Breaking
13 Mar 2025, Thu

මහින්ද ප්‍රකාශ දෙකක් ම කරයි යනුවෙන් මා කාලය වෙබ් අඩවියෙහි පළ කළ ලිපිය ශ්‍රි ල නි පක්‍ෂයට හෝ මහින්ද රාජපක්‍ෂට හෝ හිතවත් බොහෝ දෙනකුගේ විරෝධය දිනා ගැනීමට සමත් වී ඇත. මා එ බලාපොරොත්තු නොවූවක්  නො වී ය. ඇතැමුනට අනුව දහතුනට පක්‍ෂපාති මා ඔවුන් රැවටීමට සැරසෙයි. දහතුනට එරෙහිව මා කර ඇති දෙය ඉතා සුළු විය හැකි ය. එහෙත් මට විරුද්ධව අවලාද නැගීමට ඒ හේතුවක් නොවිය යුතු ය. වැඩි ඈතක නොවන දිනක මා ජාතිද්‍රෝහියකු ලෙස නම් කෙරෙන බව ද, මට මිය යෑමට සිදුවනු ඇත්තේ ද ජාතිද්‍රොහියකු වංචනිකයකු මුග්ධයකු ලෙස හංවඩු ගැසීමෙන් පසුව බව ද මම දනිමි.

ඒ ඒ අය මා ගැන මා දරණ මත ගැන දක්වන අදහස්වලට පිළිතුරු දීමට ගියහොත් මට ඒ සඳහා අධික කාලයක් වැය කිරීමට සිදුවනු ඇත. එසේ වුවත් දහනවය ගැන කාලය වෙබ් අඩවියෙහි පළ කළ ලිපි අතරින් පහත සඳහන් කොටස් කිහිපයක් ලිපි දෙකකින් පමණක් උපුටා දක්වමි. මින් පසු ජාති ප්‍රේමින්ගේ හෝ වෙනත් අයගේ හෝ මේ සම්බන්ධ කිසිම අදහස් දැක්වීමකට පිළිතුරු නො දෙමි.    

අප්‍රේල් 22 වැනි දා දහනවයට පළමු රනිල් ඉවත් කළ යුතු ය යන ලිපියෙහි මෙසේ සඳහන් වෙයි. “විධායක ජනාධිපති ධුරයේ බලතල කප්පාදු කිරීමට පෙර 13 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ පළාත්සභාවලට දී ඇති බලතල කප්පාදු කළ යුතු ය. විශේෂයෙන් ම ඉඩම් හා පොලිස් බලතල ව්‍යවස්ථා සංශෝධනයකින් පළාත්සභාවලට අහිමි කළ යුතු ය. 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරගත යුත්තේ 13 කප්පාදු කිරීමට ය. 

පළාත්සභා බලතල කප්පාදු නොකර විධායක ජනාධිපති බලතලවලට අත නොතැබිය යුතු ය. පළාත් සභා බලතල කප්පාදු නොකර විධායක ජනාධිපති බලතල අඩුකිරීම විජාතික බලවේගවල අවශ්‍යතාව පරිදි දෙමළ ජාතිවාදයට කප්පන් දීමකි. අද 19 පිටුපස ඇත්තේ ඊනියා රාජ්‍ය නොවන සංවිධාන ඇතුළු දෙමළ ජාතිවාදී බලවේග ය. අද වනවිට ජාතික හෙළ උරුමය ද ඒ ගණයට වැටී ඇත. මාදොළුවාවේ සෝභිත හිමියන් ඒ ගණයට වැඩම කර බොහෝ කල් ය.” 

අප්‍රේල් 25 වැනි දා ශ්‍රී ල නි ප ප්‍රධාන සංධානය දහනවයට විරුද්ධව ඡන්දය දිය යුත්තේ ඇයි යනුවෙන් පළ කළ ලිපියෙහි පහත සඳහන් වාක්‍ය ද අඩංගු විය.  “මෙරට  ඒකීය භාවය අද රඳා ඇත්තේ විධායක ජනාධිපති ධුරය මත ය. මුළු රට ම එකතු වී එක් ඡන්ද කොට්ඨාශයක් බවට පත්වී ඡන්දය ප්‍රකාශ කරන්නේ ජනාධිපතිවරණයෙහි දී පමණ ය. 

කොටි ත්‍රස්තවාදය පරාජය කිරීමට හැකි වූයේ විධායක ජනාධිපති ධුරයට හිමි බලතල යොදා ගැනීමෙනි. දෙමළ ජාතිවාදය තවමත් පරාජය වී නැත. ඒ පරාජය කරන තෙක් ජනාධිපති ධුරයේ විධායක බලතල තිබිය යුතු ය.

අනෙක් අතට පළාත්සභා ක්‍රියාත්මක වන්නේ සන්ධීය (ෆෙඩරල්) රාජ්‍යයක් දෙසට ය. 13 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ ඉඩම් පොලිස් බලතල ආදිය පළාත්සභාවලට අහිමි නොකර විධායක  ජනාධිපති ධුරයේ බලතල කප්පාදු කිරීම සන්ධීය රාජ්‍යයකට අත වැනීමකි. දෙමළ ජාතිවාදයට හා බෙදුම්වාදයට උඩගෙඩි දීමකි.”

හෙට අනිද්දා සිදුවීමට නියමිත මෛත්‍රිපාල මහින්ද හමුව නොවිය යුත්තක් ලෙස මා කාලයට ලියා ඇත. ඒ කලකට පෙර ය. ඊයේ පෙරේදා මෙහි පැමිණි ජෝන් කෙරී මේ සම්බන්ධයෙන් ද තම අදහස් දක්වන්නට ඇත. කෙසේ වෙතත් ඇතැමුන් සිතන අයුරින් ඔහු මෙහි තකහනියක් පැමිණියා නො වේ. වෙනත් රටවලට ද යන අතර ඔහු ලංකාවට ද පැමිණියේ ය. කෙරීට අවශ්‍ය දෙය අපි දනිමු. සුද්දන්ගේ ඒරාෂ්ටකය සිංහලයන්ට ලබයි වෑනි නොයෙකුත් ලිපිවල බටහිරයන්ගේ අවශ්‍යතා ගැන අපි සඳහන් කෙළෙමු. මෙරට දෙමළ ජාතිවාදී ප්‍රශ්නය බෞතිස්ම කෙරුණේ  1833 දී බව අවුරුදු විසිපහකට අධික කාලයක් තිස්සේ මා කියන නමුත් ඒ බව වෙනත් සිංහලයන් පිළිගන්නා බවක් පෙනෙන්නට නැත. සිංහලයන්ට විශේෂයෙන් ම සිංහල බෞද්ධයනට වියුක්ත ව සිතන්නට නොහැකි වීම ප්‍රශ්නයකි. එහෙත් ඔවුහු වියුක්ත බටහිර විද්‍යාව බුදුදහම සමග සංසන්දනය කරති. බටහිර විද්‍යාව බුදුදහම සමග එකඟවන්නේ නම් අවුරුදු දෙදහස් තුන්සියයකට අධික ථෙරවාද සම්ප්‍රදායක් ගැන උදම් අනන සිංහල බෞද්ධයනට අනුකාරකයන් මිස හරිහමන් බටහිර විද්‍යාඥයකු බිහිකිරීමට නොහැකි වී ඇත්තේ ඇයි? 

කෙරීටත් කැමරන්ටත් මෝදිටත් අවශ්‍ය දෙමළ ජාතිවාදයට කප්පන් දීමය. ඒ සඳහා ඔවුන්ට රනිල් අවශ්‍ය ම නැත. ඒ මෛත්‍රිපාලගෙන් කෙරෙන්නේ නම් ඔවුන් විරුද්ධ නොවනු ඇත. ගාමිණී ලොකුගේට අනුව මෛත්‍රිපාල මහින්ද හමුවේ කොන්දේසියක් වනුයේ ඊනියා ජාතික ආණ්ඩුවක් නො පිහිටුවීම ය. එය කෙරීටවත් බටහිරයන්ටවත් මෝදිටවත් විශේෂ ප්‍රශ්නයක් නො වේ. 

මෛත්‍රිපාල මහින්ද හමුව ගැන ඩිලාන් පෙරේරාත් රෙජිනෝල්ඩ් කුරේත් ප්‍රීිති ප්‍රමෝදයට පත් වී සිටිති. ඔවුන් දහතුනට විරුද්ධ බවක් මා අසා නැත. කෙසේ වෙතත් මෛත්‍රිපාල මහින්ද හමුවට අපි කොන්දේසි කිහිපයක් ඉදිරිපත් කරමු. පොලිස් හා ඉඩම් බලතල ඇතුළු දහතුනේ රටට අයහපත් ව්‍යවස්ථා ඉවත්කිරීමට දෙදෙනා එකඟ විය යුතු ය. කිසිම ආකාරයක විමර්ෂණයක් ඊනියා යුද්ධාපරාධ ගැන නොපැවැත්විය යුතු ය. කළ යුත්තේ දෙමළ ජනයා මිනිස් පළිහක් ලෙස යොදා ගැනීම පිලිබඳ ව කොටින්ට විරුද්ධවත් එයට විරුද්ධ නොවී අනුබල දීම ගැන රායප්පු ජෝසෆ් වැන්නන්ටත් දෙමළ ජාතික සංධානයේ නායකයන්ටත් එරෙහිව විශේෂ පරීක්‍ෂණයක් කිරීම ය. එහෙත් යුද්ධාපරාධ චෝදනා ඇතැමුන් සම්බන්ධයෙන් ඉවත් කිරීම දෙමළ ජාතිවාදයට කප්පන් දීමට හිලවු නොකළ යුතු ය. ්්

අපි අශෝකගේ සංස්කෘතික ආක්‍රමණයෙන් අපේ නිර්මාණශීලීත්වය නැතිකර ගත්තෙමු. ඒ ආක්‍රමණෙයහි පුර්ණ ප්‍රතිඵල අත්විඳීමට අවුරුදු හත්අටසියක් ගත විය. පස්වැනි සියවසේ දී එය පරිපුර්ණත්වයකට පත් විය. ඉන්පසු අප විසින් බිහි කෙරුණු නිර්මාණ කවරේ ද? 1505 දී හෝ 1506 දී හෝ අපි දෙවැනි සංස්කෘතික ආක්‍රමණයකට ගොදුරු වීමු. එය බටහිර ආධිපත්‍යය කඩා නොවැටුනහොත් මේ සියවස ඉක්මවීමට පෙර පරිපූර්ණත්වයකට පත්වනු ඇත. 

අපි වෙසක් දිනවල දෙහිඅත්තකන්ඩිය හා දිඹුලාගල අතර ඊනියා මහවැලි කලාපයේ ගත කෙළෙමු. එහි වැසියන් බොහෝ දෙනකුට ඉතිහාසය පටන්ගන්නේ මහවැලි යෝජනා ක්‍රමයත් සමග ය. එහි වාසය කරන යක්‍ෂ ගෝත්‍රිකයන්ගෙන් පැවත එන්නන් යැයි කිවහැකි අය ද සිතන්නේ බුදුන් වහන්සේ යක්‍ෂ ගෝත්‍රිකයන් පන්නා දැමූ බව ය! අධිපතිවාදී ඉතිහාසයේ තරම එබඳු ය. මාදුරුඔයේ සොරොව්ව විජයට පෙර එකක් විය හැකි බවට එහි ඇති සටහන ගැන ඔවුන්ට අවබෝධයක් නැත. අද අප දන්නේ බටහිරයන් අපට කියා දෙන ඉතිහාසය ය. එය පට්ටපල් බොරුවක් යැයි කිවහොත් පළමුව කිපෙන්නෝ උගත් සිංහලයෝ ය. 

නලින් ද සිල්වා


2015 මැයි 05

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.