Breaking
23 Feb 2025, Sun

සෝමවංශ ජ වි පෙරමුණෙන් ඉවත්වීම මෙරට දේශපාලනයට බලපාන කරුණක් නොවන නමුත් ඒ හේතුවෙන් ජ වි පෙ තවදුරටත් හෙළිදරවු වීම අප නොසලකා හැරිය යුතු නො වේ. ඒ සම්බන්ධයෙන් ජ වි පෙරමුණෙන් කැඩී ගිය පෙරටුගාමීන් කියන්නේ ජ වි පෙරමුණේ අද ඇත්තේ දකුණ හා දකුන අතර අරගලයක් බව ය. 

ඔවුන්ගේ තඹ දොයිතුවකටවත් වැඩක් නැති මාක්ස්වාදය අනුව ජ වි පෙරමුණේ ජාතිවාදී දකුණ හා ලිබරල්වාදී දකුණ අතර අරගලයක් ඇති වී තිබේ. ඔවුන්ට අමතක වන කරුණ නම් වමක් යනුවෙන් අද ඉතිරි වී ඇත්තේ ඇමරිකාවේ ඔබාමාගේ ඩිමොක්‍රටික් පක්‍ෂය හා එංගලන්තයේ එඩ් මිලිබෑන්ඩ්ගේ කම්කරු පක්‍ෂයත් බටහිර රටවල එවැනි රෝස සමාජවාදීනුත් පමණක් බව ය. එහෙත් ඒ පක්‍ෂ සියල්ල ධනවාදී මිස සමාජවාදී පක්‍ෂ නො වේ.  

කසිකබල් මාක්ස්වාදය යල්පැන ඇතැයි මම නො කියමි. එය කිසි දිනෙක වලංගු නොවූ පට්ටපල් බොරුවක් පමණකි. මා මෙහි දී පට්ටපල් බොරු යන්න යොදා ගන්නේ බටහිර විද්‍යාවේ වියුක්ත ප්‍රවාද සම්බන්ධයෙන් ඒ වචන යොදා ගන්නා ආකාරයට ය. කාල් මාක්ස් සමාජ විකාශය තේරුම් කිරීම සඳහා වියුක්ත පංති සංකල්පයක් සහිත ව පංති අරගලය යන වියුක්ත ප්‍රවාදය හෙවත් කතන්දරය නිර්මාණය කළේ ය. එය කිසි දිනෙක වලංගු නොවූ නමුත් සාර් පාලනය පහ කිරීම සඳහා ලෙනින් මාක්ස්වාදී සංකල්ප මතුපිටින් යොදා ගත්තේ ය. එහෙත් රුසියාවේ මාක්ස්වාදයක් ජයග්‍රහණය නො කළේ ය. එය එසේ වී නම් රුසියාවේ බිහි වූ මාක්ස්වාදියා වූ ලියොන් ට්‍රොට්ස්කි බලයෙන් පහ නොකෙරෙනු ඇත. රුසියාවේ ඊනියා කම්කරු පංතියක් බලයට පත් නො වී ය. ලෙනින් මාක්ස්ගේ අර්ථයෙන් මාක්ස්වාදියකු වී යැයි කිව නො හැකි ය. 

ජ වි පෙ මුල සිට ම ඔවුන්ට ම ආවේණික වූ මාක්ස්වාදයක් මත පදනම් විය. එය කිසිසේත් ම මාක්ස් ට්‍රොට්ස්කිවාදය නොවේ. එය ලෙනින් ස්ටැලින්වාදයේ (මාක්ස්වාදයේ දරිද්‍රතාව කියවන්න) මාඕ ප්‍රභේදයෙන් ෂන්මුගදාසන් උකහාගත් ප්‍රවාදයක් විය. විජේවීර එය අවස්ථාවාදී ව ජතිකත්වයක් සමග මිශ්‍ර කළේ ය. එහෙත් එහි බර තිබුණේ ජ වි පෙරමුණට ආවේණික වූ මාක්ස්වාදයට ය. ජ වි පෙ තම මාක්ස්වාදය හා ව්‍යාජ ජාතිකත්වයක් අතර දෝලනය වූයේ වැඩි බර මාක්ස්වාදයට එක්වන අයුරෙන් ය. 

සෝමවංශ අමරසිංහ ලංකාවේ හෝ පිටරට හෝ විශ්වවිද්‍යාලයක ඉගෙනුම ලබා ඇතැයි නො සිතමි. එසේ ඉගෙනුමක් ලබා නැත්නම් එය ඔහුගේ යහපතට හේතු විය. විජේවීරගේ සිට ජ වි පෙ නායකයෝ බොහෝ විට විශ්වවිද්‍යාල උගත්තු වූහ. අද ද ජ වි පෙරමුණට මෙන් ම පෙරටුගාමීන්ට ද නායකත්වය සැපයෙන්නේ විශ්වවිද්‍යාල මගිනි. විශ්වවිද්‍යාල උගත්තු බොහෝ විට සිංහල බෞද්ධ විරෝධී බටහිර අධ්‍යාපනයකින් ඔළුව කුරුවල් කර ගත්තෝ වෙති. ඔවුන් ගමෙන් පැමිණියත් ගැමි උගත්තු නො වෙති. ඔවුන්ට නගරයෙන් පැමිණි අයට ද වඩා හීනමානයක් ඇත. බටහිර විද්‍යාව පට්ටපල් බොරු යැයි කී විට මේ කොයි කවුරුත් කුපිත වෙති. ඔවුන්ට බටහිර දැනුම අම්ම අප්පගෙන් ලැබුණු බූදලයක් මෙනි. 

සෝමවංශ අමරසිංහ ජ වි පෙරමුණෙන් ඉවත් වූයේ පෞද්ගලික හේතුවක් මත යැයි පෙන්වීමට ජ වි පෙ නායකයෝ අසාර්ථක උත්සාහයක යෙදෙති. මෙහි ඇත්තේ දේශපාලන ප්‍රශ්නයකි. සෝමවංශ හෙළිදරවු කරන්නේ ජ වි පෙරමුණේ ව්‍යාජ ජාතිකත්වය ය. අනුර කුමාර දිසානායක යටතේ ජ වි පෙ අද එ ජා පක්‍ෂයේ තරුණ සංවිධානය බවට පත් වී ඇත. (එහි නායකයන් තරුණ නොවීම වෙන ම ප්‍රශ්නයකි.) ඔවුන්ගේ ජාතිකත්වය හා රවි කරුණානායකගේ හා රනිල්ගේ ජාතිකත්වය අතර විශාල වෙනසක් නැත.

පොල්තෙල් පහන පත්තු කරන විට පන්සිල් ගන්නා විට ජ වි පෙ නායකයන් කැමරාවට පසුපස හරවා ගන්නේ යැයි සෝමවංශ කියන්නේ ජ වි පෙරමුණේ ව්‍යාජ ජාතිකත්වය හෙළිදරවු කරමිනි. ජ වි පෙ නායකයන් සෝමවංශට බිය වන්නේ තම හිනමානය ඔහු අතින් හෙළිදරවු වන බැවිනි.

නලින් ද සිල්වා


2015 අප්‍රේල් 18

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.