Breaking
6 Feb 2025, Thu

නිර්මාල්ට නිර්ධන පන්තියේ මිනිසුන්ගෙන් ටොක්කක්?

රාජපක්ෂ ග්‍රහණයෙන් රට මුදවා ගැනීම

ඇමරිකානු ගෝලීය අධිරාජ්යවාදය පවත්වාගෙන යාම පහසු කටයුත්තක් නොවේ. ලොව තුළ පවතින නොයෙකුත් බල කේන්ද්‍රයන් අධිරාජ්‍යවාදීනට වාසිවන අයුරින් සෑම විටම කලමනාකරණය කළ යුතුය. ඒ සදහා නොයෙකුත් භූ කලාපයන්හි ඇති ගැටුම් ඔවුහු මනා ලෙස යොදා ගනිති. අලුතින් ගැටුම් ඇති කරවති . ත්‍රස්තවාදය පෝෂණය කරති. යළි එම ත්‍රස්තවාදයට එරෙහිවම සටන් කරති. ඒ අතරේ ආර්ථික ඝාතකයන් ලව්වා රජයනට උපදෙස් ලබා දෙති.

පසුගිය කාලයේ සියළුම බෞද්ධ රටවල බෞද්ධ මුස්ලිම් ගැටුම් එකම කාලයකදී ඇති වු බව අප නිරන්තර මතකයේ තබා ගත යුතුය. මැදපෙරෙදිග සිටින ඒකාධිපති පාලකයන් පළවා හැර නිදහස හා ප්‍රජාතන්ත්‍රවාදය ලබා ගැනීමේ නාමයෙන් එම රටවල් අස්ථාවරභාවයේ ගිලුනු මරු කතරවල් බවට පත් වූ අයුරු අපි දුටුවෙමු. ලංකාවේදී ඔවුන් මේ දෙකෙහිම සංකලනයක් අහ්තදා බැලීය.  හලාල් විරෝධය ප්‍රස්තූතයක් ලෙස ගනිමින් සිංහලයන් මුසල්මානුවන් දෙසත් මුසල්මානුවන් සිංහලයන් දෙසත් සැකයෙන් බලන වාතාවරණයක් නිර්මාණය විය. චම්පිකලාට දැනටමත් හලාල් කතාව අමතක වී ඇත්තේ ඉන් චම්පිකලා බලාපොරොත්තු වූ වෙනස සිංහල මුස්ලිම් භේදය සදවා මහින්ද රාජපකෂ කෙරෙන් මුස්ලිම් ජනයා බිඳවීමට හැකි වූ නිසාය.

අනෙක් අතට අප රට තුළ, අර මැදපෙරදිග සටන් පාඨ ටිකම අනුර කුමාරලා විසින් කිහිප වර ජප කරමින් සමාජගත කරන්නට විය. අප රට පාලනය කරන්නේ දූෂිත ඒකාධිපතියකු බවත්, මෙරට ජනතාවට ප්‍රජාතන්ත්‍රවාදය අහිමි වී ඇති බවත් ජනතාව ප්‍රජාතන්ත්‍රවාදය සහ නිදහස දිනා ගත යුතු බවත් ඔවුහූ කීහ.

කිසිදූ ගැලපීමක් නැති පක්ෂ සංවිධාන එකට එක්වූයේ සියළු දෙනා මවිතයට පත් කරවමිනි. ජවිපෙ එජාපය සරණ යද්දී හෙළ උරුමය සම්බන්ධන්ලා, හකීම්ලා සහ සාලිලා සමඟ එකගෙයි කෑමට ඉදිරිපත් විය. මහින්ද රාජපක්ෂ රජයේ අඩුපාඩු විය. ඒ අඩුපාඩුවලට බොරු අවලාද ටොන් ගණනින් කළවම් කරවා සදවන ලද ගුලිය යහපාලන කැඳ හැළියේ අනා මෙරට පොදු ජනතාවට ගිල්ලවීමට මේ රටේ ප්‍රශ්නවලට වෙදකම් කරන්න ඉදිරිපත් වූ මේ පච වෙදුන් සමත් විය. අවසානයේ මහින්ද රාජපක්ෂගේ ග්‍රහණයෙන් රට මුදවා ගන්නා ලදී.

වෙනස කා සඳහාද?

යහපාලන ගුලිය ඇඹරූ පච වෙදුන් මෙහෙයවනු ලැබුවේ අධිරාජ්‍යවාදීන් විසින් බව පවසන්නේ අප නොවේ, ඔවුන්මය. ඒ සදහා ඉන්දියානු රෝ ඔත්තු කරුවන්ගේ භූමිකාව මධ්‍යට නිරාවෘත්ත විය. ඉන්දියාවට පැමිණි බරැක් ඔබාමා ලංකාවේ වෙනසක් ඇති කරවීමෙහිලා ඉන්දියානු භූමිකාවට සිය ස්තුතිය ප්‍රසිද්ධියේම පුද කරන්නට තරම කෘතඥපූර්වක විය. ඈමරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී ලංකාවේ වෙනස ඇති කළේ තමන් බව පැවසීමට තරම් අවංක විය. එකිනෙකට වෙනස් කොටස් එකතු කරමින් රජයක් පෙරලා දමන්නෙ කෙසේද යන්න පිලිබද ශ්‍රී ලංකාවෙ ඇති කළ වෙනස හොඳ මොඩලයක් යැයි අප ගැන අපටත් වඩා කවදත් උනන්දු එරික් සෝල්හයිම් පැවසීය.

මෙරට බහුතරයට වුවමනා වුනේ රජපක්ෂට පණිවුඩයක් දී රිද්දවීමට පමණි. නමුත් අවසානයේ මුළු රටම තුෂ්නිම්භූත වි මොහොතකට ගල් ගැසී බලා හිදිද්දී දඬුවම් ලැබූ නායකයා යහපාලන තින්ත බාලදියේ පොඟවා උඩට ගත් නව ජනපතිට සිහසුන දී නික්ම ගි‍යේය.

අපගේ ව්‍යවස්ථාව බලෙන් වෙනස් කර, 1987 දී රජිව් ගාන්ධි කඩු පහරක් කා ගිය පසු  යළි ඉන්දීය අගමැතිවරයෙක් ලංකාවට පෑමිණියේය. අප ඒ බලහාත්කාරයෙනුත් ඔබ්බට ගොස් බලය බෙදිය යුතු යැයි ඔහු අපට පැවසීය. ඉන් පසුව ඔහු උතුරට ගොස් උතුරු පළාත් සභා මහ ඇමති විග්නේෂවරන් හමු විය.

වසර 43 කට පසුව ඈමරිකානු රාජ්‍ය ලේකම් වරයෙක් මෙරටට පැමිණියේය. බලය බෙදා දිය යුතු යැයි ඔහු අපට පැවසීය. ජනපති හා අගමැති මුණගැසීමෙන් පසුව ඔහුද මුණගැසෙන්නේ උතුරු පළාත් සභාවේ මහ ඇමති විග්නේෂ්වරන් සහ දෙමළ සන්ධානයේ නියෝජිතයින්ය . විග්නේෂවරන්ලා සමඟ ඔහු පවසන්නේ දෙමළ ජනතාවගේ ප්‍රශ්න විසදීමට මෙය යහපත් කාලයක් බවයි. නමුත් දෙමළ ජනතාවගේ ප්‍රශ්න මොනවාදැයි කිසිවෙකුත් පවසන්නේ නැත.

මේ සිදුවීම් අපට සිහි ගන්වන්නේ 2001 දී රනිල් රටටම හොරෙන් ප්‍රභාකරන් සමග අත්සන් කළ සටන් විරාම ගිවිසුම බලාත්මක වූ සමයෙහි අප විසින් දුටු දසුන්මය. මෙදා එදාටත් වඩාත් අප භයානක තත්වයකට මුහුණ දෙමින් සිටින බව වටහා ගත යුතුය. එදා සිටි ප්‍රභාකරන් අද නැත. ඔහු මෙම විජාතික බලවේගයන්ගේ අවජාතක දරුවෙකු වුවද ඔවුනට කීකරු දරුවෙකු නොවීය. අද ප්‍රභාකරන්ගේ තැන ගෙන ඇත්තේ විජාතික බලවේගයන් මත පමණක්ම යැපෙන දෙමළ සන්ධානයයි. ඔවුන් හරහා සිය සිතැගි මුදුන් පමුණුවා ගැනීම ප්‍රභාකරන් සමග ගනුදෙනු කරනවාට වඩා අධිරාජ්‍යවාදීන්ට ඉතා පහසුය.

අධිරාජ්‍යවිරෝදී මිනිසුන්ගේ රැළිය

රජයේ හොරණෑ පවසමින් සිටින්නේ අප විසින් ලෝකය දිනා ගත් බවකි. අද නිවට නියාළු දීන ජාතියක් බවට පත් වි ඇති අපි මේ මහපොළොවේ ස්වෛරීභාවය වෙනුවෙන් මෑතක් වන තුරුම මියයමින් සිටි රණ විරුවන්ගේ අපමණ කැප කිරීම ආපස්සට හරවමින් සිටින්නෙමු. රජය ඔවුනගේ මරණයන්ට අරුතක් සැපයීමේ වගකීම පැහැර හරිමින් සිටින්නේය. රජය විසින්ම රට අධිරාජ්‍යවාදීන්ගෙ වුවමනා වෙනුවෙන් බිලි දීමට සැරසී සිටියි. ජෝන් කෙරීලා කරගත් වෙනස එයයි. අපි යහපාලන ඉනා බේත ගිල්ලෙමු.

එය දරාගත නොහැකි මිනිසුන් කම්කරුවන්ගෙ දිනයේ කිරුළපනට රැස්ව සිටියේය. නිර්මාල් රංජිත් දේවසිරි වැනි බුද්ධිමතුන්ට මේ මිනිසුන් හුදු මහින්දවාදීන් පමණි. ඔවුන් අධිරාජ්‍යවිරෝධීන්ද වන බව ඔහු කියවූ පොත්වල ලියා නොමැත.

නිර්මාල් තමා හදුන්වා ගන්නේ සමාජවාදියෙකු ලෙසයි. සමාජවාදීහු අධිරාජ්‍යවාදයට එරෙහි වෙති. ඔවුහු නිර්ධන පන්තියේ අපේක්ෂාවන් වෙනුවෙන් පෙනී සිටිති. අධිරාජ්‍යවාදීන් ලෝකය පුරා පවතින රජයන් පෙරලමින් තමනට අවැසි පරිදි නැටවිය හැකි ආකාරයේ රූකඩ ආණ්ඩු පිහිටුවයි. එසේ ලෝ පුරා ස්වාධීන රටවල් පරාධීන කරවන ඔවුහු ලෝකය පුරා සිය අණසක ආර්ථික, සංස්කෘතික සහ දේශපාලන යන ක්ෂේත්‍රයන්හි පතුරුවයි. මෙසේ ගොඩනගන ගෝලීය අධිරාජ්‍යය අවසාන වශයෙන් ඔවුනගෙ ධනපති පන්තියෙ පැවැත්ම තහවරු කරමින් ඔවුනගේ අතිරික්ත ප්‍රාග්ධනය සිතැගි පරිදි එම පරාධීන රාජ්‍යයන් හරහා ගලා යාමට මග පාදයි. එමගින් මිනිසාගේ ශ්‍රමය සූරාකමින් පරිසරය වනසමින් ගෙනයන ගෝලීය ධනවාදයට අවැසි අධිරද ගැති වහල් මනස එම රටවල ජනයා තුළ ස්ථාපිත කිරීම සිදුවෙනු ඇත. මේ අපද විරුද්ධ නොවන සමාජවාදී නිර්මාල්ලාගේ වටහා ගැනීම විය යුතුය.

නමුත් දෛවයේ සරදමකට මෙන් මේ සමාජවාදීන් උර දෙමින් සිටින්නේ අධිරාජ්‍යවාදීනට හිතැති විප්ලවය සිදු කිරීමටයි.  යහපාලන රජය ගොඩනැගීමේ මෙරට ඒජන්ත භූමිකාවේ බුද්ධිමතුන්ගේ කොටස ඉටු කිරීමට කැප වුනු නිර්මාල් රන්ජිත් දේවසිරි මහතා කම්කරු දිනයේ කිරුළපන රැළිය දෙසට ඇවිද එයි.

මතවාදී ටොක්කක්?

අධිරාජ්‍යවාදීන්ගෙ වුවමනාවන් ඉටු කරන නිර්මාල් සමාජවාදියකු නොවන බව නිර්මාල් දන්නේ නැත. නිර්මාල් සමාජවාදියෙකු බව රැළියේ සිටි නිර්ධන පන්තියේ මිනිසුන් දන්නේ නැත. ඔවුනට නිර්මාල් පෙනෙන්නේ ඔහුම කැඩපතින් දකින නිර්ධන පන්තිය වෙනුවෙන් කැප වූ සමාජවාදියකු ලෙස නොව, ගෝලීය ධනපති අධිරාජ්‍යවාදීන්ගේ මෙරට වුවමනා ඉටුකර දෙන ගැත්තෙකු ලෙසයි.

එහි සිටි නොහික්මුණු කම්කරුවෙක් ඔහු වෙත ප්ලාස්ටික් බෝතලයකින් දමා ගසයි. තවකෙක් ඔහු අනුගමනය කරති. අන්දමන්ද වී වට පිට බලන නිර්මාල්ට තවත් කම්කරුවෙක් ටොක්කක් ඇණ යයි. අවාසනාවකට තව ටොකු කිහිපයක් දක්වා එය වර්ධනය වෙයි. නිර්මාල්ලා පත් කළ ජනපතිට අනුව ඒ ටොකු ඇන්නේ මහින්දගේ වහලුන්ය. නිර්මාල්ට අනුව පහරදීම කරන්නට ඇත්තේ  සිංහල බෞද්ධ දෘෂ්ටිවාදී හෙජමනිය විසින් බිහිකළ විරුද්ධමතදාරීන් දඬයම් කරන්නට පුහුණු කළ ප්‍රචණ්ඩවාදීන් විය හැකිය. නිර්මාල්ලා අදහන මාක්ස්වාදී භාවිතාව අනුව නම් සුළුධනේෂ්වර මනස මඟින් ස්වීය ලෙස අධිරාජ්‍යවාදී අඟුපිළ වෙත ඇදී ගිය ද්‍රෝහියෙකුට නිර්ධන පන්තියේ ජනතාව විසින් එල්ල කළ ප්‍රගතිශීලී ප්‍රහාරයක් විය හැකිය.

ඒ කෙසේ වෙතත් අපි මේ සිද්ධිය පිලිබඳ අවංකවම කණගාටු වන්නෙමු. නිර්මාල්ලා පවසන විවෘත්ත මනසින් මේ සිද්ධිය දෙස බලා තමා සිටින්නේ කාගෙ පිලේදැයි වඩා ශාස්ත්‍රීය ලෙස යළි සිතා බැලීමට ඊට අවැසි විවේක බුද්ධිය පහළ කරගැනීමට  මේ සිද්ධිය මහෝපකාරී කරගැනුම බුද්ධිමතකුගේ කාර්යභාර්යයකි.

සමාජවාදීන් ජීවත් විය යුත්තේ නිර්ධන පන්තියේ මිනිසුන්ගේ හදවත්හි මිස අධිරාජ්‍යවාදීන්ගේ අගු පිළෙහි නොව. ව්‍යාජ සමාජවාදී වෙස් මුහුණෙන් රැවටිය හැක්කේ අනුකාරක මෝඩ බුද්ධිමතුන්ගේ පුහු බුද්ධිය මිස මහ පාරේ කම්හලේ වැඩබිමේ සිටින කම්කරුවන්ගේ ඉව නොවේ.

ලසන්ත වික්‍රමසිංහ
යුතුකම සංවාද කවය

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.