Breaking
24 Feb 2025, Mon

නිකන් දුන්නත් ජවිපෙ කඩේ බඩු රට්ටු නො ගන්නේ ඇයි?

ජවිපෙට අනුව ශ්‍රීලනීප කඩේ බඩු හොඳ නැත. එජාප කඩයේ බඩු ෂුවර් නැත. එහෙත් ජවිපෙ වත්මන් නායක අනුර කුමාර කාටත් හොරා එජාප කඩයට යෑමට ඒමට ආස ය. එහි සීනි කිරීමට, අරුමෝසම් චුවින්ගම්, බේස්ල්ට් තොල් උල් කර කෑ ගසා විකුණා තරුණ වස්සන් සහ වැස්සියන් ඇන්දවීමට දක්ෂ ය. එසේ එජාපයට සීනි කිරා චාටර් වූ විට බොරුවට එජාපයට බැන වදින්නේ සිය ළෙන්ගතුකම හිතේ තබා ගෙනම ය. අඹු සැමියන් අතර ඇති වන ඒ සොඳුරු ගැටුම් බත ඉදෙන තුරු පමණි. බොළඳ පෙම්වතුන් අතර ඇති වන නොහොඳ නෝක්කාඩුකම් ද එසේ ම ය. 

කඩ දෙකේ ම බඩු අප්ෂට් වුවත් රට්ටු ජවිපෙ කඩයෙන් නිකන් දුන්නත් බඩු නොගනිති. ඒ මන්දැයි ජවිපෙ හිටපු නායක සෝමවංශ අමරසිංහ අපෙන් අසයි. මේ පැනයට අතීතය දෙස බැලුවහොත් පිළිතුරු ලබා ගත හැකි ය. ජවිපෙ ජාතිකත්වයේ කොඩිය අත දැරූ සමයේ මේ රටේ ප්‍රගතිශීලි ජනතාව ඒ කොඩිය වටා ඒකරාශි වූහ. 2004 මහා මැතිවරණයේ දී බොහෝ දිස්ත්‍රික්කවල 1, 2, 3 ස්ථාන ජවිපෙට හිමි විය. ඔවුහු ආසන 42ක් දිනා ගත්හ. 

එහෙත් පක්ෂයට විජයග්‍රාහණ රැගෙන ආ ඒ ගමන තමන් අතින් සිදු වූ ඓතිහාසික වරදක් බව ජවිපෙ වත්මන් නායක අනුර කුමාර පාපෝච්චාරණය කර තිබේ. ඒ ජනතාව ඔවුන් සමඟ එක පෙළට සිට ගත් අවස්ථාවේ දැරූ දේශපාලන මතවාදයට සපුරා විරුද්ධ අන්තයේ සිට ගෙන ය. රටට සතුරු පිළේ සිට ගෙන ය. සිය පක්ෂය පිළිගන්නා බව පවසන සමාජවාදයට සතුරු අන්ත දක්ෂිණාංශික පිළේ සිට ගෙන ය. අධිරාජ්‍යවාදී කඳවුරේ ඉදිරි ආරක්ෂක වළල්ලේ සිට ගෙන ය. 

ඉතින් මේ ගමන කෙළවර වන්නේ ජවිපෙ වික්‍රමබාහු කරුණාරත්නගේ පක්ෂය මෙන් තවත් ත්‍රීවිල් පක්ෂයක් බවට පත්වීමෙන් පමණි. දැන් එම ඉරණම ජවිපෙ නළලේ කොටා තිබේ. කෙසේ වුව ද පක්ෂය ජාතිකත්වයෙන් ඉවත් වීම මේ සෝදාපාළුවට හේතුව බව අවබෝධ කර ගැනීමට තරම් සෝමවංශ අමරසිංහ තවමත් තරුණ ය. ඔහු එදා ජවිපෙ සන්ධාන ආණ්ඩුවෙන් ඉවත්වීමට ගත් තීරණයට ද එරෙහි වූ බව නැත්ත වෙනුවට ඇත්ත කියවූ අයට අමතක නැතැයි සිතමි. ඒ අර්ථයෙන් ගත් කල අනුර, ටිල්වින් ජෝඩුවට සාපේක්ෂව සෝමවංශ තවමත් තරුණ ය. 

රට්ටු ජවිපෙ කඩයෙන් ඉල්ලා සිටින බඩු නොව අනුර ලා විකුණන්නේ එජාපය ප්‍රමුඛ බටහිර මුදලාලි ලා ලාබෙට සපයන කල් ඉකුත් වූ කුණු බඩු ය. ඇතැම් විට ජවිපෙ කඩයේ විකුණන්නේ තට්ටයින්ට පනා ය. ඇතැම් විට ඇස්කිමෝවරුන්ට ශීතකරණ ය. මේවා ජනතාවට වැඩක් නැත. ජවිපෙ කඩෙන් නිකන් දුන්නාත් රට්ටු බඩු නොගන්නේ එහෙයිනි. ජවිපෙ දැරූ ප්‍රගතිශීලි චින්තනය කොල පාට චින්තයට බිලිවීමේ ඛේදවාචකයයි මේ. 

නාමල් උඩලමත්ත 
යුතුකම සංවාද කවය 

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.