Breaking
24 Feb 2025, Mon

අප්‍රියෙල් 23 වැනි දින පාර්ලිමේන්තුව විසුරුවා නොහැරියොත් රනිල් වික්‍රමසිංහ අස්විය යුතු යැයි අනුර කුමාර දිසානායක හෙවත් එ ජා පක්‍ෂයේ තරුණ සංවිධානය වූ ජනතා විමුක්ති පෙරමුණේ තරුණ විය ඉක්මවූ නායකයා කියයි. එමෙන් ම කබීර් හෂීම් පාරට බැසීමට කතා කරයි. ඒ සියල්ල පසුපස රනිල් වික්‍රමසිංහ ද තමා අස්වන බව කියන්නේ යැයි කටකතා පැතිර යයි. ඒ කටකතා ඇත්ත වුවත් නැතත් රනිල් අස්වෙයි ද යන ප්‍රශ්නය මෛත්‍රීට (මෛත්‍රීපාලට) වැදගත් ය.

එය අවසාන වශයෙන් තීරණය කෙරෙන්නේ රනිල් විසින් නොව මෙරට බ්‍රිතාන්‍ය හෙවත් ඉංග්‍රීසි මහා කොමසාරිස් කාර්යාලයෙනි. අප කිහිප වතාවක් ම කියා ඇත්තේ මේ වකවානුවේ මෙරට දේශපාලනය තීරණය කෙරෙන්නේ මහින්ද රාජපක්‍ෂ මුළුමනින් ම දේශපාලනයෙන් ඉවත් කෙරෙන්නේ ද නැද්ද යන්න මත ය. අන් සියල්ල , මහාබැංකුවේ සිදුවිණි යැයි කියන මහාපරිමාණ මුදල් ගණුදෙනුව හා අදාළ යහදූෂණය (යහපාලනයෙන් කෙරෙන දූෂණය යහදූෂණය වෙයි), දින සියය, වැඩ සියය, ආදීය ද්විතීයික ප්‍රශ්න වෙයි. ඒ ඇතැම් ප්‍රශ්න පවා අවසානයේ දී මහින්ද ඉවත් කෙරෙන්නේ ද යන්න සමග බැඳී ඇත.

ව්‍යවස්ථා සංශෝධනය, ඊනියා ජාතික ආණ්ඩුව පිහිටුවීම ආදිය ද මහින්ද ඉවත්කිරීම, ඔහුට දඬුවම් කිරීම සමග බැඳී ඇත. රනිල් ඉංග්‍රිසි මහා කොමසාරිස්ට අවනත වී හෝ නොවී හෝ අස්වුවහොත්, ශ්‍රී ල නි පක්‍ෂය කළ යුත්තේ කුමක් ද? රනිල් අස්වුවහොත් එහි තේරුම අප්‍රියෙල් 23 වැනි දින පාර්ලිමේන්තුව විසුරුවා නොහරින බව ය. රනිල්ලාගේ අවාසනාවකට පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ බලතල ඇත්තේ අගමැතිට නොව ජනාධිපතිට ය. 

මෛත්‍රිපාල ට අප්‍රියෙල් 23 වැනි දින පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ අවශ්‍යතාවක් නැත. ඔහු ජනාධිපති ධුර කාලය හදිසි ව්‍යවස්ථා සංශෝධනයකින් අවුරුදු පහකට සීමා නොකළහොත් අවුරුදු හය ම ජනාධිපති ලෙස කටයුතු කරනු ඇත.  ව්‍යවස්ථා සංශෝධනය ගැන ද මෛත්‍රිපාලගෙන් හා රනිල්ගෙන් කියැවෙන්නේ කතා දෙකකි. මෛත්‍රිපාලට හා ඉන්දියාවට අවශ්‍ය දේ කියන රාජිතට අනුව ආණ්ඩුව ජනාධිපති බලතල කප්පාදු කරන අතර මැතිවරණ ක්‍රමය ද සංශෝධනය කිරීමට තීරණය කර ඇත. 

එහෙත් රනිල්ගේ සිතැඟි දන්නා එ ජා ප මාධ්‍ය ප්‍රකාශක අකිල විරාජ්ට අනුව ආණ්ඩුව එවැනි තීරණයක් ගෙන නැත. ආණ්ඩුව කිනම් තීරණයක් ගත්තේ දැයි දැනගැනීමට අපට සෘජු ක්‍රමයක් නැත. එහෙත් රනිල් හා මෛත්‍රී යන නායකයන් දෙදෙනා නම් දැනට පැහැදිලි තීරණවලට පැමිණ ඇත. විදේශීය තානාපති කාර්යාලවල උපදෙස් අනුව ඒ තීරණ වෙනස් විය හැකි බව පමණක් අපි දනිමු. ඒ කෙසේ වෙතත් රනිල් අස්වුවහොත් මෛත්‍රිපාලට ගත හැකි පියවර රාශියක් වෙයි. 

මෛත්‍රිපාලට අවශ්‍ර නම් රනිල් වෙනුවට පර්ලිමේන්තුවේ වැඩි බලයක් ආකර්ෂණය කළ හැකි පුද්ගලයකු අගමැති ලෙස පත්කර ආණ්ඩුව ගෙන ගිය හැකි ය. ඒ සඳහා සුදුසුම පුද්ගලයා කවු ද? ඒ අන් කිසිවකු නොව මහින්ද රාජපක්‍ෂ ය. එහෙත් පැහැදිලි ව ම මෛත්‍රීපාල හා ශ්‍රී ල නි පක්‍ෂයේ ඉහළ නායකත්වය වෙනත් හේතු දක්වමින් එයට විරුද්ධ වනු ඇත.  ඒ මේ රටේ ඛෙදවාචකය ය. ශ්‍රී ල නි  පක්‍ෂයේ නිල ලත්/නොලත් සියලු සාමාජිකයන් එකතු වී මහින්ද රාජපක්‍ෂ ආපසු ගෙන ඒමට තීරණය කළ යුතු ය. ඒ සඳහා පක්‍ෂ නායකයන්ට බල කළ යුතු ය. 

එසේ නොකරන්නේ ශ්‍රී ල නි පක්‍ෂයට ඇති හිතවත් කමක් නිසා නොව පෞද්ගලික පළිගැනීම් සඳහා ය. ශ්‍රී ල නි ප නායකයන් පෞද්ගලික සිතුම් පැතුම් ඉටු කර ගැනීමට ගොස් රට පාවාදීමට සූදානම් බව පෙනේ නම් කළ යුත්තේ ඔවුන් ඊළඟ පාර්ලිමේන්තු මැතිවරණයේ දී දේශපාලනයෙන් ඉවත් කිරීම ය. රනිල්ලා මෙන් ම මෛත්‍රිපාලලා ද දේශපාලනයෙන් හැකි ඉක්මනින් විශ්‍රාම ගැන්වීම රටට වැඩදායක ය.  ඔවුන් මෙහෙයවනු ලබන්නේ විජාතික බලවේග විසිනි.  

නලින් ද සිල්වා

2015 මාර්තු 10

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.