා හැරීම කල්දැමීමටවත් මෛත්‍රිපාල සිරිසේන මහතාට නො හැකි ය. මහින්ද රාජපක්‍ෂ මහතා සංධානයේ අගමැති අපේක්‍ෂකයා බවට මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් පත්කරනු ලැබීම කාගේ දෝ දවල් හීනයක් පමණකි. මහින්ද රාජපක්‍ෂ මහතාට අගමැති අපේක්‍ෂකයා විය හැක්කේ සම්මුති දේශපාලනයට පිටින් යෑමෙනි, ඒ සඳහා ජනතා සහයෝගය දිනා ගැනීමෙනි.

මහින්ද රාජපක්‍ෂ මහතා පසුගිය සති කිහිපයෙහි තමන්ට උපදෙස් දුන් අය ගැන නැවත සිතා බැලිය යුතු ය. ඒ සියළු උපදෙස් මහින්ද රාජපක්‍ෂ මහතා හා සිංහලයන් දුර්වල කිරීමට දුන් ඒවා බව පැහැදිලි ය. කෙසේ නමුත් මෛත්‍රිපාල සිරිසේන මහතා එදාට වඩා අද ශක්තිමත් ය. රනිල් වික්‍රමසිංහ මහතා මෛත්‍රිපාල සිරිසේන මහතාට වඩා ශක්තිමත් ය. දහනවයෙන් පසු මහින්ද රාජපක්‍ෂ මහතාට නැවත වරක් ජනාධිපති විය නො හැකි ය. එසේ වීමට නම් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව නැවතත් සංශෝධනය කළ යුතු ය. එහෙත් නුදුරු අනාගතයේ දී එසේ සංශෝධනය කිරීමට තුනෙන් දෙකේ බහුතර ඡන්දයක් කිසිවකුටවත් ලැබේ යැයි සිතිය නො හැකි ය. තවමත් විධායක බලතල රාශියක් ඇත්තේ ජනාධිපතිට වුවත් රනිල් වික්‍රමසිංහ මහතාට මෛත්‍රිපාල සිරිසේන මහතා මෙහෙයවිය හැක්කේ බටහිරයන් මෛත්‍රිපාල සිරිසේන මහතාට වඩා රනිල් වික්‍රමසිංහ මහතා විශ්වාස කරන බැවිනි. බටහිරයන් එසේ විශ්වාස කරන බව මෛත්‍රිපාල සිරිසේන මහතා ද සංධාන නායකයන් ඉදිරියේ ප්‍රකාශ කර  ඇත. 

අද හිටපු ඇමතිවරු පෝලිමේ අත් අඩංගුවට ගැනෙති. ඔවුන් අත් අඩංගුවට ගැනෙන්නේ දූෂිතයන් වීම නිසා නො වේ. ඒ පිටුපස ඇත්තේ පළිගැනීම් ය. ලංකාණ්ඩුවට වෙනත් කිසිවකු කර නැති පාඩුවක් කළ මහා බැංකු කෙරුමෝ කිසිම ප්‍රශ්නයක් නැතිව ඉහළින් වැජඹෙති. එසේ වැජඹීමට අවශ්‍ය වන්නේ නීතිඥ කමිටුවක් පමණකි. ඒ සියල්ල මැද මෛත්‍රිපාල සිරිසේන මහතා ශ්‍රී ල නි පක්‍ෂයේ සභාපති ලෙස බකං නිලා ගෙන සිටියි. ඔහුට ශ්‍රී ල නි පක්‍ෂය ආරාක්‍ෂා කරගැනීමට නො හැකි ය. එවැන්නකු තවදුරටත් ශ්‍රී ල නි ප සභාපති ධුරයේ තබාගත යුතු ද? කළ යුත්තේ කුමක් ද යන්න පැහැදිලි ය. 

මහින්ද මෛත්‍රිපාල හමුව ශ්‍රී ල නි පක්‍ෂයේ යහපත සඳහා යැයි විවිධ පුද්ගලයෝ කීහ. ඒ අතර අනාගත ජනාධිපති වීමේ සිහිනය දකින චමිපක රණවක හා ඔහුගේ ගෝලයා ද න්‍යායාචාර්යවරයා ද වෙති. හමුව ඔවුන්ගේ පැත්තෙන් සාර්ථක වී නම් ඒ ශ්‍රි ල නි පක්‍ෂයේ ද සිංහලයන්ගේ ද ගමනක කෙසේ වෙතත් යුගයක අවසානය වීමට තිබිණි. ශ්‍රී ල නි පක්‍ෂයේ කපටි ආරක්‍ෂකයන්ට ද අවශ්‍ය වූයේ පක්‍ෂය දියකර හැරීම ය. කපටි ආරක්‍ෂකයන්ට හා වැරදි උපදෙස් දෙන්නන්ට මින් පසු කිසිම ඉඩක් නො දිය යුතු ය. මෛත්‍රිපාල මහින්ද හමුව එවැනි හමුවල අවසානය විය යුතු ය. වහාම හමුව පිටුපස සිටි සම්මුතිවාදී කාක දේශපාලනඥයන් හෙළිදරවු කරගත යුතු ය. 

නලින් ද සිල්වා


2015 මැයි 09

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.