එක්සත් ජාතික පක්ෂය පසුගිය මහා මැතිවරණය සදහා වියදම් පියවා ගැනිමට එජාප අරමුදලට බිලියන ගණනක් බැරකරගත් අතර එම නිසාම සිරිසේන ඉවත්කල අර්ජුන් මහේන්ද්‍රන් අද රනිල්ගේ උපදේශකයෙකි…. අප එදා කළ අනාවරණයන් අද වඩාත් වටි……
පසුගිය පෙබරවාරි 27 ශ‍්‍රී ලංකා මහ බැංකුවේ පිළිනපත් නිකුතුව රට පුරා විශාල ආන්දෝලනයකට තුඩුදී ඇත. එම නිකුතුවේ නාමික වටිනාකම රුපියල් බිලියන 10කි. ආයුකාලය අවුරුදු 30කි. සාමාන්‍ය වාර්ෂික පොලී අනුපාතය 11.73%. එම පිළිනපත් අලෙවියේදී අක‍්‍රමිකතා සිදුවී ඇති බවට චෝදනා නැගී ඇත. මෙම ආන්දෝලනය අලූත් රජයේ යහ පාලනයට පහරකි. එම ගනුදෙනුවේ ඇතුල්පැත්ත විග‍්‍රහ කිරීම මෙම ලිපියේ ප‍්‍රධාන අරමුණ වෙයි.
පපෙචුඅල් ටේරෂරීස් (Perpetual Treasuries) නමැති පුද්ගලික මූල්‍ය තැරැුව්කාර ආයතනය මෙම චෝදනාවට මූලික වෙයි. ශ‍්‍රී ලංකා මහ බැංකුවේ නව අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතාගේ බෑනා වන අර්ජුන් ඇලෝසියස් මහතා මෙම සමාගමේ ප‍්‍රධාන කොටස් හිමියකු විය. මෙම පවුල් සම්බන්ධය නව මහ බැංකු අධිපතිගේ ගරුත්වය පිළිබඳ ප‍්‍රශ්නයක් මතු කර ඇත.
මෙම පිළිනපත් නිකුතුව පිළිබඳ අප තොරතුරු සහ දත්ත ලබාගෙන ඇත්තේ මහ බැංකුවේ සහ ප‍්‍රතිපත්ති සැලසුම් සහ ආර්ථික කටයුතු අමාත්‍යාංශයේ නිල ප‍්‍රකාශන සහ මාධ්‍ය වාර්තාවලිනි.
මෙම පිළිනපත් නිකුතුව සම්බන්ධයෙන් නැගෙන හෝ නැගිය හැකි චෝදනා සහ ප‍්‍රශ්න පහත සඳහන් ලෙස ගොනු කර දැක්විය හැක.
1. මහ බැංකුව මුලින් පිළිනපත් වෙළෙඳපොළින් ඉල්ලා සිටියේ රුපියල් බිලියන 1.0ක ණයකි. එහෙත් එසේ ඉල්ලා දින කිහිපයකට පසු පෙබරවාරි 27 වෙන්දේසියේදී මහ බැංකුව රුපියල් බිලියන 10.0 පිළිනපත් පිළිගත්තේය. මුලින් ඉල්ලූ ප‍්‍රමාණය මෙන් දස ගුණයක් ලබාගැනීමට හදීසියෙන් තීරණය කළේ ඇයිද යන ප‍්‍රශ්නය මතුවෙයි.
2. වඩා කෙටි කාලයකට ණය නොගෙන අවුරුදු 30 තරම් දීර්ඝ කාලයකට ණය ගැනීම අත්‍යවශ්‍යද නැතිද යන්න දෙවෙනි ප‍්‍රශ්නයයි.
3. මහ බැංකුව මෙම පිළිනපත් නිකුත් කරන බව ප‍්‍රකාශ කරන විට ඉඟි කළ පොලී අනුපාතයට වඩා ඉහළ පොලී අනුපාතයකට පිළිනපත් නිකුත් කිරීමෙන් රජයට අත්‍යවශයෙන් දැරිය නොයුතු පොලී බරක් භාරගැනීම තෙවැනි ප‍්‍රශ්නය වෙයි.
4. පිළිනපත් නිකුත්වීමට පෙරද නිකුත් කළ අවස්ථාවේදීද නිකුත් කළ පසුවද පපෙචුඅල් ටේරෂරීස් සමාගමේ ක‍්‍රියා කලාපය සලකා බලන විට එම සමාගමට වෙළෙඳපොළේ අනෙක් සමාගම්වලට නොතිබුණු දැනුමක් මෙම පිළිනපත් සම්බන්ධයෙන් තිබුණාදැයි සැක කිරීමට සාධාරණ හේතු ඇත.
අප ඉහත සඳහන් කරුණු හතර අනුපිළිවෙළින් විග‍්‍රහ කරමු. එහෙත් ඊට පෙර මෙම ගැටලූවට සම්බන්ධ ආර්ථික පසුබිම සහ රාමුව සැකෙවින් සලකා බැලීම ප‍්‍රයෝජනවත් වේ.
රාජ්‍ය මූල්‍යය
1950 සිට වර්ෂ 65 කාලයක් තුළ මෙරට වාර්ෂික සමස්ත දළ ජාතික වියදමෙන් රජයේ ප‍්‍රතිශතය 20% සහ 25% අතර වෙයි. එම කාලය තුළ 1954 සහ 1955 හැර සෙසු වර්ෂවලදී රජයේ අය වැය හිඟයක් තිබී ඇත. 2014 එම හිඟය රුපියල් බිලියන 552 (රජයේ සමස්ත වියදමෙන් 27.8%) වූ අතර 2015 එය රුපියල් බිලියන 499 (23.5%) වනු ඇතැ’යි ඇස්තමේන්තු කර තිබේ. මෙවර රජයේ සංවර්ධන වියදම රුපියල් බිලියන 520 වනු ඇත. අය වැය හිඟය පියවීමට රජය විදේශීය ණය රුපියල් බිලියන 251 සහ දේශීය ණය රුපියල් බිලියන 248 ලබාගැනීමට බලාපොරොත්තු වෙයි. දේශීය ණය රුපියල් බිලියන 70 බැංකුවලින්ද, ඉතිරි බිලියන 138 සේවක අර්ථසාධක අරමුදල් වැනි ඉතුරුම් ආයතනවලින්ද ලබාගැනීමට නියමිතය.
මහ බැංකුව
ලෝකයේ සියලූම මහ බැංකු මෙන්ම ශ‍්‍රී ලංකාවේ මහ බැංකුවේද ප‍්‍රධාන කාර්යය වනුයේ රටේ මුදල් ණය ක‍්‍රමය සහ උද්ධමනය පාලනය කිරීමයි. මහ බැංකුව නෝට්ටු සහ කාසි නිකුත් කිරීමේ අධිකාරිය වේ. මහ බැංකුව වාණිජ බැංකුවලට අවසාන ණය දෙන්නා ලෙස ක‍්‍රියා කරයි. එසේ දෙන ණය සඳහා අයකරන පොලිය මත සාමාන්‍යයෙන් වාණිජ බැංකු අයකරන පොලී අනුපාත රඳා පැවතේ.
ලෝකයේ සමහර රටවල සිදුවන පරිදි ලංකාවේ මහ බැංකුවද මහ භාණ්ඩාගාරය වෙනුවෙන් පොදු ණය පාලනයේ වගකීම භාරගෙන ඇත.
භාණ්ඩාගාර පිළිනපත්
ශ‍්‍රී ලංකා රජය අය වැය හිඟය පියවාගැනීමට දේශීය ණය ගැනීම දශක ගණනාවක් තුළ කර තිබේ. 1990 ගණන්වල මැද භාගය වන තුරු එසේ ණය ගත්තේ මාස 3, 6 සහ 12 භාණ්ඩාගාර බිල්පත් සහ ඊට වඩා ආයු කාලයක් ඇති දිගුකාලීන සුරැුකුම්පත් නිකුත් කිරීමෙන් සහ ණය ලබාගැනීමෙනි. වාණිජ බැංකු, ඉතිරි කිරීමේ බැංකු, සේවක අර්ථසාධක අරමුදල් සහ ෆිනෑන්ස් සමාගම් රජයට ණය සැපයූ ප‍්‍රධාන ආයතන අතර විය.
රජය දේශීය ණය ලබාගන්නා ක‍්‍රමයේ වැදගත් වෙනසක් 1997 මාර්තු මස සිදු විය. පෙර සිට තිබුණු මාස 3, 6 සහ 12 භාණ්ඩාගාර බිල්පත් ක‍්‍රමයට අමතරව අවුරුදු දෙක සිට අවුරුදු තිහ හෝ ඊටත් වැඩි කාලයකට නිකුත් කළ හැකි පිළිනපත් වෙන්දේසි ක‍්‍රමයක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ උපදෙස් පරිදි භාණ්ඩාගාරය හඳුන්වා දුනි. මෙහිදී සිදුවූ වැදගත් වෙනස පිළිනපත් අලෙවි කරන ආකාරයේ වෙනසයි. 1997ට පෙරද එවැනි ණයකර මිලට ගෙන පොලියක් උපයා ගැනීම බැංකු, වෙනත් ණය දෙන ආයතනවලට හෝ මහජනයාට ඉඩ තිබිණ. එහෙත් එයට තරගකාරී වෙළෙඳපොළක් නොවීය. මහ බැංකුව සහ ණය දෙන ආයතන කේවල් කර ගිවිසගන්නා පොලියක් මත රජය ණය ගැනීම පැරණි සිරිත විය.
1997 මාර්තු සිට රජයට ණය ලබාගැනීමට වෙන්දේසි ක‍්‍රමයක් හඳුන්වා දෙන ලදි. එම ක‍්‍රමය යටතේ මහ බැංකුව කලිින් නිවේදනයක් නිකුත් කරමින් රජයට අවශ්‍ය ණය ප‍්‍රමාණය, නිකුත් කිරීමට නියමිත භාණ්ඩාගාර පිළිනපත්වල ආයු කාලය සහ ගෙවීමට බලාපොරොත්තු වන පොලියද සඳහන් කරයි. එම නිවේදනය අනුව බලයලත් ණය සපයන තැරැුව්කාර සමාගම් තම තමන්ට සැපයිය හැකි ණය ප‍්‍රමාණ සහ ඉල්ලන පොලිය නියමිත දිනයේ සහ වේලාවේ පවත්වන වෙන්දේසියේදී මහ බැංකුවට ඉදිරිපත් කරයි. එවිට රජයට අවශ්‍ය ණය ප‍්‍රමාණය අඩුම පොලියට ලබා ගැනීමට මහ බැංකුව කටයුතු කරයි. අද එවැනි තැරැුව්කාර සමාගම් 16 මහ බැංකුව යටතේ ලියාපදිංචි වී සිටී.
ඉන් නවයක් වාණිජ බැංකු වන අතර හතක් පුද්ගලික සමාගම් වෙයි. පසුගිය පෙබරවාරි 27 සිදුවූ සැකකටයුතු ගනුදෙනුව කර තිබෙන බවට චෝදිත පපෙචුඅල් ටේරෂරීස් සමාගම එම හතෙන් එකකි.
ඉහත පසුබිම යටතේ අප මුලින් හඳුන්වා දුන් සැකකටයුතු ගනුදෙනුව පිළිබඳ ප‍්‍රශ්න දැන් සාකච්ඡා කළ හැක.
1) වෙන්දේසියේදී පිළිගත් ප‍්‍රමාණය
මහ බැංකුව මුලින් තීරණය කළේ පෙබරවාරි 27 රුපියල් බිලියන 1.0 වටිනා පිළිනපත් නිකුත් කර ණයක් ලබාගැනීමටය. පෙබරවාරි 26 මුදල් ඇමති, මහාමාර්ග, ආයෝජන ප‍්‍රවර්ධන සහ උසස් අධ්‍යාපන ඇමති, භාණ්ඩාර ලේකම් සහ මහා බැංකුවේ අධිපති රැුස්වී ආණ්ඩුවේ වියදම් සඳහා රුපියල් බිලියන 15 ඉතා ඉක්මනින් අවශ්‍ය බව තීරණය කළහ. එක්සත් ජාතික පක්‍ෂයේ සභාපති සහ සුප‍්‍රසිද්ධ ව්‍යාපාරික මලික් සමරවික‍්‍රම මහතාද මෙම රැුස්වීමට සහභාගිවී ඇත. එහෙත් රැුස්වීම පිළිබඳ නිල නිවේදනයේ ඔහුගේ නම සඳහන් නොවීය.
පෙබරවාරි 27 පිළිනපත් වෙන්දේසියට බොහෝ තැරැුව්කාර සමාගම් සූදානම් වී ඇත්තේ මහ බැංකුව ඉල්ලා සිටි රුපියල් බිලියන 1.0 සැපයීමටය. එහෙත් වෙන්දේසියේදී රුපියල් බිලියන 10 ණය ගැනීමට මහ බැංකුව සූදානම් බව ඔවුන්ට දැනගන්නට ලැබුණි. අංක 1 වගුවෙන් පෙන්වන පරිදි මීට පෙර අවුරුදු 30 ආයු කාලයක් ඇති පිළිනපත් නිකුත් කරනවිටද මහ බැංකුව මුලින් ඉල්ලා සිටි මුදලට වඩා වැඩි මුදලක් ණයට ගත් අවස්ථා තිබී ඇත. එහෙත් මුලින් ඉල්ලූ ප‍්‍රමාණය මෙන් දහ ගුණයක් ණය ගත් ප‍්‍රථම අවස්ථාව මෙය වෙයි.
වගුව 1: මැයි 2013 පෙබ 2015 ශ‍්‍රී ලංකාවේ අවුරුදු 30 භාණ්ඩාගාර පිළිනපත් නිකුතුව
2013 මැයි 30 සහ 2015 පෙබ 27 අතර මහ බැංකුව නිකුත් කළ අවුරුදු 30 ආයු කාලයක් ඇති භාණ්්ඩාගාර පිළිනපත් හයක විස්තර මෙම වගුවේ දැක්වේ. ඉන් හෙළිවන වැදගත් තොරතුරු පහත දැක්වේ.
1. එම හයෙන් මහ බැංකුව අළෙවි කිරීමට ප‍්‍රකාශිත අඩුම වටිනාකමක් ඇති පිළිනපත් නිකුතුව පෙබරවාරි 27 නිකුතුවයි.
2. මහ බැංකුව මුලින් ඉල්ලූ ණය මුදල මෙන් විසිගුණයකටත් වැඩි ප‍්‍රමාණයක් ණය සැපයීමට පෙබරවාරි 27 තැරැුව්කරුවන් සූදානම්ව සිටි බව තීරුව (4) පෙන්වයි. මීට පෙර වෙන්දේසිවල එම අනුපාතය දෙගුණයක් සහ හතර ගුණයක් අතර ප‍්‍රමාණයක් පමණක් විය.
3. තීරුව (6) පෙන්වන අයුරින් පෙබරවාරි 27 මහ බැංකුව මුලින් ඉල්ලූ ප‍්‍රමාණය මෙන් දස ගුණයක් ණය ගත්තේය. මීට පෙර අවස්ථා තුනක ඉල්ලූ ප‍්‍රමාණයට සමාන ප‍්‍රමාණයක් මහ බැංකුව පිළිගත්තේය. සෙසු අවස්ථා දෙකේදී පිළිගත් ප‍්‍රමාණය ඉල්ලූ ප‍්‍රමාණය ඉක්මවා ගියේ 50% සහ 10% පමණයි.
මහ බැංකුව මුලින් ඉල්ලා සිටි ණය ප‍්‍රමාණයට වැඩි ප‍්‍රමාණයක් පූර්ව දැන්වීමකින් තොරව හදිසියේ ලබාගැනීම තැරැුව්කරුවන් සහ මහ බැංකුව අතර විශ්වාසය පළුදුවීමට ඉඩ සලසයි. මහ බැංකුව වැඩිපුර ණය ගැනීමට සූදානම් බව අභ්‍යන්තර රහස් ආරංචි මාර්ගවලින් ඇතැම් තැරැුව්කරුවන් පමණක් දැනගෙන ඔවුන් ඊට සූදානම්ව වෙන්දේසියට පැමිණියොත් ඉන් සමහරෙකුට ලාභ ලැබෙන අතර අනෙක් අයට පාඩු ලැබෙනු ඇත. එසේම වඩා අඩු පොලියකට ණය ලබාගැනීමේ අවස්ථාවද නැතිවීමෙන් රජයද පාඩු විඳිනු ඇත.
මාර්තු 8 ‘සන්ඬේ ටයිම්ස්’ වාර්තාවකට අනුව පෙබරවාරි 27 මහ බැංකුව 9.5% සහ 12.5% අතර පොලියකට රුපියල් බිලියන 10.0 ණය ගැනීමට සූදානම් බව ප‍්‍රකාශ කළ විට 9.5% සහ 10.5% අතර පොලියකට රුපියල් බිලියන 1.0 පමණක් සැපයීමට සුදානම්ව සිටී. පිළිනපත් තැරැුව්කරුවන් අතර මහත් ආන්දෝලනයක් සිදුවී ඇත. සමහරුන් 11% සහ 12% අතර පොලියකට පිළිනපත් සැපයීමටවත් සූදානමක් නොවීය. පොලිය 12% ඉක්මවා ණයදීමට සූදානම්ව සිටියේ පපෙචුඅල් සමාගම සහ වෙනත් තරැුව්කරුවන් කිහිපයක් පමණක් බව වාර්තා වෙයි.
(i)රජයේ වියදම් පියවීමට රුපියල් බිලියන 10 ණයක් වහාම අවශ්‍ය බව පෙබරවාරි 26 වෙනිදා රජය තීරණය කළේ නම් එම පුවත පෙබරවාරි 27 රැුස්වීමට නියමිතව සිටි සියලූම පිළිනපත් තැරැුව්කාර සමාගම්වලට නොදැන්වූයේ ඇයි?
(ii)ජනවාරි අග රජය 2015 සඳහා සංශෝධිත අයවැයක් පාර්ලිමේන්තුවට ඉදරිපත් කළේය. එම සංශෝධනය කාර්යක්‍ෂමව ඉටුකළා නම් ඉදිරි මාසවල අය සහ වැය ප‍්‍රවාහ නිවැරදිව තක්සේරු කළ යුතුව තිබුණි. එසේ වීනම් ණය ගැනීම පිළිබඳව හදිසි තීරණ ගැනීම අවශ්‍ය නොවන අතර පිළිනපත් සඳහා ගෙවන පොලියද අවම කරගැනීමට ඉඩ තිබුණි. මෙම අකාර්යක්‍ෂමතාවට වගකිවයුත්තේ කවුද?
(iii)ප‍්‍රතිපත්ති සැලසුම් සහ ආර්ථික කටයුතු අමාත්‍යාංශය පහත සඳහන් නිවේදනය මාර්තු 6 නිකුත් කළේය. ‘රජයේ ආසන්න වියදම් සඳහා සහ අවසන් නොවූ ව්‍යාපෘති අවසන් කිරීම සඳහා අවශ්‍ය මුදල් 2015 මාර්තු මස භාණ්ඩාගාර පිළිනපත් නිකුත් කර ලබාගැනීමට අපේක්‍ෂා කරයි.’ තත්ත්වය එසේ වේනම්, පෙබරවාරි 27 12.5% පමණ දක්වා ඉහළ පොලියකට රුපියල් බිලියන 10 ණයක් ගන්නවා වෙනුවට මාර්තු මාසය තුළ පැතිරෙන අයුරින් අඩු ප‍්‍රමාණවලින් වඩා අඩු පොලියකට ණය ගැනීමට ඉඩ තිබුණ නමුත් එසේ නොකළේ ඇයි?
(iv) ඉන්දියාව ඇමරිකන් ඩොලර් බිලියන 1.5 (රුපියල් බිලියන 198) ණයක් සැපයීමට සූදානම්ව සිටින බව ආණ්ඩුවේ ජ්‍යෙෂ්ඨයින් පෙබරවාරි 27ට පෙර දැන සිටින්නට ඇත. එම ණය ලංකාවේ පොලී අනුපාත පහළ දැමීමට උපකාරීවීම අනිවාර්යය වෙයි. එවැනි තත්ත්වයක් යටතේ ඉහළ පොලියකට අවුරුදු 30ක ණයක් ගතයුත්තේ ඇයි?
2) පිළිනපත් නිකුත් කිරීමට ඇති අවශ්‍යතාව
ඉහළ පොලියකට අවුරුදු 30 පිළිනපත් නිකුත් කිරීමට තිබෙන අවශ්‍යතාව කුමක්ද? දිගුකාලීන පිළිනපත් නිකුත්කිරීම රජයට වාසිදායකවන්නේ පොලිය අඩු අවස්ථාවලදී පමණයි. මෙය එවැනි අවස්ථාවක් නොවීය.
රජයේ හදිසි වියදම් සඳහා 8% වැනි අඩු පොලියකට අවුරුද්දක ආයු කාලයක් ඇති භාණ්ඩාගාර බිල්පත් නිකුත් කරන්නට පුළුවන. ඒවා කල්පිරුණුවිට නැවතත් නිකුත් කළ හැක. රුපියල් බිලියන 10 ණයක් ගන්නාවිට පොලිය 1% වැඩිවූ විට අවුරුද්දකට ගෙවිය යුතු පොලිය රුපියල් මිලියන 100න් වැඩිවේ. පෙබරවාරි 27 11.73% සාමාන්‍ය පොලියකට ලබාගත් රුපියල් බිලියන 10 ණය සඳහා ලංකා ආණ්ඩුව ඉදිරි අවුරුදු අටහමාර අවසන් වනවිට රුපියල් බිලියන 10 පොලිය වශයෙන් ගෙවනු ඇත. වර්ෂ 30 අවසන් වන විට ණය ගත් මුදල මෙන් තුන් ගුණයකට වඩා මුදලක් පොලිය වශයෙන් පමණක් ගෙවනු ඇත.
3)පොලී අනුපාතය
අප මෙහිදී අවධානය යොමු කරන්නේ පෙබරවාරි 27 නිකුත් කළ පිළිනපත් සඳහා නියමිතවූ පොලිය පිළිබඳව පමණක් නොවේ. ඊට අමතරව මහ බැංකුව මාර්තු 2 ක‍්‍රියාත්මක වන පරිදි පෙබරවාරි 27 ප‍්‍රකාශ කළ මහ බැංකු නිල පොලී අනුපාතයේ වැදගත් වෙනසක් පිළිබඳවද අපි අවධානය යොමු කරමු.
වෙළෙඳපොළේ පොලී අනුපාතය, විශේෂයෙන්ම කෙටිකාලීන අනුපාත, අඩු හෝ වැඩිකිරීමට උපයෝග කර ගතහැකි නිල පොලී අනුපාත කිහිපයක් මහ බැංකුවේ පාලනය යටතේ තිබේ. ඉන් වැදගත්ම පොලී අනුපාතය වගුව 2, තෙවැනි තීරුවේ පෙන්වා තිබෙන මහ බැංකුවෙන් වාණිජ බැංකු ණය ගන්නා විට ගෙවිය යුතු පොලී අනුපාතයයිි. 2013 මැද එය 9.0% විය. එම වසරේ ඔක්තෝබර් මස එය 8.5%ට අඩු කළ අතර, 2014 ජනවාරි මස 8.0% දක්වා අඩු කෙරිණි. අද පැවතෙන්නේ ද එම අනුපාතයයි. වෙළෙඳපොළේ පොලී අනුපාතය අඩු කිරීමට මහ බැංකුවට උවමනා වූ බවට මෙය සාක්‍ෂි දරයි.
වෙළෙඳපොළේ පොලී අනුපාතයන් තවත් අඩු කිරීමට ඉඟි කරන පියවරක් 2014 සැප්තැම්බර් මස මහ බැංකු මූල්‍ය මණ්ඩලය විසින් ගනු ලැබීය. වාණිජ බැංකුවලට තිබෙන ‘අතිරික්ත’ මුදල් ශේෂ මහ බැංකුවේ ‘සම්මත තැන්පතු පහසුකම’ (Standard Deposit Facility)යටතේ තැන්පතුවක් වශයෙන් තබා පොලියක් උපයා ගැනීමට පුළුවන. එවැනි තැන්පතුවකට මහ බැංකුව එවකට ගෙවූ වාර්ෂික පොලිය 6.5% විය. 2014 සැප්තැම්බර් මස සිට මසකට ඕනෑම බැංකුවක් කරන මුල්ම තැන්පතු තුන සඳහා පමණක් 6.5% ගෙවීමටත්, ඉන් ඔබ්බට මසක් තුළ කරන අමතර තැන්පතුවලට 5.00% පමණක් ගෙවීමටත් මහ බැංකුව තීරණය කළේය. මෙම පියවර ගත්තේ වෙළෙඳපොළේ පොලී අනුපාත තවත් පහළ දැමීමේ අභිලාෂයෙනි.
2015 පෙබරවාරි 24 වෙනි අඟහරුවාදා මහ බැංකුව නිකුත් කළ මූල්‍ය ප‍්‍රතිපත්ති සමාලෝචනයට අනුව මූල්‍ය මණ්ඩලය මහ බැංකුවේ ප‍්‍රතිපත්ති පොලී අනුපාත වෙනස් නොකොට 2014 සැප්තැම්බර් මස සිට පැවති මට්ටම්වල තබා ගැනීමට තීරණය කර ඇත. ඉන් මහ බැංකුව පැහැදිලිවම ඉඟි කළේ අඩු පොලී ප‍්‍රතිපත්තිය වෙනස් නොකරන්නට තීරණය කළ බවයි.
2014 සැප්තැම්බර් මස හඳුන්වා දුන් 5.00% අඩු පොලී අනුපාතය මාර්තු 2 සඳුදා සිට අවලංගු කරන බවට මහ බැංකුව පෙබරවාරි 27 සිකුරාදා ප‍්‍රකාශ කළ බව වාර්තා වී තිබේ. ඒ අනුව වෙළෙඳ බැංකු මහ බැංකුවේ තැන්පත් කරන සියලූම මුදල්වලට 6.5% පොලියක් ගෙවන බව ගම්‍ය වේ. මෙය ඊට දින තුනකට පෙර පෙබරවාරි 24 මූල්‍ය ප‍්‍රතිපත්ති සමාලෝචනයට පටහැනි වෙයි. අප දැනට ස්ථිරවම දන්නේ මාර්තු 03 අඟහරුවාදා මහ බැංකුව නිල නිවේදනයක් නිකුත් කරමින් 5.00% අඩු පොලී අනුපාතය මාර්තු 02 සඳුදා සිට අහෝසි කළ බවයි.
මහ බැංකුව මෙම ප‍්‍රතිපත්ති සංශෝධනය විෂයෙහි අනුගමනය කර තිබෙන ක‍්‍රියා කලාපය වෘත්තීය මට්ටමෙන් නොමනා බවක් පෙනේ. එම අඩු පොලිය අහෝසි කළ විට වෙළෙඳ පොළේ පොලී අනුපාතය ඉහළයාමට ප‍්‍රවණතාවක් ඇතිවෙයි. එපමණක් නොව අතීතයේ නිකුත් කර තිබෙන පිළිනපත්වල වෙළෙඳපොළ මිල අඩුවීමටද ඉන් මග පාදයි. මක්නිසාදයත් පොලීී අනුපාතය සහ පිළිනපත්වල වෙළෙඳපොළ මිල අතර ප‍්‍රතිලෝම සම්බන්ධතාවක් තිබෙන බැවිනි.
එය මෙසේ පැහැදිලි කළ හැක. රජය 10% වාර්ෂික පොලියකට අවුරුදු 10ක ආයු කාලයක් ඇති භාණ්ඩාගාර පිළිනපත් අද දින විකිණීමට නියමිතයයි සිතමු. රුපියල් 100 මුහුණත වටිනාකමක් තිබෙන 5% වාර්ෂික පොලියක් ලැබෙන තව අවුරුදු 10කින් ආයු කාලය අවසන් වෙන පැරණි භාණ්ඩාගාර පිළිනපත් හතරක් ඔබ සතුව ඇතැයි සිතන්න. ඔබට එම පිළිනපත්වලින් දෙකක් විකුණා රුපියල් 200 මුදල් ලබාගැනීමට අවශ්‍යව තිබේ. රුපියල් 200 වියදම් කර පිළිනපත් මිලදී ගැනීමට කැමති කෙනෙකු ඔබට හමුවේ. ඔබ ඔහුට ඔබේ පිළිනපතකට රුපියල් 100 ඉල්ලූවොත් ඔහු එයට එකඟ නොවනු ඇත. හේතුව රුපියල් 100 ගෙවා 10% පොලියක් උපයන අලූත් පිළිනපතක් මිලදී ගන්නට ඔහුට විකල්පයක් ඇති බැවිනි. එම නිසා ඔබට කළහැක්කේ ඔබ ළඟ තිබෙන පිළිනපත් හතරින් එකක් රුපියල් 50 බැගින්, අලෙවි කිරීමය. එවිට මිලදී ගන්නාට ඔහුගේ රුපියල් 200ට රුපියල් 20 පොලියක්, එනම් 10% පොලී අනුපාතයක් අවුරුද්දකට වරක් ලැබෙනු ඇත. සිදුවී ඇත්තේ පොලී ඉහළ ගියවිට පරණ පිළිනපත්වල මිල අඩුවී අලූත් හෝ වේවා පරණ හෝ වේවා සියලූම පිළිනපත්වල ඵලදායිතාව 10% වීමයි. මෙසේ පොලිය අඩුවීම පිළිනපත් වෙළෙඳපොළේ අනිවාර්යයෙන් සිදුවෙයි. පෙබරවාරි 27 යම් අක‍්‍රමිකතාවක් සිදුවී නම් එය අවබෝධ කරගැනීමට මෙම සිද්ධාන්තය ඉතාම ප‍්‍රයෝජනවත් වේ.
මහ බැංකු පොලී අනුපාත වෙනස් නොකිරීමට තීරණය කළ බව පෙබරවාරි 24 මහ බැංකුව නිකුත් කළ මූල්‍ය ප‍්‍රතිපත්ති සමාලෝචනයේ නිල වශයෙන් සඳහන් වේ. එහෙත් ඊට දින තුනකට පසු පෙබරවාරි 27 මහ බැංකුව එය පාලනය කරන ඉතා වැදගත් පොලී අනුපාතයක් වෙනස් කරන බව ප‍්‍රකාශ කළේ ඇයි? එම ප‍්‍රකාශය රුපියල් බිලියන 10 පිළිනපත් වෙන්දේසියට පෙර කළේ නම් එය වෙළෙඳපොළ පොලී ඉහළ යන බවට අපේක්‍ෂාවක් ඇති කරයි. එම ප‍්‍රකාශය වෙන්දේසියෙන් පසු කළේ නම් එහි අරමුණ වෙන්දේසියේදී වඩා ඉහළ පොලියකට පිළිනපත් අලෙවි කිරීම සාධාරණීකරණය කිරීමට උපාය මාර්ගයක් යයි සිතීමට ඉඩ තිබේ. එම දෙකෙන් කවර එක ඇත්ත වුවත් එය සැක කටයුතු දෙයකි.
මහ බැංකුව පිළිනපත් අලෙවි කිරීමට සූදානම් බව නිවේදනය කරන විට මහ බැංකුව ගෙවීමට බලාපොරොත්තු වන පොලීී අනුපාතය සඳහන් කිරීමේ සිරිතක් තිබේ. රුපියල් බිලියන 1.0 නිකුතුවට මහ බැංකුව ගෙවීමට බලාපොරොත්තුවූවායැ’යි කියන පොලිය 9.5% සිට 10.5% දක්වා ප‍්‍රමාණයක් තුළ වූවායි මාධ්‍ය වාර්තාවල සඳහන් වේ. එය 9.5% අනුපාතයට වඩා බරවූවා යයි සමහර වාර්තා කියයි. මහ බැංකු නිල නිවේදනයකට අනුව වෙන්දේසියෙන් ලැබුණු ණය මුදලේ සාමාන්‍ය පොලී අනුපාතය 11.73%කි. මෙම පිළිනපත් නිකුත් කළ අවස්ථාවේදී වෙළෙඳපොළ පොලී අනුපාත පෙරට වඩා අඩුවෙන් තිබුණා පමණක් නොව එය තවදුරටත් පහත වැටෙන ප‍්‍රවණතාවක්ද දැක්වීය.
වගුව 2: 2013-2015 ශ‍්‍රී ලංකාවේ පොලී අනුපාත
(i)සම්මත ණය පහසුකම් අනුපාතය යනු මෙහි නිල නාමයයි. මෙම පොලී අනුපාතය ඔක්තෝබර් 2013 9.0% සිට 8.5% දක්වාද, 2014 ජනවාරි මස 8.0% දක්වාද අඩු කරනු ලැබීය.
(ii) ශ‍්‍රී ලංකා අන්තර්-බැංකු පොලී අනුපාතය මෙහි නිල නාමයයි. වගුවේ දක්වා ඇත්තේ මාස 12 පොලී අනුපාතයයි.
(iii) වාණිජ බැංකු ඉස්තරම් යයි සලකන ගනුදෙනුකරුවන්ට මාස හයකට ණය දෙන විට අය කරන පොලිය. මැයි 2013 සහ පෙබරවාරි 2015 අතර ශ‍්‍රී ලංකාවේ පැවති වැදගත් වූ පොලී අනුපාත කිහිපය 2 වගුවේ දැක්වේ. මෙම මාස 22 තුළ අවුරුදු 30 ආයු කාලයක් ඇති භාණ්ඩාගාර පිළිනපත් හය නිකුත් කළ මාස අංක (1) තීරුවේ දැක්වේ. රජය වෙළෙඳපොළෙන් ණය ගන්නාවිට ගෙවිය යුතු පොලී තීරණය වීම කෙරෙහි මෙම පොලී අනුපාත සැලකිය යුතු ලෙස බලපායි.
පාරිභෝගික මිල දර්ශකයෙන් දැක්වෙන වාර්ෂික උද්ධමන අනුපාතය අංක (2) තීරුවේ දැක්වේ. තීරු අංක (3), (4) සහ (5) දක්වෙන්නේ මෙරට ප‍්‍රධාන පෙළේ පොලී අනුපාතයන්ය. මහ බැංකුව වාණිජ බැංකුවලට ණය දෙන විට අයකරන පොලී අනුපාතය තීරු අංක (3) සඳහන් වෙයි. තීරු අංක (4) දැක්වෙන්නේ වාණිජ බැංකුවක් වෙනත් වාණිජ බැංකුවකට ණය දෙන විට අය කරන පොලියයි. වාණිජ බැංකු ඔවුන්ගෙන් ණයගන්නා ඉතාම විශ්වාසදායී ගනුදෙනුකරුවන්ගෙන් අය කරන පොලිය තීරු අංක (5) සටහන් කර තිබේ. මෙම වගුවෙන් වැදගත් කරුණු කිහිපයක් අනාවරණය වෙයි. හෙළිවන පළමු වැදගත් කරුණ ජුනි 2013 සිට පෙබරවාරි 2015 දක්වා ශ‍්‍රී ලංකාවේ උද්ධමන අනුපාතය අඩුවු බවයි. එම අනුපාතය 2013 මැද සිට 2014 මැද දක්වා 7.3% සිට 3.2% දක්වා 50% පමණ පහත වැටිණ. 2015 පෙබරවාරි වන විට එය 0.6% දක්වා අඩුවී ඇත. 2015 ජනවාරි මස නව රජය සමහර භාණ්ඩවල මිල අඩුකිරීමද මෙම පහළ වැටීමට බලපාන්නට ඇත.
ණයක මිල පොලියයි. එම නිසා වෙනත් භාණ්ඩවල මිල අඩුවනවිට පොලිය අඩුවීම තාර්කික සිදුවීමකි. උද්ධමනය අඩුවන විට පොලී අනුපාත අඩුවීම වෙළෙඳපොළ ආර්ථිකයක අනිවාර්යයෙන්ම සිදුවේ. උද්ධමනය ගමන් කරන දිශාව සහ ණය වෙළෙඳපොළේ පොලී අනුපාත ගමන් කරන දිශාව අතර තිබෙන මෙම සම්බන්ධතාව 2013 මැද සිට ශ‍්‍රී ලංකා ආර්ථිකයේ දෘශ්‍යමාන විය. වාණිජ බැංකු ඔවුන්ගේ ඉතාම විශ්වසනීය ණයකරුවන්ගෙන් අය කරන පොලිය මැයි 2013 13.89% සිට 2015 පෙබරවාරි මස 6.5% දක්වා අඩුවීම එක උදාහරණයකි (වගුව 2, තීරුව (5). බැංකුවක් තවත් බැංකුවකින් ණය ගන්නාවිට ගෙවන පොලිය 12.97% සිට 7.24% දක්වා අඩුවීම තව උදාහරණයකි (තීරුව 4).
පසුගිය සතියේ පළවූ 1 වගුවේ තීරුව (7) එක් එක් නිකුතුව සඳහා නියමිතවූ සාමාන්‍ය පොලී අනුපාතය පෙන්වයි. මෙම පොලිය ගණන් බලා ඇත්තේ රජයට පොලී ආදායමෙන් ගෙවන බද්ද ඉවත් කළ පසුවයි. එනම් සුද්ද පොලී අනුපාතයයි.
පෙබරවාරි 27 මහ බැංකුව තැරැුව්කාර සමාගම්වලින් පිළිගත් පිළිනපත් ප‍්‍රමාණයන් විශ්ලේෂණය කිරීමේදී පහත සඳහන් කරුණු හෙළිවේ.
1. බදු අඩුකළ පසු සාමාන්‍ය පොළී අනුපාතය 11.73% බව මහ බැංකුව වාර්තා කරයි. (සාමාන්‍ය පොලීඅනුපාතය 11.5% බව ප‍්‍රතිපත්ති සැලසුම් සහ ආර්ථික කටයුතු අමාත්‍යාංශය මාර්තු 6 නිකුත් කළ නිවේදනය සඳහන් කළ බව අප සිහිපත් කළ යුතුයි.) පෙබරවාරි 27 වෙන්දේසියේදී මහ බැංකුව පිළිගත් ඉල්ලූම්පත් සමුහයෙන් අඩුම පොලිය, එනම් 9.35% ගෙවනු ලැබුවේ රුපියල් මිලියන 8.0 සඳහා ලංකා බැංකුව ඉදිරිපත් කළ ඉල්ලූම්පතකටය. එසේම පිළිගත් ඉල්ලූම්පත්වලින් වැඩිම පොලිය වූ 12.5% ලැබුණේද රුපියල් බිලියන 3.0 සඳහා එම බැංකුව ඉදිරිපත් කළ ඉල්ලූම්පතකටය.
2. මහ බැංකුව මුලින් ඉල්ලා සිටි රුපියල් බිලියන 1.0 පමණක් මහ බැංකුව ලබාගත්තේ නම් එම ණය 10.5% තරමක් අඩු පොලියකට ලබාගැනීමට අවස්ථාව තිබුණි.
3. මහ බැංකුව රුපියල් බිලියන 3.26 පමණක්, එනම් මුලින් ඉල්ලූ ප‍්‍රමාණය මෙන් තුන් ගුණයකට තරමක් වැඩි ප‍්‍රමාණයක් ලබාගත්තේ නම්, 10.82% සාමාන්‍ය පොලී අනුපාතයකට එම ණය ලබාගැනීමටද අවකාශ තිබිණ.
4. රුපියල් බිලියන 5.6 ණයක් පමණක් ගත්තේ නම් සාමාන්‍ය පොලී අනුපාතය 11.14% පමණක් වනු ඇත.
5. පපෙචුඅල් ටේරෂරීස් සමාගම ඉදිරිපත් කළ රුපියල් බිලියන 2.0 මුළු වටිනාකමින් ඇති ඉල්ලූම්පත් හතරක් – රුපියල් මිලියන 250 (11.5%), රුපියල් මිලියන 250 (11.75%) රුපියල් මිලියන 500 (11.99%) සහ රුපියල් මිලියන 1,000 (12.25%) – පෙබරවාරි 27 මහ බැංකුව පිළිගත්තේය. ඊට අමතරව ලංකා බැංකුව ඉදිරිපත් කළ රුපියල් බිලියන 3.0 ඉල්ලූම්පත් පපෙචුඅල් සමාගම වෙනුවෙන් ඉදිරිපත් කළ බව පුවත්පත් වාර්තා කිහිපයකම සඳහන් වී තිබේ. මෙම රුපියල් බිලියන 5.0 එදින ගත් රුපියල් බිලියන 10 ණය අතුරින් ඉහළම පොලී අනුපාතයන් ගෙවූ පිළිගත් ඉල්ලූම්පත් ගණයට වැටෙයි.
11.5% හෝ ඊට වැඩි පොලියක් සහිතව මහ බැංකුව පිළිගත් ඉල්ලුම්පත්වලින් 73.5%ම පපෙචුඅල් ටේරෂරීස් සමාගම සහ ලංකා බැංකුව ඉදිරිපත් කළ ඉල්ලූම් පත් විය.
ඉහත අංක (2) සහ අංක (3) දක්වන තත්වයන් යටතේ පපෙචුඅල් සමාගමේ එකම ඉල්ලූම්පතක්වත් මහ බැංකුව පිළිගත් ඒවා අතරට නොවැටෙනු ඇත.
පෙබරවාරි 27 රුපියල් බිලියන 10 පිළිනපත් නිකුතුව නිසා පොලිය වැඩිවී රජයට පාඩුවක් සිදුවූ බවට චෝදනාවක් නැගී තිබේ. එම චෝදනාව නිවැරදි බව කිව හැක. මහ බැංකුව මුලින් ඉල්ලා සිටි රුපියල් බිලියන 1.0 පමණක් ණයට ගත්තේනම් පොලිය 10.5% ටත් වඩා අඩු වනු ඇත. රුපියල් බිලියන 10ක් ලබාගැනීමෙන් පොලිය 11.73% දක්වා ඉහළ ගියේය. පෙබරවාරි 27 ගත් ණය සඳහා ගෙවූ සාමාන්‍ය පොලී අනුපාතයවු 11.73% ඊට පෙර මැයි 2014 නිකුත් කළ 30 අවුරුදු පිළිනපත් සඳහා ගෙවු 11.75% පොලියට සමාන බව අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී ප‍්‍රකාශ කරමින් පෙබරවාරි මස ගෙවූ පොලිය සාධාරණීකරණය කිරීමට උත්සාහ කළේය. හේතු දෙකක් නිසා අගමැතිවරයාගේ තර්කය සාවද්‍ය වෙයි. 2014 මැයි මස වෙළෙඳපොළේ පොලී අනුපාත 2015 පෙබරවාරි මස අනුපාතවලට වඩා 20% සහ 30% අතර මට්ටමකින් ඉහළ තිබුණි. දෙවනුව, 2014 මැයි මස ණයට ගත්තේ රුපියල් බිලියන 2.0 පමණි. පසුගිය පෙබරවාරි මස රුපියල් බිලියන 2.0 පමණයක් ණයට ගත්තේ නම් පොලිය 11.00% වඩා අඩු වනු ඇත.
4) පපෙචුඅල් ටේරෂරීස් සමාගමට විරුද්ධව නැගෙන චෝදනා
1. පෙබරවාරි 27 පිළිනපත් නිකුතුව පිළිබඳව වෙනත් තැරැුව්කාර සමාගම්වලට නොතිබුණු තොරතුරු පපෙචුඅල් සමාගමට ලැබී තිබුණු බවට සැකයක් ඇත. එම තොරතුරු භාවිත කරමින් රුපියල් බිලියන 10ක පිළිනපත් වෙන්දේසියකට සූදානම්ව සිටි බවද ලංකා බැංකුව මගින් තවත් රුපියල් බිලියන 3 ඉල්ලූමක් කිරීමට සකසා තිබුණු බවද වාර්තා වෙයි.
2. පපෙචුඅල් සමාගමේ ඉල්ලූම් වඩා ඉහළ පොලියට සකස් කර තිබුණි. මහ බැංකුව අලෙවි කරන්නට සූදානම් බව දැනුම් දී තිබුණේ රුපියල් බිලියන 1.0 පිළිනපත් පමණයි. එසේ වී නම් ඉහළ පොලියට පිළිනපත් ඉල්ලීම නිෂ්ඵල වෑයමකි. එහෙත් මහ බැංකුව රුපියල් බිලියන 1.0ට වඩා විශාල ප‍්‍රමාණයක් අලෙවි කරන බව පපෙචුඅල් ටේරෂරීස් සමාගම දැන සිටියේ නම් ඉහළ පොලියට ඉල්ලීම තර්කානුකූලය.
3. පෙබවරවාරි 26 පපෙචුඅල් සමාගම පිළිනපත් විශාල ප‍්‍රමාණයක් අලෙවි කළ බවට විශ්වාස කරනු ලැබේ. එදින පිළිනපත් වෙළෙඳපොළ සිතාගෙන සිටියේ මහ බැංකු පොලීවල වෙනසක් සිදු නොවන බවයි. එහෙත් නොබෝ දිනකින් වෙනසක් වන බව දැන සිටියා නම් පිළිනපත් වහා අලෙවි කිරීමෙන් විශාල ලාභයක් ලැබිය හැක. මක්නිසාද යත්, අප ඉහත කී පරිදි පොලිය ඉහළ යන විට පිළිනපත්වල වෙළෙඳපොළ මිල පහත වැටෙන බැවිනි. මහ බැංකුව 5.00% අඩු පොලිය අහෝසි කළ බව පෙබරවාරි 27 නිවේදනය කළ විට වෙළෙඳපොළේ පොලී අනුපාත ඉහළ යාම සහ පිළිනපත් මිල අඩුවීම ස්වාභාවිකය.
4. පිළිනපත් මිල අඩුවූ පසු මාර්තු 2 සඳුදා ආරම්භවූ සතියේ පපෙචුඅල් සමාගම නැවතත් පිළිනපත් මිලදී ගැනීමෙන් විශාල ලාභයක් ලබා ගත් බවටද චෝදනා ඇත.
පරීක්‍ෂණය
ඉහත විග‍්‍රහය මගින් හෙළිවන තොරතුරු අනුව මෙම සිද්ධිය පිළිබඳව කරන පරීක්‍ෂණයේදී පහත සඳහන් කරුණු සොයා බැලිය යුතු වෙයි.
1. පෙබරවාරි 26 පැවති ඉහළ මට්ටමේ ඇමති/නිලධාරී රැස්වීමේදී රජයට වැඩිපුර මුදල් අවශ්‍ය බව ස්ථිර කළ බව හෙළිවී ඇත. ඒ අනුව රුපියල් බිලියන 10 පිළිනපත් අලෙවි කිරීමට යමෙකු මහ බැංකු අධිපතිට නියෝගයක් කළාද? එසේ නම් කවදාද?
2 :(i) 2015 පෙබරවාරි 24 මහ බැංකුව නිකුත් කළ මූල්‍ය ප‍්‍රතිපත්ති සමාලෝචනයෙන් ප‍්‍රකාශ කළ පොලී අනුපාත හදිසියෙන් පෙබරවාරි 27 වෙනස් කළේ ඇයි?
(ii) එම පොලී අනුපාතය වෙනස්කිරීමේ ප‍්‍රකාශය පෙබරවාරි 27 කළේ රුපියල් බිලියන 10 පිළිනපත් වෙන්දේසිය පැවැත්වීමට පෙරද, එසේත් නැත්නම් පසුවද? මෙම ප‍්‍රශ්නයට ලැබෙන පිළිතුර පිළිනපත් වෙළෙඳපොළට බලපාන ආකාරය අප ඉහත පෙන්වාදී ඇත.
(iii)මෙම තීරණය ගත්තේ කව්ද, කවර දිනද, එසේ ගැනීමට හේතුව කුමක්ද, එම තීරණය ප‍්‍රකාශ කළේ කව්ද, කවර දිනද, කුමන වේලාවේද, කුමන ස්ථානයේද යනාදී ප‍්‍රශ්න රාශියද මෙම තීරණය ගැනීමේදී මහ බැංකු මූල්‍ය මණ්ඩලයේ ක‍්‍රියා පටිපාටිය කුමක් වූයේදැයි පරීක්‍ෂා කළ යුතු වේ.
3) පෙබරවාරි 27 වෙන්දේසිය විෂයෙහි සොයා බැලිය යුතු කරුණු:
(i)පෙබරවාරි 27 වෙනිදා සිට සුදානම්වෙමින් සිටි තැරැුව්කාර සමාගම්වලට වෙන්දේසියේ වටිනාකම රුපියල් බිලියන 1.0 සිට 10.0 දක්වා ඉහළ දමන බව දන්වා නොසිටියේ ඇයි?
(ii)සියලූම තැරැුව්කාර සමාගම් ඉදිරිපත් කළ සියලූම ඉල්ලූම්පත් තියුණු පරීක්‍ෂණයකට ලක් කළ යුතුයි. බොහෝ සමාගම් රුපියල් බිලියන 1.0 ඉල්ලූමකට සූදානම් වී සිටි අවස්ථාවේදී එක සමාගමක් හෝ අතළොස්සක් පමණක් විශාල ඉල්ලූමකට සූදානම්ව වෙන්දේසියට පැමිණියේ නම් එය සැකකටයුතු වෙයි. එවිට ඔවුන් එසේ සූදානම් වීමේ පදනම පරීක්‍ෂා කළ යුතුයි.
4) පෙබරවාරි 27ට පෙර දින කිහිපයේ සහ පසු දින කිහිපයේ සියලූම තැරැුව්කාර සමාගම් පිළිනපත් වෙළෙඳපොළේ කළ සියලූම ගනුදෙනු ඉතා සැලකිල්ලෙන් පරීක්‍ෂා කළ යුතුයි. යම් සමාගමකට වෙනත් සමාගම්වලට නොතිබුණු රහස් තොරතුරු තිබුණාදැයි හෙළිකර ගැනීමට එවැනි පරීක්‍ෂණයක් අත්‍යවශ්‍ය වේ. මක්නිසාදයත් එවැනි රහස් තොරතුරු දැනගෙන සිටිය සමාගමක් හෝ සමාගම් සෙසු සමාගම් වෙළෙඳපොළේ හැසුරුණු ආකාරයට වෙනස් අයුරින් හැසිරීමට ඉඩ ඇති බැවිනි.
පිළිනපත් වෙළෙඳපොළ් යම් සමාගමකට රහස් තොරතුරු ලැබී තිබෙන බවට අනෙක් සමාගම් සැක කළහොත් සිදුවන්නේ එසේ තොරතුරු ලබා ඇති බවට සැක කරන සමාගම අනුකරණය කරමින් අනෙක් සමහර සමාගම් පිළිනපත් අලෙවිය සහ මිලදී ගැනීම කිරීමයි. එම නිසා විකිණීම හෝ මිලට ගැනීම ආරම්භ කළේ කවරෙකු විසින්දැයි ප‍්‍රවේශමෙන් විමසා බැලිය යුතුයි.
ඉහත සඳහන් කරුණු සාක්‍ෂි මත පරීක්‍ෂා කළ යුතුවෙයි එසේම එම පරීක්‍ෂණය විවෘත පරීක්‍ෂණයක් විය යුතුයි. රහස් පරීක්‍ෂණ ඇත්ත යටපත් කිරීමට විනා ඇත්ත එළිදැක්වීමට කරන පරීක්‍ෂණයක් නොවනු ඇත. මෙය මෙරට ජනතාව ගන්නා ණය සහ ආපසු ගෙවන ණය පිළිබඳ පරීක්‍ෂණයකි. පුද්ගලික ණය පිළිබඳ පරීක්‍ෂණයක් නොවේ. එම නිසා ඇත්ත නැත්ත දැනගැනීමට ජනතාවට පරම අයිතියක් මෙන්ම යුතුකමක් ඇත.
නිගමනය
මෙරට ඡන්දදායකයින්ගෙන් බහුතරය ජනවාරි 8 මෛත‍්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති ලෙස තෝරා පත්කරගත්තේ යහපාලනය අපේක්‍ෂාවෙනි. අප මෙම ලිපියෙන් විග‍්‍රහ කළ භාණ්ඩාගාර පිළිනපත් සිද්ධියෙන් ජනතාව අතර යහපාලනය පිළිබඳ ප‍්‍රශ්නයක් ඇතිවී තිබේ. පිළිනපත් ගනුදෙනුවේදී වංචාවක් සිදු වීදැයි සොයා බැලීම විශේෂයෙන් ජනාධිපති සිරිසේන මහතාගේ පරම යුතුකමකි.
සාර්ථක බැංකු ක‍්‍රමයක මූලික කොන්දේසිය විශ්වාසයයි. මෙම සිද්ධිය නිසා මහ බැංකුවේ නව අධිපති කෙරෙහි තිබෙන විශ්වාසය දෙදරා ගොස් ඇත.
අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා පත්කර තිබෙන පරීක්‍ෂණ කමිටුවට මෙම විෂය පිළිබඳ දැනුමක් හෝ අත්දැකීමක් නැත. එපමණක් නොව එහි සාමාජිකයින් තිදෙනා එක්සත් ජාතික පක්‍ෂයට සම්බන්ධ නම් එය හොරාගේ අම්මාගෙන් පේන ඇසීමට සමාන වැඩකි. මෙම විෂය පිළිබඳ හොඳ දැනුමක් ඇති කමිටුවක් පත් කිරීම යහපාලනයට යහපතක්ම වනු ඇත.
මහ බැංකුවේ අඩුපාඩු සහ දුර්වලතාත්, මෙවැනි ණය වෙළෙඳපොළක් පවත්වාගෙන යාමේදී එය පාලනය කිරීමට අවශ්‍ය නීති රීතිවල අඩුපාඩුත් මෙම සිද්ධියෙන් අනාවරණය වී තිබේ. ඒවාට පිළියම් යෙදීමද රජයේ වගකීමකි.
මෙරට මුල් බැසගෙන තිබෙන දූෂණය එක මැතිවරණ ප‍්‍රතිඵලයකින් අහෝසි නොවන බවට මෙම සිද්ධිය කදිම සාක්‍ෂියකි. අලූත් ආණ්ඩුව දැන් පරණ පුරුදුවලට ඇබ්බැහි වන සලකුණු දිනින් දින වැඩි වැඩියෙන් පෙනේ. රුපියල් බිලියන 10 පිළිනපත් සිද්ධිය එයට මනා නිදසුනකි. එය මීට පෙර මෙරට පැවතුණායැයි කියන දූෂිත දේශපාලන සංස්කෘතිය ආපසු මුල්බැස ගැනීමේ පෙරනිමිත්තක්දැයි ජනතාව අතර සාධාරණ සැකයක් මතුවී ඇත.