Breaking
24 Feb 2025, Mon

මාර්ටින් වික්‍රමසිංහ මහතා බමුණු කුලය ලෙස හැඳින ගත් කුලය බිඳී නැති බව පැහැදිලි ය. ඒ මහතා ද අධ්‍යාපනය අතින් ගත්කල අයත් වූයේ බමුණු කුලයට ය. ඒ මහතා අගය කළ බටහිර විද්‍යාව අයත්වන්නේ ද බමුණු කුලයට ය. පියදාස සිරිසේන මහතා බමුණු කුලයට අයත් වී ද? මාර්ටින් වික්‍රමසිංහ මහතා අයත් වූයේ බමුණු කුලයට නො වේ ද? අප ඒ ගැන කතා නොකළ ද සාහිත්‍ය බමුණු කුලයට අයත් වූයේ මාර්ටින් වික්‍රමසිංහ මහතා මිස පියදාස සිරිසේන මහතා නො වේ. මම අවුරුදු එකොළහේ දී පමණ මාර්ටින් වික්‍රමසිංහ හා පියදාස සිරිසේන මහතුන් දෙදෙනාගේ ම පොත් කියවීමි. අද ඉන් අවුරුදු හැටකට පමණ පසුව රනිල් වික්‍රමසිංහ මහතා හා මෛත්‍රිපාල සිරිසේන මහතා හදාරමි. වික්‍රමසිංහලා දෙදෙනා ම බමුණු කුලයේ සාමාජිකයෝ ය. මෛත්‍රිපාල සිරිසේන මහතා බමුණු කුලයට ඇතුල් වූයේ කෙසේ ද? අඩු තරමෙන් සේවය කරන්නේ කෙසේ ද?
   
බමුණු කුලය යනු ඉංගිරිසින්ගේ නිර්මාණයක් විය. ඉංගිරිසි අධ්‍යාපනය (සංස්කෘතිය), ඉංගිරිසි ආර්ථිකය හා ඉංගිරිසි  දේශපාලන ව්‍යුහ බමුණු කුලය නිර්මාණය කිරීමේ දී යොදා ගැනිණි. පාසල්, පළමුව විශ්වවිද්‍යාල ආයතනය හා පසුව විශ්වවිද්‍යාල බමුණු කුලයේ තෝතැන්න විය. දහනවවැනි සියවසේ අවසානයේ සිිදු වූ බෞද්ධ පුනර්ජීවනය අංග විකල වූවක් විය. බෞද්ධ පාසල් යනුවෙන් පිහිටුවනු ලැබුයේ බෞද්ධ වර්ණ ආලේප කරනු ලැබූ ක්‍රිස්තියානි පාසල් ය. එහි බෞද්ධ ආලේපයක් තිබූ බව සැබෑ ය. එහෙත් හරය වශයෙන් ගත්කල ඒ ක්‍රිස්තියානි විය.  

සමස්තයක් ලෙස ගත්කල බමුණු කුලය එ ජා පක්‍ෂය විසින් නියෝජනය කෙරිණි. එයින් අදහස් කරන්නේ ඒ පක්‍ෂයට ඡන්දය දුන් සියල්ලන් බමුණු කුලයට අයත් වූ බව නො වේ. ජනතාව විවිධ හේතු නිසා පක්‍ෂවලට බෙදී සිටිති, ඡන්දය දෙති. එක ම පවුලේ සහෝදරයෝ විවිධ පක්‍ෂවල ආධාරකරුවෝ වෙති. එහෙත් ඒ ඒ පක්‍ෂවල ආධාරකරුවන් අතර විශේෂිත ගුණ ද වෙයි. විශේෂයෙන් ම ශ්‍රී ල නි පක්‍ෂයට ඡන්දය දෙන්නන්ට පොදුවේ ගත්කල ජාතිකත්වයක් ඇත. 

අප බොහෝ අවස්ථාවල කියා ඇති පරිදි මෙරට නිදහස් සටනක් ද පෙත්සම් ව්‍යාපාරයක් ද විය. 1815න් පසු නිදහස් සටනට නායකත්වය දුන්නෝ කැප්පෙටිපොළ නිළමේ, විර පුරං අප්පු, ගොංගාලෙගොඩ බණ්ඩා, අනගාරික ධර්මපාලතුමා, භාෂා ප්‍රේමිහු ආදීහු ය. ඔවුන්ට ඇතැම් භික්‍ෂූන් වහන්සේලාගේ ද සහාය ලැබිණි. පෙත්සම් කරුවෝ බමුණු කුලයට අයත් වූහ. ඔවුහු කොංග්‍රසයේ ද පසුව එ ජා පක්‍ෂයේ ද සංවිධානය වූහ. ඔවුන්ගේ පෙත්සම් ව්‍යාපාරය නිදහස් සටනක් ලෙස ඉංගිරිසින් විසින් හැඳින්විණි. ඇතැම් භික්‍ෂූන් වහන්සේ ද, සිංහල වෙදමහත්වරු ද, සිංහල ගුරුවරු ද පෙත්සම් ව්‍යාපාරය සැබෑ නිදහස් සටනක් ලෙස හඳුනාගත්හ. 

සැබෑ නිදහස් සටන යට ගියේ ය. ධර්මපාලතුමාගෙන් පසුව එයට පැහැදිලි නායකත්වයක්  නො වී ය. භාෂා ප්‍රේමීහු විවිධ තැන්වල ගොනු වූහ. ධර්මපාලතුමාට බමුණු කුලයේ ඇත්තෝච පහර පිට පහර ගැසුහ. විජේවර්ධනලාගේ ලේක්හවුසිය එහි දී විශේෂ කාර්යභාරයක් ඉටු කෙළේ ය. ධර්මපාලතුමාට එරෙහි වූවෝ ඕල්කට් බෞද්ධයෝ ය. පෙත්සම් කරුවෝ හා ඕල්කට් බෞද්ධයෝ එක ම කඳවුරක වූහ. 

බණ්ඩාරනායක මහතා ශ්‍රී ල නි පක්‍ෂ පිහිටුවා ගත්තේ සැබෑ නිදහස් සටන ඉදිරියට ගෙන යෑමට නොව එ ජා පක්‍ෂයට වඩා බටහිර අර්ථයෙන් ලිබරල් වූ පක්‍ෂයක් රටට ගෙන යෑමට ය. එහෙත් සැබෑ නිදහස් සටනේ සිටි අය ශ්‍රී ල නි පක්‍ෂය වටා එක් රොක් වූහ. ඔවුහු ශ්‍රී ල නි පක්‍ෂයේ ප්‍රතිපත්ති වෙනස් කළහ. සිංහල පමණක් රාජ්‍ය භාෂාව කිරීම ශ්‍රී ල නි පක්‍ෂයේ ප්‍රතිපත්තිය බවට  පත් කෙරිණි. සිංහල පමණක් යන්න නිවැරදි ප්‍රතිපත්තිය විය. එයින් කියැවුණේ සිංහලයන්ට හා සිංහල සංස්කෘතියට මෙරට විශේෂ තැනක් හිමි විය යුතු බව ය. ඊනියා බහු සංස්කෘතික බහු බූතය සිංහල පමණක් ප්‍රතිපත්තිය මගින් ප්‍රතික්‍ෂෙප කෙරිණි. එහෙත් ඒ බව සිංහලයන්ට කියා දීමට ඉංගිරිසින්ගේ අධ්‍යාපනයෙන් කිසිවකු බිහිකර නො තිබිණි. 

කෙසේ වෙතත් 1956 දී තවත් පක්‍ෂ කිහිපයක් සමග එකතු වී මහජන එක්සත් පෙරමුණ ගොඩ නැගීමට බණ්ඩාරනායක මහතාට හා ශ්‍රී ල නි පක්‍ෂයට හැකි විය. 1956 දී ම එ පෙ ජයග්‍රහණය කෙළේ ය. එහෙත් බමුණු කුලය බිඳ නො වැටිණි. ජයග්‍රහණයෙන් පසුව මාර්ටින් වික්‍රමසිංහ මහතා බමුණු කුලය බිඳ වැටීම ලිවී ය. ඔහු ජයග්‍රහණයට පෙර ඒ ගැන නො කීවේ ය. ඔහු බමුණු කුලය ලෙස හඳුනාගත්තේ බමුණු කුලයේ පිටපොත්ත පමණකි. එක් පැත්තකින් අද බමුණු කුලය ඉහළට ම පැමිණ ඇත. ශ්‍රී ල නි පක්‍ෂයේ සභාපති මෛත්‍රිපාල සිරිසේනටත් බමුණු කුලයට සේවය කිරීමට සිදු වී ඇත. මෛත්‍රිපාල සිරිසේන පියදාස සිරිසේනමහතා ගේ පොත්වලට වඩා මාර්ටින් වික්‍රමසිංහ මහතාගේ පොත් අගය කරන්නේ ද? ඔහු රනිල් වික්‍රමසිංහට සේවය කරන්නේ ඒ නිසා ද? 

නලින් ද සිල්වා


2015 මැයි 14

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.