Breaking
23 Feb 2025, Sun

මෛත්‍රිපාල සිරිසේන රසිකයෙකි. ඔහුට කවි හා විරිදු කීමට හැකි ය. ඔහු ඉඳහිට විහිළු ද කරයි. ජනතාව ඔහුගේ විහිළුවලින් රසයක් විඳිති. එහි වරදක් නැත. ජනාධිපති ජනතාව සතුටු කළ යුතු ය. ඔහු බොරු කියන්නේ යැයි මම නො කියමි. රහතන් වහන්සේට අනුව නම් අප වැනි පෘථග්ජනයන්ගේ සියළු දැනුම් මුසා ය. එහෙත් මා මෙහි දී බොරු යන වචනය යොදන්නේ ඒ අරුතෙන් නො වේ.

සම්මතය හා සම්මුතිය අනුව මා ගෙදර යමින් ගෙදර යනවා යැයි කීම රහතන් වහන්සේට අනුව මුසාවක් වුවත් පෘථගාජන අපට අනුව මුසාවාදා සිකපදයට අයත් වන මුසාවක් නො වේ. එහෙත් සම්මතය හා සම්මුතිය අනුව වුව ද මා කාර්යාලයට යමින් ගෙදර යනවා යැයි කීම මුසාවකි. මෙරට බොහෝ පඬියන්ට ඒ අවස්ථා අතර වෙනස තේරුම් ගැනීමට නො හැකි ය. 

මෛත්‍රිපාල සිරිසේන කියා තිබුණේ ඔහු ශ්‍රී ල නි පක්‍ෂයේ සභාපතිකම භාරගත්තේ මහත් වගකීමකින් බව ය. සභාපතිකම භාරගත්තේ ශ්‍රී ල නි පක්‍ෂය දිනවීමට බව ද ඔහු කියයි. එහෙත් ඔහු නොකියන වැදගත් කරුණු දෙකක් වෙයි. එකක් නම් ඔහු ශ්‍රි ල නි පක්‍ෂයේ සභාපති නොවන බව ය. එනම් ඔහුට නී්‍යානුකූල ව  ශ්‍රී ල නි පක්‍ෂයේ සභාපතිකම නොලැබුණු බව ය. අප කිහිප වතාවක් ම පෙන්වා දී ඇත්තේ ශ්‍රී ල නි ප ව්‍යවස්ථාව අනුව  පක්‍ෂයෙන් හෝ පක්‍ෂය නායකත්වය දරණ සන්ධානයකින් ජනාධිපති අපේක්‍ෂක ලෙස ඉදිරිපත් වී ජයග්‍රහණය කරන පුද්ගලයකු පක්‍ෂයේ සභාපතිකමට පත්වෙයි. එසේත් නැතහොත් පක්‍ෂයේ විධායක සභාව විසින් යම් පුද්ගලයකු පක්‍ෂ සභාපතිත්වයට පත්කරගනු ලැබිය යුතු ය. 

එහෙත් මේ දෙකෙන් එකක්වත් මෛත්‍රිපාල සිරිසේන සම්බන්ධයෙන් ඉටු වී නැත. ඔහු ජනාධිපති වූයේ ශ්‍රී ල නි පක්‍ෂයට එරෙහි ව තරග කරය. එබැවින් ඔහු ශ්‍රී ල නි පක්‍ෂයේ සභාපතිත්වයට පත් වී නැත. මහින්ද රාජපක්‍ෂට නොව ශක්‍රයාටවත් මෛත්‍රිපාලට ශ්‍රී ල නි පක්‍ෂයේ සභාපතිකම භාරදිය නො හැකි ය. රනිල් වික්‍රමසිංහ අගමැතිකම පික්පොකට් ගසා ඇති අන්දමට මෛත්‍රිපාල සිරිසේන ශ්‍රී ල නි පක්‍ෂයේ සභාපතිකම පික්පොකට් ගසා ඇත. මෛතිපාල තමා ශ්‍රී ල නි පක්‍ෂයේ සභාපති යැයි කීම රහතන් වහන්සේට අනුව මෙන් ම පෘථග්ජනයන්ගේ සම්මුතිය හා සම්මතය අනුව ද මුසාවකි. 

දෙවැන්න බටහිර රටවල ද ඉන්දියාවේ ද මෙරට විජාතික බලවේගවල ද ආධාරයෙන් හා අනුග්‍රයෙන් දෙමළ ජාතිවාදී හා මුස්ලිම් ආගමිකවාදී පක්‍ෂවල සහාය ඇතිව ශ්‍රී ල නි පක්‍ෂය ප්‍රමුඛ සංධානය පැරදවීමට මෛත්‍රිපාල දායක විය. ශ්‍රී ල නි පක්‍ෂය දෙකඩ කිරීමට ඔහු ක්‍රියා කෙළේ ය. ඔහුට අද ශ්‍රී ල නි පක්‍ෂයේ නායකත්වයක් නැත. ඔහුට ශ්‍රී ල නි පක්‍ෂය මෙහෙයවිය නො හැකි ය. ඔහු කියන දෙයට බොහෝ පක්‍ෂ සාමාජිකයන් සවන් නොදෙන බව පැහැදිලි ය. 

එවැනි මෛත්‍රිපාල සිරිසේන කෙනකු ශ්‍රී ල නි පක්‍ෂය දිනවන්නේ කෙසේ ද? නුදුරු අනාගතයේ දී නිල වශයෙන් ශ්‍රී ල නි පක්‍ෂ දෙකක් ඇතිවුවහොත් මෛත්‍රිපාලගේ ශ්‍රී ල නි පක්‍ෂය මැතිවරණයක දී අන්ත පරාජයක් ලැබීමට නියමිත ය. මෛත්‍රිපාලට ශ්‍රී ල නි පක්‍ෂයක් දිනවීමට නො හැකි ය. මෛත්‍රිපාල බොරු කියන්නේ ද විහිළු කරන්නේ ද යන්න තීරණය කිරීමට ත්‍රිපුද්ගල නීතිඥ කමිටුවක් පත්කරන ලෙස රනිල්ගෙන් ඉල්ලා සිටිය යුතු ය.

නලින් ද සිල්වා


2015 අප්‍රේල් 27

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.