Breaking
5 Feb 2025, Wed

පසුගිය ජනාධිපතිවරණයේ දී ජ වි පෙ ආධාර කෙළේ මෛත්‍රිපාල සිරිසේනට ය. ඔවුන් ජාතික හෙළ උරුමය මෙන් සෘජුව වැඩ නොකළ බව ඇත්තකි. එහෙත් ජ වි පෙ වක්‍රව මෛත්‍රිපාලට ආධාර කෙළේ ය. ඒ එ ජා පක්‍ෂයට අනුර දිසානායකගේ හා තවත් අයගේ වූ හිතවත් කම නිසා ය. ජ වි පෙරමුණට අවශ්‍ය වූයේ ඊනියා මහින්ද රෙජිමය ගෙදර යැවීම ය. සෝමවංශ අමරසිංහ මෙන් අපි ජ වි පෙ එ ජා පක්‍ෂයෙන් මුදල් ගත්තේ යැයි නො කියමු. එසේ කීමට සෝමවංශට සාක්‍ෂි ඇතැයි සිතමු. ඒ කෙසේ වෙතත් ජ වි පෙ මෛත්‍රිපාලගේ ජයග්‍රහණය වෙනුවෙන් වැඩ කෙළේ ය.

ඔවුහු ඇතැම් මැතිවරණවල දී කියන උනුත් එකත් මුනුත් එකයි සටන් පාඨය මෙවර තාප්පවල ප්‍රදර්ශනය නො කළහ. ඒ මෛත්‍රිපාල හා මහින්ද එකම නොවන බව ඔවුන්ගේ විශ්වාසය වූ බැවිනි. ජ වි පෙ මහින්දට විරුද්ධ ව  එ ජා පක්‍ෂයේ දූෂණ හා වෙනත් චෝදනා ඉදිරිපත් කිරීමට පසුබට නො වී ය. ඔවුහු මෛත්‍රිපාල ගැන විශ්වාසය තැබූහ. ඔවුන්ට රටේ විශාල ඡන්ද ප්‍රමාණයක් නැති වුවත් දළ වශයෙන් ගත්කල ඡන්ද ලක්‍ෂ තුනක් පමණ වෙයි. ඒ ඡන්ද ලක්‍ෂ තුන එහා මෙහා වූයේ නම් ලක්‍ෂ දෙකකින් පමණ ජයග්‍රහණය කරන්නේ මහින්ද ය. යමකුට අවශ්‍ය නම් මෛත්‍රිපාල දිනුවේ ජ වි පෙ ඡන්දවලින් යැයි තර්ක කළ හැකි ය.

එහෙත් අද ජ වි පෙ මෛත්‍රිපාලගේ යහපාලනය ගැන සතුටක් නො දක්වයි. ජනතාව අද මෛත්‍රිපාල ගැන කළකිරී ඇත. මීළඟ මහා මැතිවරණයේ දී ජ වි පෙ තනිව තරග කරන   බවට කතා පැතිරෙයි. ජ වි පෙරමුණට අර ඡන්ද ලක්‍ෂ තුනවත් රැකගැනීමට අවශ්‍ය වෙයි. එසේ නොමැතිව ජ වි පෙරමුණට ජාතික ලැයිස්තුවෙන්වත් එක් මන්ත්‍රීවරයකුවත් පත් කර ගැනීමට නොහැකි වනු ඇත. 

එබැවින් ජ වි පෙ මෛත්‍රිපාලගේ ජයග්‍රහණයෙන් ඉවත් වීමට, පැන යෑමට උත්සාහ දරයි. එහෙත් එයට ඉඩ නොතැබිය යුතු ය. පික්පොකට් ආණ්ඩුවේ සියළු වැරදිවලට ජ වි පෙරමුණ ද වග කිව යුතු ය. ඔවුන්ට තම ඊනියා අපෝහක භෞතිකවාදී දෘෂ්ටි කෝණයෙන්වත් සිදුවන්නට යන්නේ කුමක් දැයි ජනවාරියට පෙර නො පෙනිිණි ද? අපේ ජාතිකවාදී දෘෂ්ටි කෝණයට නම් මේ සියල්ල පෙනිණි. බටහිර හා ඉන්දීය බලපෑම හමුවේ දෙමළ ජාතිවාදයට රට පාවාදීමේ සූදානම අපි හෙළිදරවු කෙළෙමු. යහපාලනය යනු ව්‍යාජ සටන් පාඨයක් බව ද අපි කීවෙමු. 

ජ වි පෙ ඡන්ද නොමැතිව වුව ද මහා මැතිවරණයේ දී ශ්‍රී ල නි ප ප්‍රමුඛ සංධානය ජයග්‍රහණය කරනු ඇත. ලක්‍ෂ 58 හා ලක්‍ෂ 62 වෙනස ගැන දන්නේ ලන්ඩන් විශ්වවිද්‍යාලයෙන් වෙන්ඩ උපාධියක් ලත් සජිත් ප්‍රේමදාස පමණක් නො වේ. (ලන්ඩන් විශ්වවිද්‍යාලයෙන් වෙන්ඩ උපාධි ද ප්‍රදානය කෙරෙයි. ඒ සහතිකයෙන් කියන්නේ උපාධි පරීක්‍ෂණයට පෙනී සිටියේ නම් උපාධිධාරියකු වෙන්න තිබූ බව ය!) අද වන විට ලක්‍ෂ 62 අඩු වී ඇති බවත් ලක්‍ෂ 58 වැඩි වී ඇති බවත් වෙන්ඩ උපාධිකාරයා නො දනියි.  එහෙත් අනෙක් බොහෝ දෙනා දනිති. ජ වි පෙ ඡන්ද ද ශ්‍රී ල නි පක්‍ෂයට ලැබුණහොත් මේ ජයග්‍රහණය තවත් ශක්තිමත් වනු ඇත. ඩිලාන් පෙරේර, තිස්ස විතාරණ, ඩිව් ගුණසේකර ආදීන් කුමක් කීවත් ජාතිකවාදී පදනමකින් ශ්‍රී ල නි පක්‍ෂය ප්‍රමුඛ සංධානය තරග කළහොත් තුනෙන් දෙකේ බහුතරයක් ලබා ගැනීම උගහට නො වේ.

මැතිවරණ ජයග්‍රහණය බලාගෙන නොව ප්‍රතිපත්තියක් ලෙස ජ වි පෙරමුණට මෛත්‍රිපාල ගැන වගකීමෙන් පැන යෑමට කිසිම ඉඩක් නොදිය යුතු ය. ඊනියා යහපාලනය ගැන ජ වි පෙරමුණ ද වග කිව යුතු ය. ලබන පාර්ලිමේන්තුවේ ජ වි පෙරමුණේ නියෝජනත්වයක් නොතිබුණ ද ජ වි පෙරමුණට ලංකා සමසමාජ පක්‍ෂයට මෙන් ම ආයුධ අතට ගැනීමේ හැකියාවක් නැති බව තිස්ස විතාරණට මතක් කළ යුතු ය.

නලින් ද සිල්වා


2015 ජූනි 19

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.