Breaking
24 Feb 2025, Mon

මංගල සහ මෛත්‍රී සුරතලයට හදාගන්නා ජෝන් කෙරී අවුරුද්දට සුබ පතයි

ඇමරිකන් රාජ්‍ය ලේකම් (විදේශ ඇමති) අපට හෙට ලබන අලුත් අවුරුද්දට සුබ පතා ඇති බව ජාතික රුපවාහිනිය වාර්තා කළේ ය. ඇතැමුන් අසන ආකාරයට කාට ද ආඩම්බරේ යනුවෙන් අප ඇසිය යුතු ද? එසේත් නැත්නම් අප හැඬිය යුතු ද? මේ සුළුවෙන් තැකිය යුතු සුබ පැතුමක් නො වේ. අප හඳුනන අයකු අපට අවුරුද්දට සුබ පැතූ විට අපි ඔබටත් එසේ ම වේවා යැයි කියමු. 

අප ජාතියක් ලෙස කෙරීටත් එසේ ම වේවා යැයි කියමු ද? එහෙත් ප්‍රශ්නයක් වේ. ජෝන් කෙරීටවත් ඇමරිකාවටවත් හෙට ලබන අවුරුද්දක් නැත. කෙසේ වෙතත් කෙරී ගෞරව කරන්නේ මෛත්‍රිපාලට ය. 

අප ජීවත්වන යුගයේ මෛත්‍රිපාල සිරිසේනට ලැබෙන්නේ එසේ මෙසේ ගෞරවයක් නො වේ. එංගලන්තයේ රැජින වූ එලිසබෙත් වින්ඩ්සර් ඔහුට අත්වැසුම් ගලවා අතට අත දෙයි. එංගලන්තයේ අගමැති ඩේවිඩ් කැමරන් මෛත්‍රිපාලගේ මෝටර් රථය ළඟට දුව ඇවිත් අතට අත දෙයි. කැමරන් මෝටර රථයේ දොර ඇරියේ ද යන්න මට මතක නැත. ඉන්දියාවේ දී හා පකිස්ථානයේ දී සිරිසේනට ලැබෙන්නේ ඉහළ ම ගෞරව ය. මෛත්‍රිපාලට මෙතරම් ගෞරව ලැබෙන්නේ මේ දින අනූවෙහි ඔහු කුමක් කළාට ද? සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියටවත් මෙතරම් ගෞරවයක් ජාත්‍යන්තර වශයෙන් ලැබී නැත. එහෙත් චන්ද්‍රිකාගෙන් ඇසුවහොත් ඇය කියනු ඇත්තේ යුද්ධයෙන් සියයට හැත්තෑපහක් නිම කළ ඇයට ලැබුණු ගෞරව අප නොදන්නා බව ය, එසේත් නැත්නම් වසන්තරාජා තමන්ගේ නිහතමානි ඉල්ලීමක ප්‍රතිඵලයක් ලෙස ඒ ප්‍රචාරය නොකළ බව ය. 

මෛත්‍රිපාලට ලැබෙන සියලු ගෞරව ජාතියට ලැබෙන ගෞරව විය යුතු ය. පහේ ශිෂ්‍යත්වයෙන් ඉහළින් ම සමත්වන ශිෂ්‍යයන් ද කියන්නේ ගෞරවය තමන්ට නොව දෙමවුපියන්ට, පාසලට හා මිතුරන්ට ලැබිය යුතු බව ය. එබැවින් මෛත්‍රිපාලට ලැබෙන ගෞරව ගැන කියනුම කවරේ ද? එහෙත් ප්‍රශ්නයක් වෙයි. පහේ ශිෂ්‍යත්වයේ හපනුන් අඩුම තරමෙන් විභාගයකින් ඉහළ ලකුණු ලබා ඇත. එහෙත් මෛත්‍රිපාල කර ඇත්තේ කුමක් ද? පහේ පංතිවල නිවට ම ශිෂ්‍යයන්ට තෑගි දෙන ක්‍රමයක් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් සකස්කරනු නොලැබීම මෛත්‍රිපාලට කරන අසාධාරණයකි. 

ජෝන් කෙරී යනු එසේ මෙසේ පුද්ගලයකු නො වේ. ඒ බව මෙරට විදේශ ඇමති මංගල සමරවීර දන්නා බවට සැකයක් නැත. සමරවීර හා කෙරී එකට සිටින ඡායාරුපවල මංගලගේ කුඩා බව අපි දුටුවෙමු. මංගල සමරවීර මගින් අපට කෙරීගෙන් දැනගත යුතු කරුණු නම් පසුගිය වසරවල ඇමරිකන් රාජ්‍ය ලේකම් අපේ නව වසරට අපට සුබ නොපැතුවේ ඇයි ද යන්නත් ඔහු (මංගල නොව කෙරී) ජාතික වශයෙන් වැදගත් අවස්ථාවල ලංකාව හැරෙන්නට සුබ පතන වෙනත් රටවල් තිබේ ද යන්නත් ය. ඒ අතර අප දැනගත යුතු තවත් කරුණු දෙකක් වෙයි. ළඟ එන වෙසක් දිනයේ කෙරී සිල් සමාදන් වීමට බලාපොරොත්තුවක් ඇත් නම් ඒ සඳහා නාග විහාරයට (යාපනයේ බැරි නම් කෝට්ටේ) පැමිණෙන්නේ ද යන්නත් මංගල සමරවිර ජනේරුවට ඇමරිකාවට සුබ පැතිය යුතු ද යන්නත් ය. 

අවුරුද්දට සිරිතක් වශයෙන් මෙරට ජනාධිපති, අගමැති, විපක්‍ෂ නායක ආදීහු ඔවුන්ගේ නිල තත්ත්වය කෙසේ වුවත් රටට ජාතියට සුබ පතති. ජෝන් කෙරී මෙරට උසුලන නිලය කුමක් ද? කෙරී අපට ගෞරව කරන්නේ මෛත්‍රිපාල වැදගත් සේවයක් දින අනූවක් වැනි කෙටි කාලයක දී කර ඇති බැවිනි. මෛත්‍රිපාල සාම්පුර් නාවික හමුදා කඳවුර ගළවා දමා ඇත. පළාලේ කඳවුරේ අධි ආරක්‍ෂිත කලාපයේ වැදගත් ඉඩම් විග්නේස්වරන්ගේ ඉල්ලීම පරිදි අත්හැර දමා ඇත. බෞද්ධ ප්‍රතිපත්ති අනුව අත්හැරීම හොඳ ක්‍රියාවක් බව කෙරීට රතන හිමියන් සමහර විට මේ වන විටත් කියා දී තිබෙන්නට හැකි ය. රටේ ආරක්‍ෂාව ගැන කතා කරන ඇමතියකු නැත. ඒ වෙනුවට රවි කරුණානායක ආරක්‍ෂක මධ්‍යස්ථානයේ ඉදිකිරීම් නවතා ඇත. සිරිසේනගේ ජනාධිපතිවරණ ප්‍රකාශයෙහි රටේ ආරක්‍ෂාව ගැන වචනයක්වත් සඳහන් නො විණි. 

අද මෙරට නිල වශයෙන් නොවූවත් ඇමරිකාවේ එංගලන්තයේ හා ඉන්දියාවේ යටත්විජිතයකි. අප ක්‍රියාත්මක කරන්නේ මූලික වශයෙන් ඔවුන්ගේ න්‍යාය පත්‍ර ය. සිරිසේනට බටහිරයන් බොහෝ දේ කියා දී ඇත. ඒ කියා දීම අරඹා නම් දින සියයට වැඩි ය. බටහිර රටවල් හා ඉන්දියාව තම නියෝජිතයාට සැළකීම පුදුමයක් නො වේ. කෙරී අපට සුබ පතන්නේ තමා මෙරට වක්‍ර පාලකයකු බව දන්නා බැවිනි. 

නලින් ද සිල්වා


2015 අප්‍රේල් 13 

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.