Breaking
23 Feb 2025, Sun

විස්සට කොන්දේසියක්

විස්ස සම්මත කරගෙන විශ්වාසභංගය ඉවත දමා පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට බොහෝ දුරට ඉඩකඩ ඇත. සෝභිත හිමියන් විස්ස සම්මත කර ගැනීමට ජනමතය සකස් කර දීමට පොරොන්දු වී ඇත. සෝභිත හාමුදුරුවන් මෙරට සකස් කරන ජනමතයක් නැති බවත් උන්වහන්සේට ජනමතයක් සකස් කිරීමට නොහැකි බවත් අපි දනිමු. ජනමතය සකස් කරන්නේ යැයි කියන බොහෝ දෙනාට කළ හැක්කේ් කොහොමටත් ඇති ජනමතය ජනමාධ්‍ය මගින් ප්‍රසිද්ධ කිරීම පමණකි. සෝභිත හිමියන්ට අමද්‍යප ව්‍යාපාරය මගින් මතට විරුද්ධව ජනමතයක් සකස් කළ හැකි ද? 

අද ජනමාධ්‍ය සන්දර්ශනවල යෙදෙන්නේ දොශපාලනඥයන් පමණක් නො වේ. භික්‍ෂූන් වහන්සේ, කලාකරුවෝ, ඊනියා බුද්ධිමත්තු ආදීහු ජනමාධ්‍ය සන්දර්ශනවල නිරත වෙති. එපමණක් නොව ජනමාධ්‍යවේදීහු ද ජනමාධ්‍ය සන්දර්ශනවල යෙදෙති. මනාප ක්‍රමයට විරුද්ධ ව අමුතුවෙන් ජනමතයක් සකස් කිරීමට අවශ්‍ය නැත. දශක ගණනාවක් තිස්සේ මනාප ක්‍රමයට විරුද්ධ  ජනමතයක් මෙරට වෙයි. ජනතාව කේවල ක්‍රමයක් හෝ මිශ්‍ර ක්‍රමයක් හෝ එක පයින් පිළිගනිති. 

විස්ස ප්‍රමාද වූයේ ප්‍රධාන වශයෙන් ම රනිල් ප්‍රමුඛ එ ජා පක්‍ෂය එයට විරුද්ධ වූ නිසා ය. එහෙත් රනිල් කියා තිබුණෙ ඊනියා ප්‍රතිවිප්ලවකාරී තත්ත්වය නිසා පාර්ලිමේන්තුවේ විස්ස සම්මත කර ගැනීමට නොහැකි වනු ඇති බව ය. අබුද්දස්ස කාලේ ලබුත් තිත්ත යැයි කතාවක් ඇත. අද විප්ලවවාදියා වී ඇත්තේ යටත්විජිතවාදී බටහිර ගැති සිංහල විරෝධී රනිල් ය. ගැමියෝ මෙවැනි අවස්ථාවල දී අනේ මග කට යැයි කියති. 

විස්ස ප්‍රමාද වූයේ එ ජා පක්‍ෂයේ විරෝධය නිසා ය, පාර්ලිමේන්තුවට යෑමට පෙර එය කැබිනෙට්ටුවේ අනුමත විය යුතු ය. තවමත් ඒ කරගත නොහැකිව ඇත්තේ කැබිනෙට්ටුවේ ප්‍රතිවිප්ලවයක් නිසා ද? ඒ ප්‍රතිවිප්ලවය මෙහෙයවන්නේ කවු ද? අද රනිල් හා එ ජා පක්‍ෂය විස්සට කැමති වන්නේ විශ්වාසභංගයෙන්  ගැලවීමට ය. විශ්වාසභංගයට මුහුණ නොදී පාර්ලිමේන්තුව චිසුරුවා හැරීමට රනිල්ට හා එ ජා පක්‍ෂයට අවශ්‍ය ය. ඒ සඳහා විස්ස සම්මත කිරීම අනිවාර්ය වී ඇත.

එහෙත් රනිල් හා එ ජා ප විස්සට පක්‍ෂ වනු ඇත්තේ එය මීළඟ මැතිවරණයට බල නොපාන අන්දමට ය. මනාප ක්‍රමය ඉවත් කිරීම එ ජා පක්‍ෂයට අවාසි ය. එ ජා ප පසුපස ඉන්නේ සෝවාන් වූ පුද්ගලයන් නො වේ. මනාපවලට මුදල් වියදම් කිරීම  පුරුදු කෙළේ එ ජා පක්‍ෂය ය. එතනොල් කාරයන්, කුඩු කාරයන් එ ජා ප පිටුපස නැතැයි කියන්නේ ද? එයටත් වඩා ජාත්‍යන්තර මට්ටමේ ව්‍යාපාරිකයන් එ ජා පක්‍ෂයට ආධාර නො කරන්නේ ද? ජේ ආර් මනාප ක්‍රමය ඇති කෙළේ ම එය එ ජා පක්‍ෂයට වාසි සහගත නිසා  ය. 

පාර්ලිමේන්තුවට විස්ස කිනම් ආකාරයකින් ඉදිරිපත් වුවත් මන්ත්‍රි සංඛ්‍යාව 225න් 255 දක්වා වැඩි කිරීමට ඉඩ නොදීමටත්, මීළඟ මැතිවරණයේ සිට ම (ඒ මාස දෙකකින් පැවැත්වුවත්) ඒ ක්‍රියාත්මක කරවීමටත් සංධානය කටයුතු කළ යුතු ය. ඒ සඳහා අවශ්‍ය මන්ත්‍රි සංඛ්‍යාව ලබාගැනීමට දැන් සිට ම පියවර ගත යුතු ය. 

මැතිවරණ කොමසාර්ස්ට අනුව නව ඡන්ද ක්‍රමයට අනුගත වීමට මැතිවරණ කොමසාරිස් කාර්යාලයට දීර්ඝ කාලයක් අවශ්‍ය නො වේ. එබැවින් මීළඟ මැතිවරණයේ දී ම විස්ස ක්‍රියාත්මක කිරීමට බාධාවක් නැත.

නලින් ද සිල්වා


2015 ජූනි 06

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.