Breaking
24 Feb 2025, Mon

පසුගියදා පවත්වන ලද එංගලන්ත (අවශ්‍ය නම් බ්‍රිතාන්‍ය ) පාර්ලිමේන්තු මැතිවරණයෙන් සිංහල සම්භවයක් ඇති තැනැත්තකු මන්ත්‍රීවරයකු ලෙස පත්විණි. ඔහුට වැඩි ඡන්ද තිස්පන්දාහක් පමණ ලැබුණු බවත් ඔහු ඩේවිඩ් කැමරන්ගේ කොන්සර්වෙටිව් පක්‍ෂයෙන් තරග කර ජයග්‍රහණය කළ බවත් වාර්තා විය. මා ඒ බව සඳහන් කරන්නේ පම්පෝරියකට නො වේ. සිංහල සම්භවයක් ඇති අයකු එංගලන්තයේ අගමැති වුවත් මට එය තුට්ටුවක් නො වටියි. මට අවශ්‍ය වන්නේ වෙනත් කරුණක් ඉස්මතු කිරීමට ය.  

ඒ මැතිවරණයට ලාංකික දෙමළ සම්භවයක් ඇති දෙදෙනෙක් ද ඉදිරිපත් වූහ. ඒ එක් අයකු කම්කරු පක්‍ෂයෙන් ඉදිරිපත් වූ අතර අනෙක් තැනැත්තා සුළු පක්‍ෂයක් වූ ජාතික ලිබරල් පක්‍ෂයෙන් තරග කෙළේ ය. දෙදෙනා ම පරාජය වූහ. මෙවර කම්කරු පක්‍ෂය ජයග්‍රහණය කරනු ඇතැයි ඊනියා විද්‍යාත්මක සමීක්‍ෂණ පැවැත් වූ විශ්ලේෂකයන් කීව ද කොන්සර්වෙටිව් පක්‍ෂයට වූ රැල්ල (එය එසේ වූයේ ඇයි දැයි ඊනියා දේශපාලන විද්‍යාඥයන් තේරුම් කර දී නැත. මෙරට සිටින පඬීයකුවත් තවමත් ඒ ගැන සිත යොමු කර ඇති බවක් නො පෙනෙයි. මෙරට ජනමාධ්‍යවලට සවන් දෙන විට නම් සිතෙන්නේ ලෝකයේ ප්‍රබුද්ධ ම දේශපාලන විචාරකයන් සිටින්නේ ලංකාවේ බව ය) දෙමළ කම්කරු අපේක්‍ෂකයාගේ පරාජයට හේතුවක් යැයි කියැවෙයි. ඒ අතර අනෙක් දෙමළ අපේක්‍ෂකයා පරාජය වූයේ සුළු පක්‍ෂයකින් තරග කළ නිසා බව පැවසෙයි. 

සිංහල අපේක්‍ෂකයාගේ ජයග්‍රහණයෙන් උදම් වන මෙරට හා එංගලන්තයේ සිටින සිංහලයන්ගේ අවාසනාවකට ඒ ජයග්‍රහාකයා ලංකාවේ පාසලක හෝඩිය පංතියටවත් ගොස් නැත. එසේ වූවා නම් අදාළ පාසලේ ආදි ශිෂ්‍යයනට හත්දා මගුල් කෑමට ඒ අවස්ථාවක් වීමට තිබිණි. එහෙත් සිංහලයන් බොහෝ දෙනා නොදන්නා කරුණක් නම් එංගලන්ත පාර්ලිමේන්තු මැතිවරණයෙන් ඉන්දියානුවන් දස දෙනකු ද පකිස්තානුවන් නව දෙනකු ද බංග්ලාදේශීන් තුන් දෙනකු ද ජයග්‍රහණය කර ඇති බව ය. සිංහල ජයග්‍රහකයා විවාහ වී සිටින්නේ එංගලන්තයේ සුදු තරුණියක සමග බව ද අමතක නොකළ යුතු ය. 

මා මේ දත්ත ගෙන හැර දක්වන්නේ දැනුම මිනුම තරගයක දී ප්‍රයෝජනයට ගැනීමට නො වේ. මා මෙතෙක් කියාගෙන ආ කරුණක් තහවුරු කිරීම සඳහා ය. එංගලන්තයේ ඉන්දියානුවන්, පකිස්තානුවන් හා බංග්ලාදේශීන් (ඒ සම්භව ඇත්තවුන්) ඉතා වැඩි ප්‍රමාණයක් ජීවත්වන බව රහසක් නො වේ. සිංහල හා ලාංකික දෙමළ සම්භව ඇත්තවුනට ඉහත කී තුන්ගොල්ලට කිට්ටු කිරීමටවත් නො හැකි ය. එංගලන්තයේ ජීවත්වන ලාංකික දෙමළ සම්භවයක් ඇති සංඛ්‍යාව ලක්‍ෂ තුනක් හා හතරක් අතර වෙයි. සිංහල සම්භවයක් ඇති අපේක්‍ෂකයා ජයග්‍රහණය කර ඇත්තේ ද සිංහල ඡන්දවලින් නොවන බව පැහැදිලි ය. 

ලාංකික සිංහල හා දෙමළ සම්භව ඇති අයට එංගලන්තයේ මැතිවරණයක ජය පරාජය තීරණය කළ නො හැකි ය. ඊනියා ආන්තික ඡන්ද කොට්ඨාශවල ද දැනෙන වෙනසක් කිරීමට ඔවුන්ට නො හැකි ය. මා කොතෙක් කීවත් ඒ කතාව මෙරට ඊනියා දේශපාලන විශ්ලේෂකයෝ නො පිළිගනිති. දේශපාලනඥයෝ ද නො පිළිගනිති. මට වඩා දේශප්‍රේමී වූ ද ජාති හිතෛශීවූ ද බුද්ධිමත් වූ ද උගත් වූ ද පඬිවරු ද නො පිළිගනිති. ඔවුන් ඉංගිරිසි දේශපාලන විශ්ලේෂකයන් අනුව යමින් මට සිනහසෙන්නේ මා නාථ දෙවියන් ගැන මිථ්‍යා මත වැපිර වූ බව ද මතක් කරමිනි.

ඒ සියල්ලන්ට අනුව එංගලන්තයේ කම්කරු පක්‍ෂය ද කොන්සර්වෙටිව් පක්‍ෂය ද ලංකාවේ දෙමළ ජනයා වෙනුවෙන් කතා කරන්නේ එංගලන්තයේ මැතිවරණ ප්‍රතිඵල වෙනස් කිරීමට හැකි ලාංකික දෙමළ සම්භවයක් ඇති ජනකායක් සිටින බැවිනි. මේ තරම් පට්ටපල් බොරුවක් බොරු කීම ආත්මය කරගත් දේශපාලනයේ කියා ඇතැයි මම නො සිතමි. මේ කතාව ඉංගිරිසි දේශපාලනඥයන් හා දේශපාලන විශ්ලේෂකයන් ප්‍රචාරය කරන පට්ටපල් බොරුවක් පමණකි. එහෙත් මෙරට දේශපාලනඥයෝ ද පඬියෝ ද ඒ සෘෂි භාෂිතයක් ලෙස සලකති. 

එංගලන්තයේ දේශපාලනඥයන් හා දේශපාලන විද්‍යාඥයන් ඒ බොරු කතාව ප්‍රචාරය කරන්නේ ඔවුන් සිංහලයන්ට විරුද්ධව දෙමළ ජාතිවාදය යොදා ගන්නා බව වසං කිරීමට ය. ඔවුහු 1833 සිට මේ උප්රවැට්ටිය, එනම් සිංහලයන්ට විරුද්ධව දෙමළ ජාතිවාදය යොදා ගැනීම, කරති. මා ඒ බව අවුරුදු තිහකට ආසන්න කාලයක් කියා ඇත. එහෙත් මෙරට ජාතිහිතෛශී පඬියනට ද මම ආවේගශීලි පුද්ගලයෙක්මි.  බටහිර විද්‍යාව පට්ටපල් බොරුවක් යැයි කියමින් පේන කරුවන් පසුපස යන මිථ්‍යා මත ප්‍රකාශ කරන්නෙක්මි. 

අපි අර ජයග්‍රාහී සිංහල සම්භවයක් සහිත මන්ත්‍රීවරයා අපේ වියදමින් ලංකාවට කැඳවා උපහාර උත්සවයක් පවත්වමු ද? ඔහු ද රනිල් කෙනකු වීම අප ප්‍රශ්නයක් කරගත යුතු නො වේ.

නලින් ද සිල්වා


2015 මැයි 13

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.