Breaking
24 Feb 2025, Mon

බුදු පිළිම වහන්සේ නමක් බෙල්ලෙන් අල්ලා ගත් නුතන ගොබෙල්ස්ගේ ඩයස්පෝරණු වන්දනාව

එකල ලංකාවේ ඇතැම් නගරවල ඩයස් බේකරි තිබිණි. එහි පෝරණු ද තිබෙන්නට ඇත. එහෙත් අප සඳහන් කරන්නේ ඒ පෝරණු ගැන නො වේ. මේ ඩයස්පෝරණුව ඇත්තේ ලංඩනයේ ය. එහි බක්කරෙ කැමරන් ය.

කැමරන් එංගලන්තයේ අගමැති ය. ඔහු පසුගිය දා පැවත් වු මැතිවරණයෙන් ජයගත්තේ ඊනියා දේශපාලන විචාරකයන්, විශ්ලේෂ’කයන් එඩ් මිලිබෑන්ඩ්ගේ කම්කරු පක්‍ෂය ජය ගනීවි යැයි කියද්දී ය. කැමරන් ස්කොට් සම්භවයක් ඇත්තෙකි. එහෙත් ඔහු එංගලන්තයේ අගමැති ය. ස්කොට්ලන්තය, වේල්සය හා උතුරු අයර්ලන්තය යනු එංගලන්තයේ යටත්විජිත ය. මගේ මේ කියමන සමග සුද්දන්ගෙන් දැනුම ලබාගන්නා මෙරට ඊනියා දේශපාලන විද්‍යාඥයන් එකඟ නොවනු ඇත. සුද්දන් අපට කියන්නේ එංගලන්තය, වේල්සය හා ස්කොට්ලන්තය එක් වී බ්‍රිතාන්‍යය නම් රට සෑදී ඇති  බවත් එයට උතුරු අයර්ලන්තය එක් වී එක්සත් රාජධානිය සෑදී ඇති බවත් ය. බටහිර විද්‍යාව ද ඇතුළු බටහිර පට්ටපල් බොරුවලින් ඉවත්වීමට අපට නොහැකි වී ඇත. එක්සත් රාජධානිය යනු වියුක්ත සංකල්පයක් පමණකි. එය යටත්විජිත වසා ගැනීමට හොතා ඇති පට්ටපල් බොරුවකි.  

කෙසේ වෙතත් කැමරන් ජයග්‍රහණය කෙළේ යටත්විජිත ඒ ආකාරයෙන් ම තබා ගැනීම ඔහුගේ ප්‍රතිපත්තිය නිසා ය. කම්කරු පක්‍ෂය යටත්විජිතවලට යම් නිදහසක් දීමට එකඟ ය. එහෙත් ඡන්දදායකයෝ ඒ ප්‍රතික්‍ෂෙප කළහ. ඊනියා විශ්ලේෂකයෝ ඒ කරුණ අමතක කළහ. කැමරන් ස්කොට් සම්භවයක් ඇත්තකු වුව ද ඉංගිරිසි සංස්කෘතියේ ආධිපත්‍යය පිළිගනියි. ඔහු ඔවුන්ගේ රැජනට ගරු කරයි. ඇය ඔහුට අතට අත දෙන්නේ අත්වැසුම් ගළවා දැයි දැනගැනීමට ක්‍රමයක් නැත. එහූ කැමරන් ලංකාවේ සිංහල බෞද්ධ සංස්කෘතියෙහි ආධිපත්‍යය නොව විශේෂිතත්වය පිළි නොගනියි. එහෙත් මෙරට දෙමළ ජාතිවාදය ආරම්භ කරනු ලැබුයේ කැමරන් විසින් නො වේ.  

අප අවුරුදු තිහක පමණ කාලයක් කියා ඇත්තේ මෙරට දෙමළ ජාතිවාදය 1833 දී ඉංගිරිසින් විසින් නිල වශයෙන් බෞතීස්ම කරනු ලැබූ බව ය. ඉංගිරිසිහු ද එයට පෙර ලන්දේසීහු ද සිංහල බෞද්ධ සංස්කෘතිය නැති කිරීමට බැරි නම් දුර්වල කිරීමට දෙමළ ජාතිවාදය යොදාගත්හ.  අද ද යොදා ගනිති. අද ඩයස්පෝරාව නමින් හැඳින්වෙන්නේ බටහිර රටවල සිටින දෙමළ ජාතිවාදීන් ය. එය වැඩි වශයෙන් ම ක්‍රියාත්මක වන්නේ එංගලන්තයේ ය. කැමරන්ගේ රටෙහි ය. 

ඩයස්පෝරාව යන්න බයිබල් වචනයකි. එය පරණ තෙස්තමේන්තුවේ දැකිය හැකි ය. තම නිජබිමෙන් පන්නනු ලැබ පිටරටක ජීවත්වන ජනතාවක් ඩයස්පොර්ව ලෙස හැඳින්වෙයි. තම නිජ බිමෙන් පිට කෙරී ඊජිප්තුවේ ජීවත්වූ යුදෙවුවෝ පරණ තෙස්තමේන්තුවේ ඩයස්පෝරාව ලෙස හඳුන්වනු ලැබූහ. ඒ අරුතින් ගත්කල දෙමළ ඩයස්පෝරාවක් නැත. පිටරට වෙසෙන දෙමළ ජනයා මෙරටින් පිට කෙරුණෝ නො වෙති. ඔවුහු ස්වෙච්ඡාවෙන් මෙරටින් පිට වූවෝ වෙති. ඔවුන්ගෙන් කිහිප දෙනකු 83 ජූලි කලබලවලින් පසුව රටෙන් පිටව යන්නට ඇත. එහෙත් වැඩි පිරිසක් රටෙන් පිට වී ඇත්තේ මෙරට නිදහස් අධ්‍යාපනය ලබා පිටරට රැකියා කිරීමට ය. 

මොවුන්ට ඩයස්පෝරාව යැයි කීම සංකල්පීය ව නිවැරදි නො වේ. ඔවුන්ගේ මෙරට පුරවැසිභාවය රජය විසින් අවලංගු කෙරී නැත. ඔවුන්ගෙන් බොහෝ දෙනා තමන් පදිංචි රටවල පුරවැසිභාවය ලබාගැනීම සඳහා අර්ජුන් මහේන්ද්‍රන් මෙරට පුරවැසිභාවය අත්හරින්නට ඇත. එහෙත් ඔවුන් කිසිවකුට ලංකාවේ තම පුරවැසිකම අත්හරින ලෙස ලක් රජය කියා නැත. මොවුහු  විසුරුණු දෙමළ ජනයා වෙති. එහෙත් අද ඊනියා ඩයස්පෝරාව ලෙස පෙනී සිටින්නේ ඒ සියළු දෙමළ ජනයා නො වේ. අද ඩයස්පෝරාව ලෙස පෙනී සිටින්නෝ දෙමළ ජාතිවාදීහු ය.  

එම්මානුවෙල් පූජකවරයා, සුරේන්ද්‍රන් ආදීහු ඊනියා ඩයස්පෝරාව නියෝජනය කරති. පසුගිය දා එංගලන්තයේ හා යටත්විජිතවල පසුගිය දා පවත්වන ලද මැතිවරණයෙන් පෙනී ගියේ විසිරුණු දෙමළ ජනයාට එහි ඡන්ද ප්‍රතිඵල වෙනස් කිරීමට තරම් තත්ත්වයක් නො තිබූ බව ය. එහෙත් එංගලන්තයේ දේශපාලනඥයන් අපට කියන්නේ විසූරුණු දෙමළ ජනයාට එහි ආන්තික මැතිවරණ කොට්ඨාශවල ප්‍රතිඵල වෙනස් කළ හැකි බව ය. මේ සුද්දන්ගේ තවත් පට්ටපල් බොරුවක් පමණකි. 

සිදුවන්නේ එහි අනෙක් පැත්ත ය. ඉංගිරිසි දේශපාලනඥයෝ එදා මෙන් ම අද ද සිංහලයන්ට විරුද්ධ ව විසිරුණු දෙමළ ජනයා යොදා ගනිති. ඒ අරුතින් ගත්කල ඒ ඩයස්පෝරණුවකි. ඉංගිරිසි බක්කරේලා සිංහල ජනයා ඩයස්පෝරණුවේ පුළුස්සති. දැන් පික්පොකට් විදේශ ඇමතිකමක් ලබා සිටින මංගල සමරවීර තොත්ත බබකු වීමට උත්සාහ කරයි. බුදු පිළිම වහන්සේ නමක් බෙල්ලෙන් අල්ලා ප්‍රසිද්ධියට පත් වී ඇති මංගල සමරවීර ඩයස්පෝරණුව කෙතරම් සැපදායක දැයි අසයි. ඔහුට අනුව ඊනියා ඩයස්පෝරාවේ දෙමළ ජාතිවාදීහු ලංකාවට සේවයක් කරති. එම්මානුවෙල් පූජකවරයා හෝ සූරේන් සුරේන්ද්‍රන් හෝ ලංකාවට කර ඇති සේවය කුමක් ද? මංගල සමරවීර නිල්වලා ගඟේ පාලම උඩ සිට ඒ ප්‍රශ්නයට පිළිතුරු දෙන්නේ ද?

මේ දෙමළ ජාතිවාදීන් කර ඇති එකම කාර්යය ලංකාවට විරුද්ධව ගොබෙල්ස් – මංගල න්‍යායේ බොරු ප්‍රචාරය කිරීම පමණකි. ගොබෙල්ස් ජීවත් ව සිටියේ නම් මංගල ගැන මෙන් ම එම්මානුවෙල් පූජකවරයා ද සුරේන්ද්‍රන් ගැන ද ආඩම්බර වනු නිසැක ය. අද මංගල මේ දෙමළ ජාතිවාදීන් ලංකාවට ගෙනැවිත් කැමරන් සතුටු කරන මංගල්‍යයක් පැවැත්වීමට සූදානම් වෙයි. ජාතික බලවේග එයට කිසිම ඉඩක් නො දිය යුතු ය. හැකිනම් එයට කලින් පික්පොකට් ආණ්ඩුව පරාජය කළ යුතු ය. 

අවාසනාවකට නොමග ගිය ජාතිහිතෛෂීන් මේ මංගල්‍යයට ඊනියා සිංහල ඩයස්පෝරාවකට ආරාධනය කළ යුතු යැයි කියති. ඒ මුළුමනින් ම වැරදි අදහසකි. සිංහල ඩයස්පෝරාවක් නැත. මංගල්‍යයට පිටරට සිටින සිංහලයන්ට ආරාධනය කිරීමෙන් සිදුවන්නේ අප ඩයස්පෝරණුව පිළිගෙන තව තවත් එහි පිච්චීම පමණකි.

නලින් ද සිල්වා  


2015 ජූනි 21

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.