Breaking
23 Feb 2025, Sun

අර්ජුන් මහේන්ද්‍රන් සිංගප්පූරු වැසියෙකි. ඔහු ශ්‍රී ලංකාවේ මහා බැංකුවේ අධිපති ය. ඔහු සිංහල අවුරුද්ද පැවැත්වී දැයි නො දනිමු. එහෙත් ඔහු අවුරුද්දෙන් පසු නැවතත් බැංකුවේ වැඩ අල්ලා ඇත. මහා බැංකු බැඳුම්කර නිකුතුවක් සම්බන්ධයෙන් ඔහුට විරුද්ධව චෝදනාවක් විය. ඔහු ඒ චෝදනාවෙන් නිදහස් වී ඇත. ඉතින් ඔහු වැඩ ඇල්ලීමේ වරදක් ඇතැයි කියන්නේ කෙසේ ද? මුදල් ඇමති රවි කරුණානායක අසන්නේ ද ඒ ප්‍රශ්නයම ය.

මෙහි දී බටහිරයන්ගේ බලපෑමක් සිදු වී ඇතැයි අපි නො කියමු. අඩු තරමෙන් සිංගප්පූරුවෙන්වත් බලපෑමක් සිදු වී ඇතැයි කිව නො හැකි ය. අප එතරම් ම ස්වාධීන රටකි. එහෙත් පසුගිය දා මෛත්‍රිපාල සිරිසේන සංධානයේ නායකයන් අමතමින් තමන්ට බටහිර රටවලින් සිදුවන බලපෑම් ගැන කීවේ ය. එය මෛත්‍රිපාලගේ තවත් ප්‍රකාශයක් ලෙස සලකමු ද?

අර්ජුන් මහේන්ද්‍රන් වැඩ ඇල්ලීමේ දී ජාතික ගීය ගැයූ බවවත් එය ගැයුවේ සිංහලෙන් ද දෙමළෙන් ද මැන්ඩරීන් නැත්නම් වෙනත් බසකින් ද යන්න ගැනවත් වාර්තා වී නැත. ඒ කෙසේ වෙතත් සිංගප්පූරු වැසියකු ලංකාවේ ජාතික ගීය ගැයීමේ අවශ්‍යතාවක් නැත. ඔහු ඇතැම් විට සිංගප්පුරු ජාතික ගීය ගයන්නට ඇත. එහෙත් ඒ එකක්වත් ලංකාණ්ඩුවටවත් ශ්‍රී ලංකා පොලීසියටවත් ප්‍රශ්න නො වේ. ඔවුන්ට අඩුම තරමෙන් විග්නේස්වරන් දෙමළෙන් ලංකාවේ ජාතික ගීය ගැයීමට ඉඩ දීමවත් ප්‍රශ්නයක් නො වේ. ඔවුන්ට අද එයට වඩා ප්‍රශ්න ඇත. 

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කමිටුව ඉදිරිපිට පැවති උද්ඝෝෂණයෙහි දී ඩලස් අලහප්පෙරුම අතේ තිබූ කොඩිය ජාතික කොඩිය දැයි සෙවීම අද ප්‍රධාන ප්‍රශ්නය වී ඇත. ඒ පරීක්‍ෂණයෙහි දී ඊනියා රාජ්‍ය නොවන සංවිධානයක පර්යේෂකයන්ගේ සහය ලබාගැනීමට පොලීසියට හැකි යැයි සිතමු. ඒ උද්ඝෝෂණයට ජාතික කොඩි ගෙන එන්නට යැයි කිසිවකු කියා ඇති බවක් අපි නො දනිමු. විවිධ පුද්ගලයන් විවිධ කොඩි ගෙන එන්නට ඇත. ඩලස් අතේ තිබුණේ ගැමුණු කොඩිය ද, සුමංගල හිමි කොඩිය ද, ඩී එස් සේනානායක කොඩිය දැයි කීමට තරම් දැනුමක් අපට නැත. එහෙත් ඒ සොයා ගැනීමට අපට ද අවශ්‍ය වෙයි. 

ඒ සඳහා කළ යුත්තේ නීතිඥයන් තුන් දෙනකුගෙන් සමන්විත කමිටුවක් පත් කිරීම ය. අර්ජුන් මහේන්ද්‍රන් සම්බන්ධයෙන් රනිල් වික්‍රමසිංහ කෙළේ එය ය. රනිල් ජනාධිපති හෝ මුදල් ඇමති හෝ නොවූවත් ඔහු එවැනි කමිටුවක් පත් කෙළේ ය. අර්ජුන් රනිල්ට පමණක් කියා නිවාඩු ගියේ ය. අර්ජුන් වැඩ ඇල්ලුවේ කාට කියා දැයි අපි නො දනිමු. දැන් විධායක ජනාධිපතිවරුන් රාශියක් සිටින බව මහින්ද රාජපක්‍ෂ කියන්නේ ඒ නිසා ද යන්නත් නො දනිමු. එකී විධායක ජනාධිපතිවරුන් කවුරුන් දැයි දැනගැනීමට ද ඒ සමගින් තවත් නීතිඥ කමිටුවක් පත්කළ හැකි ය. නඩු නැති ඇතැම් නීතිඥයන්ට එවැනි කමිටු මගින් විශාල සේවයක් වනු ඇත. 

ඒ කුමක් වුවත් අර්ජුන් මහේන්ද්‍රන් බැඳුම්කර නිකුතුව සම්බන්ධයෙන් සෘජුව වග නොකියන බව කමිටුව සොයාගෙන ඇත. බටහිර විද්‍යාවේ ද සොයාගැනීම් ගැන කියැවෙයි. එහෙත් අප කියන්නේ ඒ සොයාගැනීම් නොව බටහිර විද්‍යාඥයන්ගේ නිර්මාණ කියා ය. අප එසේ කීම ගැන මෙරට බටහිර විද්‍යාඥයෝ කුපිත වෙති. එහෙත් ඔවුන් අතින් සොයාගැනීමක්වත් නිර්මාණයක්වත් කෙරී නැත. අර්ජුන් මහේන්ද්‍රන් සම්බන්ධ කමිටුව නිර්මාණය කෙළේ ද සොයාගත්තේ ද යන්න අපි නො දනිමු. ඒ කුමක් වුවත් අර්ජුන් නිදහස් ය. කාට ද ආඩම්බරේ යැයි ඇසීමට සිතෙන්නේ එවැනි අවස්ථාවල ය. 

අර්ජුන් වක්‍ර ව වගකිව යුතු බවක් කමිටුව සෘජුව නොකියන බව බන්දුල ගුණවර්ධනගේ දැනගැනීම සඳහා කිව යුතු ය. එහෙත් අපි එකක් දනිමු. සතාසිවම් මිනීමැරුමේ වරදකරුවා වංගෙඩිය යැයි එකල කතාවක් තිබිණි. බැඳුම්කර නිකුතුව සම්බන්ධයෙන් වරදකරු අර්ජුන් මහේන්ද්‍රන්ගේ බැණා වූ අර්ජුන් ඇලෝෂියස් අදාළ ඉල්ලුම් පත්‍රයට අත්සන් කළ පෑන විය හැකි ය. 


නලින් ද සිල්වා


2015 අප්‍රේල් 25



හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.