Breaking
23 Feb 2025, Sun

පසුගිය දා සංධානයේ නායකයන් කිහිප දෙනකු පුවත්පත් සාකච්ඡාක් හෙවත් මාධ්‍ය සංදර්ෂනයක් පවත්වා කියා ඇත්තේ රනිල් වික්‍රමසිංහට එරෙහිව ගෙනැවිත් ඇති විශ්වාසභංග යෝජනාව සම්මත වීමෙන් පසු මෛත්‍රිපාල සිරිසේන පාර්ලිමේන්තුව විසුරුවා නොහැර සංධානයේ ආණ්ඩුවක් පිහිටුවිය යුතු බව ය.
ජීවිතයේ කිසි දිනෙක නඩුවකට කතාකර නැති නීතිය පිළිබඳ මහාචාර්යවරයකු වූ ජී එල් පීරිස් සුපුරුදු පරිදි හිස් වාග් චාතුර්යයක් ප්‍රදර්ශනය කරමින් කියා ඇත්තේ විසුරුවා හැරීම ප්‍රථම නොව අවසාන විකල්පය බව ය. 

සංධානයේ ආණ්ඩුවක් පිහිටුවීම නරක අදහසක් නො වේ. ටික කලකට පෙර මම ද මේ විකල්පය ගැන සඳහන් කෙළෙමි.   එය මෛත්‍රිපාලට විකල්පයක් නමින් කාලයෙහි පළ කෙළෙමි. එහෙත් ප්‍රශ්නය මෛත්‍රිපාලට ඒ විකල්පය ක්‍රියාත්මක කළ හැකි ද යන්න ය. මෛත්‍රිපාලට විකල්පයක් නැත යනුවෙන් මම එයට පිළිතුරක් ද දුනිමි. එහෙත් සංධානයේ නායකයන්ට අනුව මගේ විග්‍රහයන් ඩලස් අලහප්පෙරුමගේ කඹුරුපිටියේ ගැමියාගේ විග්‍රහයන් තරමටවත් ගණන් ගත යුතු නො වේ. 

ප්‍රසිද්ධියේ නොකීවාට මේ නායකයන්ට ද මා බටහිර දේශපාලන විද්‍යාව ද ඇතුළු බටහිර විද්‍යාව පට්ටපල් බොරු යැයි කීම දිරවාගත නො හැකි ය. ඔවුන්ට ද වඩා වැදගත් වන්නේ ටයි පටි පළඳින සුද්දන් අනුකරණය කරමින් මහා දවල් ලංකාවේ ද කබා අඳින පඬියන්ගේ ඊනියා දේශපාලන විග්‍රහ ය. ජෙනීවාහි අප අමාරුවට පත්කරන ලද්දේ මේ තකතීරු දේශපාලන විචාරකයන් විසින් බව සංධානයේ නායකයන්ට අමතක වෙයි. මේ විචාරකයෝ අද ඇතැම් ශ්‍රී ල නි ප මන්ත්‍රීවරුන් අඳින ජාතික ඇඳුම ගලවා ඔවුනට කලිසම් කබා ඇන්දවීමට උත්සාහ ගනිති!

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට හෝ නොහැරීමට හෝ බලය ඇත්තේ මෛත්‍රිපාලට ය. ඔහු බලයට පත්කරනු ලැබුයේ ඊනියා සාධාරණය සමාජය සඳහා සෝභිත හිමියන් සමග එකතු වූ සංවිධාන හතළිස් ගණනක් විසින් නො වේ. පසුගිය දා මෛත්‍රිපාල හමු වූ මේ සංවිධානවල නියෝජිතයන්ගේ සංඛ්‍යාව හතළිහකට අඩු වූ බව රූපවාහිනියෙන් දැකගත හැකි විය. ඔවුන් සමහරකු එදින පැමිණ නොසිටින්නට ඇත.

මෛත්‍රිපාලට ලංකාවේ ඡන්දදායකයන් ඡන්දය දුන් නමුත් ඔහු ඊනියා පොදු අපේක්‍ෂකයා බවට පත්කරන ලද්දේ බටහිරයන් හා ඉන්දීයයන් විසිනි. ඔවුන් මෛත්‍රිපාලට කොන්ත්‍රාත්තුවක් භාර දී ඇත. ඒ කොන්ත්‍රාත්තවේ ජෙනීවා හි ක්‍රියාකරන ආකාරය ඇත. එහි දෙමළ ජාතිවාදයට ගෙවිය යුතු කප්පන් සඳහන් වී ඇත. රනිල්ට විධායක බලතල ලබා දීම ගැන ද තවත් කරණු ද කොන්ත්‍රාත්තුවෙහි සඳහන් වෙයි. එහෙත් එහි සංධාන ආණ්ඩුවක් පිහිටුවීම ගැන සඳහන් නො වේ. 

මෛත්‍රිපාලට ඒ එකඟතාවෙන් හෙවත් කොන්ත්‍රත්තුවෙන් පිට වැඩකළ හැකි ය. එහෙත් එවිට බටහිරයන් මෛත්‍රිපාල දේශපාලනයෙන් සදහට ම අයින් කිරීමට කටයුතු කරනු ඇත. මෛත්‍රිපාල එවැනි අවදානමක් ගනී ද? ඔහුට ඒ සඳහා අවශ්‍ය ශක්තිය හා කැපවීම තිබේ ද? මෛත්‍රිපාල සංධාන ආණ්ඩුවක් පිහිටුවහොත් ඒ ආණ්ඩුවට මෛත්‍රිපාල ආරක්‍ෂා කළ හැකි ද? ඔවුනට ඒ සඳහා වැඩ පිළිවෙළක් තිබේ ද?

එයටත් වඩා විශ්වාසභංග යෝජනාව විවාදයට ගැනීමට රනිල් හා සද්ධාචමල් ඉඩ දේ ද? එහි දී බටහිරයන්ගේ හා ඉන්දීයයන්ගේ බලපෑම් කෙසේ විය හැකි ද? සංධානයේ ඊනියා විශ්ලේෂකයන් එවැනි ප්‍රශ්න සලකාබලා ඇත් ද? සිහින දැකීම හොඳ ය. එහෙත් සිහිනවල ජීවත්විය නො හැකි ය.

නලින් ද සිල්වා

2015 ජූනි 07

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.