Breaking
23 Feb 2025, Sun

පිංගුත්තර ජනපති සංධානය විස්සට විරුද්ධ බව පෙන්විමට කුමන්ත්‍රණයක්

සංධානය විස්සට විරුද්ධය යන මතය ඇති කිරීමට රනිල් ප්‍රමුඛ එ ජා පක්‍ෂයත් මෛත්‍රිපාල චම්පක කණ්ඩායමත් කටයුතු කරනු පෙනෙයි. හෙට (8 වැනි සඳුදා) මෛත්‍රිපාල සිරිසේනගේ නායකත්වයෙන් විස්සට පක්‍ෂව රැස්වීමක් විහාර මහා දේවී උද්‍යානයේ දී සංවිධානය කෙරී ඇත. ඒ කුමක් සඳහා වුවත්, අවාසනාවකට සංධානයේ ඇතැමුන් කරන ප්‍රකාශවලින් ඔවුන් විස්සට විරුද්ධය යන්න තහවුරු විය හැකි ය. අද ජනතාවගෙන් අති විශාල බහුතරයකට විස්ස අවශ්‍ය ය. ඔවුන්ට මනාප ක්‍රමය එපා වී බොහෝ කල් ය. සංධානය අද අනුගමනය කරන ප්‍රතිපත්තිය නිසා ජනතාවට ඔවුන් පිළිබඳ වැරදි මතයක් ඇති කිරීමට රනිල්ට, මෛත්‍රිපාලට හා ඔවුන්ගේ හෙංචයියන්ට හැකි වුවහොත් මම පුදුම නො වෙමි. 

විස්ස සම්මත කරගෙන පාර්ලිමේන්තුව වහාම විසුරුවා හැරීමට අවශ්‍ය සංධානයට පමණකි. රනිල්ට හා එ ජා පක්‍ෂයට, ජ වි පෙරමුණට, ජාතික හෙළ උරුමයට, දෙමළ හා මුස්ලිම් ජාතිවාදී පක්‍ෂවලට විස්ස අවශ්‍ය නැත. විස්ස නිසා තම පක්‍ෂවල මන්ත්‍රී සංඛ්‍යාව අඩු වන බව ඔවුහු දනිති. මෛත්‍රිපාල චම්පක ප්රාජිත කණ්ඩායමට අවශ්‍ය විස්සට මුවා වී ලබන අප්‍රේල් වන තෙක් පාර්ලිමේන්තුව විසුරුවා නො හැර පවත්වාගෙන යෑමට ය. විස්ස සම්මත වන තාක් පාර්ලිමේන්තුව විසුරුවා නොහැරිය යුතු බවට ඔවුන් බෙරිහන් දෙන්නේ එ ජා ප යම් යම් හේතු දක්වා විස්සට විරුද්ධ වේ ය යන බලාපොරොත්තුවෙනි. එ ජා පක්‍ෂයට හා අනෙක්  පක්‍ෂවලට අවශ්‍ය විස්ස සම්මත නොකර පාර්ලිමේන්තුව විසුරුවා හැරිම ය.

සංධානයට පමණක් විස්ස වහා සම්මත කර පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ අවශ්‍යතාව ඇත. එහෙත් ජනතාව ඉදිරියේ ඔවුන් විස්සට විරුද්ධ ය යන මතය ඇති කිරීමට විස්සට විරුද්ධ පක්‍ෂවලට හැකි වී ඇත්නම් එයට වගකිව යුත්තේ සංධානයේ දේශපාලන න්‍යාය පත්‍රය හසුරුවන අය ය. අවාසනාවකට මේ අයට ශ්‍රී ල නි පක්‍ෂයේ ප්‍රතිපත්ති ගැන වැටහීමක් නැත. ශ්‍රි ල නි පක්‍ෂයට ඡන්දය දෙන  පිරිස මූලික වශයෙන් ජාතිකත්වයක් ඇති අය වෙති. එහෙත් ජනාධිපතිවරණයේදීත් අදත් ශ්‍රී ල නි පක්‍ෂය ජාතිකත්වය ගැන බරක් නො දැම්මෝ ය, නො දමති. ශ්‍රී ල නි පක්‍ෂය දෙමළ හෝ මුස්ලිම් හෝ විරෝධී නො වේ. එහෙත් දෙමළ ජාතිවාදය හා මුස්ලිම් ආගමිකවාදය සිංහල බෞද්ධයනට එරෙහිව කටයුතු කරන විට පක්‍ෂය ඒ සියල්ලට විරුද්ධ වෙයි. එහෙත් එසේ කරන්නේ දෙමළ හා මුස්ලිම් ජනයා අතර සිටින ජාතිකත්වය ඇති අය නැති කර ගනිමින් නො වේ. 

රනිල්ට විරුද්ධව විශ්වාසභංග යෝජනාව ගෙන ආ යුත්තකි. එය ගෙන ඒමට තිබුණේ ජනවාරි 10 වැනි දා ය. එහෙත් මෛත්‍රිපාලගේ, නිමල් සිරිපාලගේ පාවාදීම් හේතුකොටගෙන එය කල් දැමීමට සිදු වී ඇත. මෛත්‍රිපාල යනු රට අවුලෙන් අවුලට ඇද දමන අයකු පමණකි. මහින්ද රාජපක්‍ෂ කළ ලොකුම වරද ශ්‍රී ල නි පක්‍ෂයේ සභාපතිකම අත්හැර ඒ මෛත්‍රිපලට ලබා දීම ය. රනිල්ට විරුද්ධ විශ්වාසභංගය අවශ්‍ය වුවත් එය විස්සට උඩින් තැබිය යුතු නො වේ. රනිල් ඉවත්කර සංධාන ආණ්ඩුවක් පිහිටුවා විස්ස සම්මත කර ගැනීමට ආධාර කිරීමට මෛත්‍රිපාලට නො හැකි ය. මෛත්‍රිපාලගේ ආධාරය නොමැතිව එය නො කළ හැකි ය. 

සංධානය විස්සට වැඩි බරක් දැමිය යුතු ය. එසේ නොකළහොත් ඔවුන් කැමති දෙයකට පක්‍ෂය විරුද්ධ බවට මතයක් ඇති කිරීමට එ ජා පක්‍ෂයට හැකි වනු ඇත. එ ජා පක්‍ෂය විස්සට විරුද්ධව සිටිය දී ඔවුන් එයට පක්‍ෂ බවටත් ශ්‍රී ල නි පක්‍ෂය විස්සට පක්‍ෂව සිටිය දී ඔවුන් එයට විරුද්ධ බවටත්  මතයක් ඇති කිරීමට එ ජා පක්‍ෂයට කිසිසේත් ඉඩ දිය යුතු නො වේ. විස්ස සම්මත කර ගැනීමෙන් පසුව මෛත්‍රිපාල පාර්ලිමේන්තුව විසුරුවා හැරියත් එය ප්‍රශ්නයක් නො වේ. රනිල්ට විරුද්ධව විශ්වාසභංග යෝජනාවක් මන්ත්‍රින් 112 දෙනකුගේ අත්සනින් භාර දී ඇති අතර එයට බංධනාගාරවල සිටින මන්ත්‍රීන් ද එකතු කළ විට එය පැහැදිලිව ම 113 ට වැඩි වනු ඇත. රනිල් දැනටමත් විශ්වාසභංග යෝජනාවෙන් නීත්‍යානුකූල ව නැතත් ජනතාවගේ සිත්වල පැරදී ඇත. අනෙක් අතට මැතිවරණයේ දී ජනතාව ඔහුට විරුද්ධ ව තිස්වැනි වරටත් විශ්වාසභංග යෝජනාවක් සම්මත කර ගනු ඇත.

නලින් ද සිල්වා

2015 ජූනි 07

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.