Breaking
6 Feb 2025, Thu

සිංහලයන්ට හුස්ම ගැනීමට තවත් කාලයක් ඉතිරි වී ඇත. මෛත්‍රිපාල මහින්ද හමුව සිංහල විරෝධීන්ට සාර්ථක ප්‍රතිඵල ගෙන දීමට සමත් වී නැත. මීළඟ සාකච්ඡාවක් ගැන තීරණයක් ද නැත. යම් හෙයකින් සාකච්ඡා “සාර්ථක” වී නම් එය සිංහලයන්ගේ යුගයක අවසානය වීමට ඉඩ තිබිණි. එහෙත් ඒ එසේ නො වී ය. මහින්දට සුළු දෙයක්වත් දීමට මෛත්‍රිපාල සිරිසේනට නො හැකි ය. අඩුම තරමෙන් පළාත් පාලන ආයතන විසුරුවා හැරීම කල්දැමීමටවත් මෛත්‍රිපාලට නො හැකි ය. මහින්ද සංධානයේ අගමැති අපේක්‍ෂකයා බවට මෛත්‍රිපාල විසින් පත්කරනු ලැබීම කාගේ දෝ දවල් හීනයක් පමණකි.

මහින්ද සාකච්ඡා කරා ගෙන ගියේ කවු ද? අප මේ ප්‍රශ්නය අසන්නේ පසුගිය සති කිහිපයේ දේශපාලනය රටට අහිතකර දිශාවකට ගමන් කළ බැවිනි. දහනවවැනි සංශෝධනය පරාජය කිරීමට ශ්‍රී ල නි පක්‍ෂය හා සංධානය උත්සාහයක් නොගත්තේ ය. අප කිහිප වතාවක් ම පැවසුයේ ඊනියා සංශෝධනවලට මුවා වී ශ්‍රී ල නි ප හා සංධානය දහනවයට පක්‍ෂ වූ බව ය. දැන් එය රටේ ඉහළ ම නීතිය වෙයි. මහින්ද රාජපක්‍ෂ පිලිප් ගුණවර්ධන පිටියේ මෛත්‍රිපාලගේ ප්‍රධානත්වයෙන් පැවති මැයි දින රැළියට ද සුබ පැතුම් පණිවුඩයක් යැවී ය. මහින්ද කණ්ඩායම එතැනට තල්ලු කළෝ කවරහු ද? 

මහින්ද රාජපක්‍ෂ පසුගිය සති කිහිපයෙහි තමන්ට උපදෙස් දුන් අය ගැන නැවත සිතා බැලිය යුතු ය. ඒ සියළු උපදෙස් මහින්ද හා සිංහලයන් දුර්වල කිරීමට දුන් ඒවා බව පැහැදිලි ය. කෙසේ නමුත් මෛත්‍රිපාල එදාට වඩා අද ශක්තිමත් ය. රනිල් මෛත්‍රිපාලට වඩා ශක්තිමත් ය. දහනවයෙන් පසු මහින්ද රාජපක්‍ෂට නැවත වරක් ජනාධිපති විය නො හැකි ය. එසේ වීමට නම් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව නැවතත් සංශෝධනය කළ යුතු ය. එහෙත් නුදුරු අනාගතයේ දී එසේ සංශෝධනය කිරීමට තුනෙන් දෙකේ බහුතර ඡන්දයක් කිසිවකුටවත් ලැබේ යැයි සිතිය නො හැකි ය. තවමත් විධායක බලතල රාශියක් ඇත්තේ ජනාධිපතිට වුවත් රනිල්ට මෛත්‍රිපාල මෙහෙයවිය හැක්කේ බටහිරයන් මෛත්‍රිපාලට වඩා රනිල් විශ්වාස කරන බැවිනි. බටහිරයන් එසේ විශ්වාස කරන බව මෛත්‍රිපාල ද සංධාන නායකයන් ඉදිරියේ ප්‍රකාශ කර  ඇත. 

අද හිටපු ඇමතිවරු පෝලිමේ අත් අඩංගුවට ගැනෙති. ඔවුන් අත් අඩංගුවට ගැනෙන්නේ දූෂිතයන් වීම නිසා නො වේ. ඒ පිටුපස ඇත්තේ පළිගැනීම් ය. ලංකාණ්ඩුවට වෙනත් කිසිවකු කර නැති පාඩුවක් කළ මහා බැංකු කෙරුමෝ කිසිම ප්‍රශ්නයක් නැතිව ඉහළින් වැජඹෙති. එසේ වැජඹීමට අවශ්‍ය වන්නේ නීතිඥ කමිටුවක් පමණකි. ඒ සියල්ල මැද මෛත්‍රිපාල සිරිසේන ශ්‍රී ල නි පක්‍ෂයේ සභාපති ලෙස බකං නිලා ගෙන සිටියි. ඔහුට ශ්‍රී ල නි පක්‍ෂය ආරාක්‍ෂා කරගැනීමට නො හැකි ය. එවැන්නකු තවදුරටත් ශ්‍රී ල නි ප සභාපති ධුරයේ තබාගත යුතු ද? කළ යුත්තේ කුමක් ද යන්න පැහැදිලි ය. 

මහින්ද මෛත්‍රිපාල හමුව ශ්‍රී ල නි පක්‍ෂයේ යහපත සඳහා යැයි විවිධ පුද්ගලයෝ කීහ. ඒ අතර අනාගත ජනාධිපති වීමේ සිහිනය දකින චමිපක රණවක හා ඔහුගේ ගෝලයා ද න්‍යායාචාර්යවරයා ද වෙති. හමුව “සාර්ථක” වී නම් ඒ ශ්‍රි ල නි පක්‍ෂයේ ද සිංහලයන්ගේ ද ගමනක කෙසේ වෙතත් යුගයක අවසානය වීමට තිබිණි. ශ්‍රී ල නි පක්‍ෂයේ කපටි ආරක්‍ෂකයන්ට අවශ්‍ය වූයේ පක්‍ෂය දියකර හැරීම ය. කපටි ආරක්‍ෂකයන්ට හා වැරදි උපදෙස් දෙන්නන්ට මින් පසු කිසිම ඉඩක් නො දිය යුතු ය. මෛත්‍රිපාල මහින්ද හමුව එවැනි හමුවල අවසානය විය යුතු ය. වහාම හමුව පිටුපස සිටියවුන් හෙළිදරවු කරගත යුතු ය. 



නලින් ද සිල්වා


2015 මැයි 07

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.