Breaking
23 Feb 2025, Sun

යමපාලනයේ නියෝජ්‍ය විදේශ ඇමති අජිත් පෙරේරා ඇතුළු යමපාලකයන් පවසන කරුණක් නම් තම විදේශ ප්‍රතිපත්තිය විශිෂ්ට බව ය. යේමනයේ සිර වී සිටි ලාංකිකයන් ලංකාවට ගෙන ඒමට සමත්වීම පිළිබඳවත් යමපාලකයෝ උදම් අනති. එය ද තමන්ගේ විදේශ ප්‍රතිපත්තියේ යහපත්බව නිසා සිදු වුවක් බවට ඔවුහු  පුරසාරම් දොඩවති. අපට අසන්නට ප්‍රශ්නයක් ඇත. අජිත් පෙරේරාට අනුව ඊනියා මහින්ද රෙජිමය බලයේ සිටියේ නම් ලාංකිකයන් යේමනයේ අතරමං වීමට තිබිණි ද?

ලාංකිකයන් ගෙන්වා ගැනීමට යමපාලකයන්ට පිහිටට පැමිණ ඇත්තේ බටහිර රාජ්‍යයක් හෝ ඉන්දියාව හෝ නොව චීනය ය. මහින්ද රාජපක්‍ෂ ආණ්ඩුවේ විදේශ ප්‍රතිපත්තිය නිසා චීනය අපට මේ ප්‍රශ්නයේ දී උපකාර නොකර සිටින්නට තිබිණි ද? දේශපාලනඥයන් තමන්ට ලකුණු දා ගැනීමට කලාකරුවන්ට හා ඊනියා බුද්ධිමතුනට ද වඩා ඈතට යන බව අපි දනිමු. එහෙත් අජිත් පෙරේරාගේ ලකුණු දමා ගැනීම පිළිකුල් සහගත ව ප්‍රතික්‍ෂෙප කිරීමට සිදු වී ඇත. 

යමපාලනයට බටහිර රාජ්‍යවල සහාය ලැබෙන බව ඉතා පැහැදිලි ය. එමෙන් ම ඉන්දියාව ද යමපාලනයට උපකාර කරයි. අප බොහෝ විට කියා ඇත්තේ එයට ප්‍රධාන හේතුව මහින්ද රාජපක්‍ෂ ගෙදර යැවීමට ඔවුන්ට තිබූ අවශ්‍යතාව ය. රනිල්ට ඇමරිකානුවන් කියා දී ඇත්තේ මහින්ද රෙජිමය පරාජය කළ යුතු බව ය. එය ඉටු කර ගත් නමුත් අද ඔවුන්ට අවශ්‍ය වී ඇත්තේ මහින්ද සම්පුර්ණයෙන් ම දේශපාලන වශයෙන් අකර්මන්‍ය කිරීමට ය. 

මේ කාර්යයේ දී බටහිරයන්ට හා ඉන්දියයන්ට ඔවුනොවුන්ගේ ඔත්තු සේවාවල ද, මෙරට ඔවුන්ගේ ඒජන්තයන් වූ එ ජා ප, ජාතික හෙළ උරුමය, දෙමළ ජාතික සංධානය, ජ වි පෙ ආදී පක්‍ෂවල නායකයන්ගේ ද ශ්‍රී ල නි ප නිවට නායකයන්ගේ ද සහාය ලැබෙයි. බටහිරට හා ඉන්දියාවට මහින්ද ඉවත් කිරීමට අවශ්‍ය ව ඇත්තේ කරුණු දෙකක් නිසා බව අපි කිහිප වතාවක් ම කියා ඇත්තෙමු. එහෙත් සිංහලයන් යමක් පිළිගන්නේ ඒ දහස් වරක් පමණ කීවහොත් පමණකි. එබැවින් අපි එය නැවතත් කියමු. මහින්ද ඉවත් කිරීමට මේ පිරිස් කටයුතු කරන්නේ දෙමළ ජාතිවාදය සම්බන්ධයෙන්  බටහිරට හා ඉන්දියාවට අවනත නොවීමත් ඔවුන්ගේ විරුද්ධත්වය නොතකා චීනය සමග සම්බන්ධකම් ඇතිකර ගැනීමත් නිසා ය. බටහිර හා ඉන්දියාව දෙමළ ත්‍රස්තවාදයට අනුබල දුන්නා පමණක් නොව කොටින්ට ආයුධ, මුදල් හා වෙනත් ආධාර ද දුන්නේ ය. අප නන්දිකඩාල් කලපුවේ දී අවසානයේ දී ජයගත්තේ මේ සියල්ල මැද මහින්ද රාජපක්‍ෂගේ දේශපාලන නායකත්වය යටතේ බව සිංහලයන්ගෙන් බහුතරය කිසි දිනෙක අමතක නොකරනු ඇත. 

යුරෝපා සංගමය නැවතත් කොටි තහනම් කර ඇත්තේ අපට එරෙහිව පැනවූ විවිධ ආර්ථික සම්බාධක ඉවත්කර ඇත්තේත් යමපාලනයේ විදේශ ප්‍රතිපත්තිය නිසා බව යමපාලකයෝ කියති. එය ඇත්ත ය. යුරෝපා සංගමය එකල කොටි තහනම ඉවත් කළේත් ආර්ථික සම්බාධක පැනවූයේත් මහින්ද රාජපක්‍ෂට දඬුවම් කිරීමට ය. ඒ මහින්ද රාජපක්‍ෂගේ නොබැඳි නොගැති විදේශ ප්‍රතිපත්තිය හේතුකොට ගෙන ය. එහෙත් අද යමපාලකයන් පවත්වාගෙන යන්නේ බටහිර ගැති ඉන්දියාවට පක්‍ෂපාති චීනයට බය විදේශ ප්‍රතිපත්තියකි. ඔවුන්ට චීනයට විරුද්ධ වීමට තරම් ශක්තියක් නැත. එහෙත් බටහිර ගැති බව හා ඉන්දියාවට පක්‍ෂපාතවීම හේතුවෙන් යමපාලකයෝ දෙමළ ජාතිවාදයට කප්පන් දෙති. සාම්පුර් කඳවුර ඉවත්කර ගනිති. පලාලේ අධිආරක්‍ෂිත කලාපය ඊනියා ජනතාවකට පවරා දෙති. ඒ වෙනුවෙන් යුරෝපා සංගමයෙන් ආර්ථික සහන ලබාගනිති. මේ රට පාවා දී බඩවියත රැක ගැනීමක් මිස අනෙකක් නො වේ. යමපාලකයන්ගේ විදේශ ප්‍රතිපත්තිය එය මිස අන් කිසිවක් නො වේ.

නලින් ද සිල්වා


2015 අප්‍රේල් 10

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.