Breaking
23 Feb 2025, Sun

ජාත්‍යන්තරය හමුවේ දෙකට නැමුනු යහපාලනයේ සමලිංගික සේවනය

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ අය-වැය කාරක සභාවේදී සමලිංගික සේවනයට අදාළ යෝජනාවක් ඉදිරිපත් වූ අවස්ථාවේදී සමලිංගික සේවනයට පක්‍ෂව පෙනී සිටියේ කෙසේදැයි වත්මන් ආණ්ඩුව රට හමුවේ පැහැදිලි ප‍්‍රකාශයක් සිදු කළ යුතු යැයි ජාතික නිදහස් පෙරමුණ අවධාරණය කරයි.

අද(31) බත්තරමුල්ලේ පිහිටි ජාතික නිදහස් පෙරමුණේ ප‍්‍රධාන කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවකදී එහි ප‍්‍රචාරක ලේකම්, මොහොමඞ් මුසම්මිල් මහතා මෙසේ පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මොහොමඞ් මුසම්මිල් මහතා මෙසේද පැවසීය.

‘‘ඊනියා යහපාලකයන් ගෙවී ගිය කෙටි කාලය තුළ මේ රට අස්ථාවර කළා පමණක් නොවෙයි, සංස්කෘතිකමය වශයෙන් ද විනාශය කරා රැගෙන යමින් තිබෙනවා. එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ අය-වැය පිළිබඳ කාරක සභාවේදී රුසියාව විසින් යෝජනාවක් ඉදිරිපත් කළා ‘එක්සත් ජාතීන්ගේ කාර්ය මණ්ඩයේ සිටින සමලිංගික පවුල් සඳහා වරප‍්‍රසාද ලබාදෙමින් සිටිනවා. එසේ ලබා දෙන වරප‍්‍රසාද අහෝසි කළ යුතුයි’ කියලා. එසේම එම යෝජනාවේ සඳහන් වෙනවා, ‘සමලිංගිකභාවය පිළිගැනීම හෝ පිළිනොගැනීම පිළිබඳව එක් එක් රටට ස්වාධීන තීරණයක් ගැනීමේ අයිතියක් තිබෙනවා. ඒ ඒ රටේ පවතින සංස්කෘතියට සාපේක්‍ෂව තමයි ඒ පිළිබඳ තීරණයක් ගත යුත්තේ’ කියලා.

ශ‍්‍රී ලංකාව ඉතාමත් අවාසනාවන්ත විදිහට එම යෝජනාවට විරුද්ධ වී තිබෙනවා. ශ‍්‍රී ලංකාව එහිදී පෙනී සිටින්නේ සමලිංගිකභාවයට, සමලිංගික පවුල්වලට පක්‍ෂව. මේක ඉතාමත් බරපතළ තත්ත්වයක්. එක්සත් ජාතීන්ගේ කාරක සභාවකදී ශ‍්‍රී ලංකාව සමලිංගිකත්වයට පක්‍ෂව පෙනී සිටීම, ඊනියා යහපාලන ආණ්ඩුවේ ප‍්‍රතිපත්තිමය තීරණවල වෙනසක්ද? කියා අපි අහනවා.

අපේ රටේ දණ්ඩ නීති සංග‍්‍රහය අනුව මේ සමලිංගික සම්බන්ධතා නීතියෙන්ම තහනම්කර තිබෙන දෙයක්. දැන් මේ ආණ්ඩුව සමලිංගික සම්බන්ධතා පිළිගන්නා ප‍්‍රතිපත්තිමය තීරණයකට පැමිණ ඇති බවයි පෙනෙන්නේ. අපි මේ ඊනියා යහපාලන ආණ්ඩුවෙන් අහනවා, ‘මේ ප‍්‍රතිපත්තිමය තීරණය ගත්තේ කොතැනදීද?’ කියලා. මේ ප‍්‍රතිපත්තිමය තීරණය ගනු ලැබුවේ අගමැතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් ඔහුගේ කාර්ය මණ්ඩල ප‍්‍රධානී සාගල රත්නායක මහතා ඇතුළු පිරිසගේ සහභාගීත්වයෙන් පැවති කමිටුවකදීද? එසේ නොමැති නම් විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවති අමාත්‍යාංශ නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් පැවති කමිටුවකදීද? සමලිංගික සේවනය පිළිගැනීමේ ප‍්‍රතිපත්තිමය තීරණය ගනු ලැබුවේ මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාගේ ප‍්‍රධානත්වයෙන්, රාජිත සේනාරත්න, චම්පික රණවක යන ඇමතිවරුන්ගේ සහභාගීත්වයෙන් පැවති කැබිනට් මණ්ඩල රැස්වීමකදීද? එසේ නොමැති නම් අනුර කුමාර දිසානායක මහතා සහභාගී වූ ජාතික විධායක සභා රැස්වීමකදීද? ආණ්ඩුව මේ පිළිබඳව වහාම ප‍්‍රකාශයක් කළ යුතුයි. මේක හංගලා, ජනතාවට කොලේ වහලා යන්න දෙන්න බැහැ.

ශ‍්‍රී ලංකාව වසර 2500කට අධික කාලයක් බුදු දහම මත පදනම්ව ගොඩනැගුණු සංස්කෘතියක් තිබෙන රටක්, බෞද්ධ සම්ප‍්‍රදායන් පවතින රටක්. ඒ වගේම හින්දු, ඉස්ලාම්, කතෝලික ආගමික සංස්කෘතීන්වලින් පෝෂණය වූ රටක්, ආසියාතික සංස්කෘතියක් පවතින රටක්. මේ සියලූ සංස්කෘතීන්හි මූලික තැනුම් ඒකකය පවුල. ජාත්‍යන්තරය ඉදිරියේ සමලිංගිකත්වයට පක්‍ෂව, සමලිංගික පවුල්වලට පක්‍ෂව යමින්, මේ එන්නේ සංස්කෘතික ආක‍්‍රමණයක්. මේ සංස්කෘතික ආක‍්‍රමණය හරහා ‘පවුල’ කියන අපේ සංස්කෘතියේ මූලික තැනුම් ඒකකය විනාශ කිරීමටයි සූදානම් වෙන්නේ.

රටේ දේශපාලන අස්ථාවරත්වය හැදුවා වගේ, ආර්ථිකය විනාශ කළා වගේ, නව ලිබරල්වාදයට ගැලපෙන සංස්කෘතියක් හදලා බුදු දහමින්, හින්දු දහමින්, ඉස්ලාම් දහමින්, කතෝලික දහමින් ඔප් නැංවුණු අපේ අපේ සංස්කෘතිය විනාශකර දමන්නයි මේ අය සූදානම් වන්නේ. ‘සමලිංගිකත්වයට එරෙහි මේ රුසියානු යෝජනාවට’ සියලූ දකුණු ආසියාතික රටවල් පක්‍ෂව ඡන්දය දුන්නා. නමුත් ශ‍්‍රී ලංකාව පමණක් ඊට විරුද්ධ වුණා.

‘ඇප දිය නොහැකි වරදක්’

දණ්ඩ නීති සංග‍්‍රහයේ 365 වගන්තිය අනුව ‘අස්වාභාවික වැරදි’, 365(අ) වගන්තිය අනුව ‘පුරුෂයන් අතර තදබල අශෝභන ක‍්‍රියා’ යනුවෙන් මෙම සමලිංගික සේවනය අපරාධ වරදක් ලෙස දක්වා තිබෙනවා. දණ්ඩ නීති සංග‍්‍රහයේම දක්වා තිබෙනවා, සමලිංගික සේවනය, ‘ඇප දිය නොහැකි වරදක් කියලා. ඒ වගේම යමිකිසි කෙනෙක් සමලිංගික සේවනයට අනුබල දෙනවා නම් ඒකත් දණ්ඩ නීති සංග‍්‍රහය අනුව අපරාධ වරදක්.

ඊනියා යහපාලන ආණ්ඩුව පැහැදිලිව සමලිංගික සේවනයට අනුබල දී තිබෙනවා. ඒ අනුව මේ ආණ්ඩුව රටේ නීතිය උල්ලංඝනය කර තිබෙනවා. එසේම මෙරට විදේශ ප‍්‍රතිපත්තිය හෑල්ලූවට ලක්කර තිබෙනවා.

රුසියාව අපේ රටට ඉතා මිතුරු රාජ්‍යයක්. එවැනි මිතුරු රටක් ගෙන එන යෝජනාවකදී මෙතරම් විරුද්ධ වීමෙන් පෙනෙනේ කුමක්ද? ජිනීවා මානව හිමිකම් කවුන්සිලය හරහා අපේ රටට එන ප‍්‍රශ්නවලදී එක්සත් ජාතීන්ගේ ආරක්‍ෂක මණ්ඩලයේ නිෂේධ බලය හිමි රුසියාව ඉතා වැදගත්. එම ප‍්‍රශ්නවලදී රුසියාවේ සහයෝගය ලබා ගැනීමට තිබෙන අවස්ථාව අහිමි කරලීමේ දිශාවටයි මේ ඊනියා යහපාලකයන් ගමන් කරමින් සිටින්නේ.

මෙතැනදී සිදුවන්නේ දැවැන්ත සංස්කෘතික ආක‍්‍රමණයක්. එය මේ ඊනියා යහපාලන ආණ්ඩුව දැනුවත්ව සිදු කෙරෙන සංස්කෘතික ආක‍්‍රමණයක් බව ඉතා පැහැදිලියි. මේක අගමැති රනිල් වික‍්‍රමසිංහ, විදේශ අමාත්‍ය මංගල සමරවීර, අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්, අග‍්‍රාමාත්‍ය කාර්යමණ්ඩල ප‍්‍රධානී සාගල රත්නායක, එක්සත් ජාතික පක්‍ෂ රත්මලාන ආසන සංවිධායක උපුල් ශාන්ත සන්නස්ගල යන මහත්වරු එකතු වෙලා හෝ තනි තනිව හෝ ගත්තු තීරණයක් වෙන්න පුළුවන්. නමුත් ‘මේ රටේ විදේශ ප‍්‍රතිපත්තිය, සමලිංගික පවුල් පිළිගන්න තැනට පත් වුණේ කොහොමද?’ කියන බරපතළ ප‍්‍රශ්නයට මේ ආණ්ඩුවේ බලධාරීන් වහාම පිළිතුරු දිය යුතුයි’’

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ
මාධ්‍ය ලේකම්
ජාතික නිදහස් පෙරමුණ
2015-05-31

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.