Breaking
23 Feb 2025, Sun

ශ්‍රී ල නි පක්‍ෂයේ මහින්ද පිළ හා මෛත්‍රිපාල පිළ එකතු කිරීම ගැන සාකච්ඡා කිරීමට අද  (ජූනි 16) ශ්‍රී ල නි ප මන්ත්‍රීවරුන් හයදෙනකුගෙන් සමන්විත කමිටුවක් පත් කෙරී ඇත. කුමක් ප්‍රසිද්ධියේ කීව ද කමිටුවේ ප්‍රධාන කාර්යය වනු ඇත්තේ දෙපිළ එකතු කිරීම ය. මහින්ද රාජපක්‍ෂට අවශ්‍ය නම් ශ්‍රී ල නි පක්‍ෂය ප්‍රධාන සංධානයකින් තරග කිරීමට අවස්ථාව ලැබෙනු ඇත. අගමැති අපේක්‍ෂක ලෙස ඉදිරිපත් වීමට හැකි ද යන්න පසුව තීරණය කෙරෙනු ඇත. සමහර විට ඔහු ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත්කෙරීමට ද ඉඩ ඇත.

ඉතා පැහැදිලි ව අප සති කිහිපයකට පෙර කී පරිදි බල තුලනයේ වෙනසක් සිදු වී ඇත. සති කිහිපයකට පෙර ශ්‍රී ල නි පක්‍ෂයේ මහින්ද පිළ බලවත් විය. මාතර දී ඒ තහවුරු විය. අද ඒ රුල්ල නැවැත්වීමට කිසිම ජගතකුට විජාතික ඔත්තු සේවයකට නො හැකි ය. ඔත්තු සේවාවන්ට ද තම ක්‍රමෝපායන් වෙනස් කිරීමට සිදු වී ඇත. අප ඒ පිළිබඳ ව සිහි කල්පනාවෙන් සිටිය යුතු ය. 

ශ්‍රී ල නි පක්‍ෂයේ බලය මහින්ද කණ්ඩායම අතට පත්වීමත් සමග පාර්ලිමේන්තුවේ ද රටේ ද එ ජා පක්‍ෂය දුර්වල වී ඇත. පාර්ලිමේන්තුව විසුරුවා හැරීම පිළිබඳ ව රනිල් වික්‍රමසිංහ කිසිවක් නොකියයි. එ ජා පක්‍ෂයෙන් ඒ පිළිබඳ කතාකරන්නේ ගොනකු පිළිබඳ කතාවක් කියූ ලක්‍ෂමන් කිරඇල්ල, කබීර් හෂීම් හා අජිත් පෙරේරා ය. රනිල් ඒ පිළිබඳ වහාම ප්‍රකාශයක් කළ යුතු ය.     

මහින්ද කන්ඩායම, මෛත්‍රී කණ්ඩායම හා එ ජා ප ගතහොත් අද වන විට වඩාත් ම දුර්වල මෛත්‍රී කණ්ඩායම ය. ඔවුන්ට සහායට සිටින්නේ ජාතික හෙළ උරුමය පමණකි. එ ජා පක්‍ෂයට සමහර දෙමළ හා මුස්ලිම් පක්‍ෂ ඇති අතර මහින්ද කණ්ඩායමට සංධානය ඇත. ඒ තත්ත්වය යටතේ මැතිවරණයකින් ජයගෙන ආණ්ඩුවක් පිහිටුවීමට මෛත්‍රී කණ්ඩායමට නො හැකි ය. ඔවුන්ට එ ජා ප සමග එකතු වීම ද පහසු වැඩක් නො වේ. ඒ නාම යෝජනා සම්බන්ධ ප්‍රශ්න ඇතිවන බැවිනි.

දේශපාලනඥයන් ජනතාව වෙනුවෙන් තීරණ ගන්නේ යැයි කීව ද එය නිවැරදි වන්නේ වක්‍ර ආකාරයකින් ජනතාවගේ ඡන්දය ලබාගැනීම සම්බන්ධයෙනි. ඔවුන් මූලික ව ම තීරණ ගන්නේ තමන් වෙනුවෙනි. අද මෛත්‍රිපාල කණ්ඩායමට පැවැත්ම සඳහා මහින්ද කණ්ඩායම සමග එක්වීමට බල කෙරී ඇත. එහෙත් එය මෛත්‍රිපාලට කෙසේ බලපාවි ද යන්න ප්‍රභ්නයක් වී තිබිණි යැයි සිතමි. අද වන විට මහින්ද කණ්ඩායමේ බලවත් වීම නිසා ම මෛත්‍රිපාලට විදේශීය බලවේගවලින් යම් තර්ජනයක් තිබිණි නම් ඒ පහ වී ගොස් ය. විදේශීය බලවේගවලට රනිල් බලයට ගෙන ඒම අසීරු ය. 

රටට ස්වාධීන පැවැත්මක් තිබිය හැක්කේ ශ්‍රී ල නි පක්‍ෂය බලවත් වීමෙනි. ඒ සඳහා මහින්ද රාජපක්‍ෂ වැන්නකුගේ නායකත්වය අවශ්‍ය වෙයි. බටහිරයන් හා ඉන්දීයයන් ඊනියා මහින්ද රෙජිමය ගෙදර යැවීමට උත්සාහ කෙළේ රටෙහි ස්වාධීනත්වය අහොසි කිරීමට ය. එහි දී ඔවුහු ඊනියා යහපාලනයක් ඉදිරියට ගෙන ආවෝ ය. එහෙත් යහපාලනය දැන් මළකඩ කෑ අවියක් බවට පත් වී ඇත. ඒ සඳහා රනිල් විවිධ ආයතන ඇති කළ නමුත් අද වන විට ඒවාහි පුහු බව රටට හෙළි වී ඇත. 

ඊනියා මහින්ද රෙජිමය ගෙදර යැවීමට නො හැකි විය. සිංහලයන්ගෙන් බහුතරය මහින්ද වටා එක් රොක් වූහ. ඒ රැල්ල තව තවත් වර්ධනය වෙයි. මෛත්‍රීපාල කණ්ඩායමට මහින්ද කණ්ඩායම සමග එක්වීමට බල කෙරී ඇත. ශ්‍රී ල නි පක්‍ෂයේ සභාපති කවුරුන් වුව ද අද වන විට නායකයා මහින්ද ය. 

නලින් ද සිල්වා


2015 ජූනි 16

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.