Breaking
23 Feb 2025, Sun

ජනවාරි 8 වැනි දා මහින්ද රාජපක්‍ෂ ශ්‍රී ල නි ප සභාපතිත්වය අත්හැරියේ ය. එයට හේතු ගණනාවක් තිබිණි. ශ්‍රී ල නි ප උඩින් දෙකඩ වී තිබිණි. පක්‍ෂයේ මන්ත්‍රීවරුන් ගණනාවක් එ ජා ප සමග සන්ධානයකට සූදානම් වූහ. මෛත්‍රිපාල සිරිසේන පක්‍ෂ ලේකම් ධුරය අත්හැර වෙනත් පක්‍ෂයකින් තරග කර ජනාධිපතිවරණයේ දී ශ්‍රී ල නි ප ප්‍රධාන සංධානයේ අපේක්‍ෂකයා පරදවා තිබිණි. ශ්‍රී ල න ි ප පාර්ලිමේන්තු කණ්ඩායමේ මහින්දට වඩා මෛත්‍රිපාලට කැමැත්තක් විය. වෙනත් වචනවලින් කිවහොත් පාර්ලිමේන්තුවේ මෛත්‍රිපාල කණ්ඩායම මහින්ද කණ්ඩායමට වඩා බලවත් විය.

බොහෝ දෙනා සිතා සිටියේ මෛත්‍රිපාල කණ්ඩායම තව තවත් බලවත් වේය කියා ය. එහෙත් සිදුවූයේ අනෙකකි. ජනතාව මහින්ද රාජපක්‍ෂ වටා එක් රොක් වූහ. නුගේගොඩ රැස්වීමෙන් පසු මහින්ද කණ්ඩායම  බලවත් වීම ඇරඹිණි. අඩු තරමෙන් ඒ ප්‍රදර්ශනය වීමට පටන් ගත්තේ නුගේගොඩ රැස්වීමෙන් පසුව ය. අද වන විට මහින්ද කණ්ඩායම පාර්ලිමේන්තුවේ මෛත්‍රිපාල කණ්ඩායමට වඩා බලවත් ය. 

පාර්ලිමේන්තුවෙන් පිටත එදත් මහින්ද බලවත් විය. මෛත්‍රිපාලට ඡන්ද ලක්‍ෂ හතරක් පමණ මහින්දට වැඩියෙන් ලැබුණු බව සැබෑ ය. එහෙත් ඒ ඡන්ද ලක්‍ෂ හතරට ජ වි පෙරමුණේ ඡන්ද ලක්‍ෂ තුනක් පමණ ජාතික හෙළ උරුමයේ ඡන්ද ලක්‍ෂයක්  පමණ ඇතුළත් විය. එපමණක් නොව මුස්ලිම් ඡන්ද හා දෙමළ ඡන්ද ද ලැබුණේ මෛත්‍රිපාලට ය. පැහැදිලිව ම සාම්ප්‍රදායික ශ්‍රී ල නි ප ඡන්දවලින් වැඩි ප්‍රමාණයක් ලැබී තිබුණේ මහින්දට ය. 

අද පාර්ලිමේන්තුවේ මෙන් ම පිටත ද ශී්‍ර ල නි පාක්‍ෂිකයන්ගේ කැමැත්ත ගතහොත් මහින්ද බලවත් ය. සන්ධානය ලෙස ගතහොත් ඒ තවත් මහින්දට පක්‍ෂපාති වෙයි.  ජනවාරි 8 වැනි දා තිබූ තත්ත්වය අද වෙනස් වී ඇත. ඒ වෙනස් වී ඇති තත්ත්වයට අනුව අද මහින්ද රාජපක්‍ෂ ශ්‍රී ල නි පක්‍ෂයේ මෙන් ම සංධානයේ ද නායකත්වයට (සභාපතිත්වයට) පත්කර ගත යුතු ය.  

මහින්ද කිසි දවසක ශ්‍රී ල නි ප හැරගියේ නැත. වෙනත් පක්‍ෂයකින් හෝ සංධානයකින් හෝ තරග කර නැත. අදත් ඔහු ශ්‍රී ල නි පක්‍ෂයේ සාමාජිකයෙකි. ඔහු ශ්‍රී ල නි ප සභාපති බවට පත්කර ගැනීමට බාධාවක් තිබිය යුතු නො වේ. එමෙන් ම ඔහු සංධානයේ ද නායකයා ලෙස පත්කර ගත හැකි ය. ඒ සඳහා ක්‍රමවේදය සකස් කිරීම ශ්‍රී ල නි පක්‍ෂයේ සෙසු නායකයන්ට භාර වෙයි. 

මහින්ද ශ්‍රී ල නි පක්‍ෂයේ ද එක්සත් ජනතා නිදහස් සංධානයේ ද නායකයා වීම එළඹෙන මැතිවරණයේ දී ශ්‍රී ල නි පක්‍ෂයට මෙන් ම සංධානයට ද වාසියක් වනු ඇත.  විවිධ හේතු නිසා ජනවාරි 8 වැනි දා මහින්ද ශ්‍රි ල නි ප සභාපතිත්ත්වය අත්හැර දැමී ය. අද ඒ හේතු වෙනස් වී ඇත. මහින්දට ශ්‍රී ල න ි ප අවශ්‍ය වනවාට වඩා අද ශ්‍රී ල නි පක්‍ෂයට මහින්ද අවශ්‍ය වෙයි. වහාම ශ්‍රී ල නි ප නායකත්වයට හා සංධාන නායකත්වයට මහින්ද රාජපක්‍ෂ පත්කර ගත යුතු ය.

නලින් ද සිල්වා


2015 ජූනි 27


By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.