Breaking
24 Feb 2025, Mon

ඇමති කිරිඇල්ල වඩාත් ම ප්‍රසිද්ධ යුද්ධය සම්බන්ධ ඔහුගේ ගොන් කතාවට ය. ඔහු උතුරු හා නැගෙනහිර පළාත්වල සිදු වූ මෙහෙයුම් ගැන කතා කරමින් කීවේ ඕනෑම ගොනකුට යුද්ධ කළ හැකි බව ය. සංකල්පීය වශයෙන් ගත්කල උතුරු හා නැගෙනහිර පළාත්වල යුද්ධයක් නො තිබිණි. එහි වූයේ දෙමළ ත්‍රස්තවාදී කොටින්ට එරෙහි හමුදා මෙහෙයුම් ය. ඒ පළාත්වල යුද්ධයක් තිබිණි නම් 1971 හා 1987 –- 90 අවධිවල ජ වි පෙරමුණට එරෙහිව ද යුද්ධයක් පැවතිණි යැයි නිගමනය කිරීමට සිදුවෙයි. එහෙත් කිසිවකු, කිරිඇල්ලවත් ඒ යුද්ධ යැයි නො කියයි.  

ජ වි පෙ කළ මිනීමැරුම් හා කොටින් කළ මිනීමැරුම් අතර වෙනසක් නැතැයි මෙයින් නො කීියැවෙයි. අද රනිල්ගේ සාන්තුවරයන් ලෙස පෙනී සිටින ජ වි පෙ නායකයන් එකල මිනීමැරූ ආකාරය රනිල්ට හා කිරිඇල්ලට හා වෙනත් එ ජා ප නායකයන්ට අමතක වුව ද මෙරට බහුතර ජනතාවකට අමතක නො වේ. එකල ජ වි පෙ නායකයෝ හා එ ජා ප ආණ්ඩුව තරගයට මිනීමැරූහ. ආණ්ඩුවට හෝ ජ වි පෙරමුණට හෝ සහාය නොදැක්වූ අප වැන්නන්ට ආණ්ඩුවෙන් මෙන් ම ජ වි පෙරමුණෙන් ද මරණීය තර්ජන එල්ලවිණි. එහෙත් රන්ජන් විජේර්ත්නලාට හෝ ගමනායකලාට හෝ ඒ තර්ජන ක්‍රියාත්මක කිරීමට නොහැකි විය. ජ වි පෙරමුණ ද ඇතැම් පළාත්වල ටික කලකට වුවත් ඊනියා ආණ්ඩු පිහිටුවාගෙන තිබිණි. 

කොටින් ජ වි පෙරමුණට වඩා සාර්ථක ව තම  ත්‍රස්තවාදී කටයුතු කරගෙන ගිය බව පිළිගත යුතු ය. ජ වි පෙරමුණට නොතිබූ ඊනියා ඉදිරි ආරක්‍ෂක රේඛා කොටින්ට තිබිණි. එහෙත් එපමණකින් කොටින්ට විරුද්ධව යුද්ධයක් වත යැයි කිව නො හැකි ය. එය සිවිල් යුද්ධයක් හෝ  රටවල් දෙකක් අතර වූ යුද්ධයක් නො වි ය. ජ වි පෙරමුණට එරෙහිව යුද්ධයක් ගැන කතා නොකළ බටහිරයෝ කොටින්ට විරුද්ධව යුද්ධයක් ගැන කතා කළහ. දැනුම බටහිරයන්ගේ ඒකාධිකාරය බවට පත් ව ඇති බැවින් බටහිරයන්ගේ හෙංචයියන් හා හෙංචක්කලා පමණක් නොව බොහෝ සිංහල ජාති හිතෙශීහු ද ඊනියා යුද්ධයක් ගැන කතා කළහ. එය බටහිරයන් මතු බලාපොරොත්තු ඇතිව ගොතන ලද්දක් විය. කෙසේ වෙතත් කිරිඇල්ලට මේ සංකල්පීය වෙනස්කම් නො තේරෙයි. ඔහු කීවේ ඕනෑම ගොනකුට යුද්ධ කළ හැකි බව ය. 

කිරිඇල්ල ඊයේ පෙරේදා කියා තිබුණේ 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයට  තුනෙන් දෙකේ බහුතර ඡන්දයක් නොලැබුණහොත් පාර්ලිමේන්තුව විසුරුවා හරින බව ය. කිරිඇල්ලට තබා රනිල්ටවත් පාර්ලිමේන්තුව විසිරුවා හැරිය නොහැකි බව අනුර දිසානායක වුව ද දනියි. අනුර ඒ බව නොදන්නේ නම් අගමැතිගෙන් පාර්ලිමේන්තුවේ දී ඒ පිළිබඳ තවත් ප්‍රශ්නයක් ඇසිය හැකි ය. අනුර ලෝක පාර්ලිමේන්තු ඉතිහාසයේ වැඩිම ප්‍රශ්න සංඛ්‍යාවක් ඇසූ මන්ත්‍රී ලෙස ගිනස් වාර්තාවක් තැබීමට උත්සාහ දරණ බවක් පෙනෙයි.  

මුදල් පිළිබඳ කෙටුම්පතක් අනුරගේ මිත්‍ර රවි කරුණානායක ඉදිරිපත් කර ඒ පරාජය වීමෙන් පසු කිරිඇල්ල කියා සිටියේ නිමල් සිරිපාල ඒ පිළිබඳ ඡන්ද විමසීමකට නොයන බව පාර්ලිමේන්තුවේ දී කී නමුත් ශ්‍රී ල නි පක්‍ෂයේ එක් කණ්ඩායමක් එයට විරුද්ධව ඡන්දය දීමෙන් පාර්ලිමේන්තු සම්ප්‍රදාය හා සදාචාරය ආරක්‍ෂා කර නොමැති බව ය. කිරිඇල්ල මේ කතාව කිරීමට පෙර මෛත්‍රිපාල සිරිසේන හමු වී රාත්‍රියේ ආප්ප කමින් මහින්ද රාජපක්‍ෂට එක් කතාවක් කියා පසුදා හාත්පසින් විරුද්ධ දෙයක් කිරීම සම්ප්‍රදායට හා සදාචාරයට විරුද්ධ දැයි දැනගැනීමට කටයුතු කළ යුතුව තිබිණි. 

ඒ කුමක් වුවත් මෙයින් පැහැදිලි වන්නේ නිමල් සිරිපාල අද නමට පමණක් විපක්‍ෂ නායක බව ය. ඔහු කියන දේ පාර්ලිමේන්තුවේ හිස් ප්‍රලාප බවට පමණක් පත්වෙයි. ඔහු විපක්‍ෂ නායක නොව මෛත්‍රිපාලගේ මහින්දට විරුද්ධ කණ්ඩායමේ නායකයා පමණක් බව කතානායකවරයාට ද මේ සිද්ධියෙන් පසුවවත් අවබෝධ විය යුතු ය. එහෙත් කිරිඇල්ලට මේ කිසිවක් අවබෝධ කරගැනීමට නොහැකි බව පැහැදිලි ය. 


නලින් ද සිල්වා


2015 අප්‍රේල් 08

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.