විශේෂාංග

රනිල්ට පුළුවන් ද?

රනිල් වික්‍රමසිංහ මහතා 2022 ජූලි මස බලයට පත්වන්නේ අනුප්‍රාප්තික ජනාධිපති වරයා හැටියට යි. මේ වන විට ඔහු වර්ෂයකට වැඩි කාලයක් සිය තනතුරේ කටයුතු කොට තිබෙනවා. රනිල් වික්‍රමසිංහ ජනාධිපති වරයා සිය තනතුර භාර ගැනීමෙන් අනතුරුව එදිනම රාත්‍රියේ ආගමික කටයුතු සඳහා හුනුපිටිය ගංගාරාම විහාරයට පැමිණියා. එහිදී , මාධ්‍ය කරුවන්ගේ ප්‍රශ්න කිරීම් වලට පිළිතුරු දෙමින් වින්ස්ටන් චර්චිල් උපුටා දක්වමින් ප්‍රකාශ කලේ ඔහු පැවති අර්බුදය හමුවේ රට භාර ගත්තේ ප්‍රධාන ගැටලු තුනක් විසඳීම සඳහා බවයි. ඒවා නම් 1) ආර්ථිකය ගොඩ දැමීම 2) රටේ එවකට පැවති තෙල් සහ ගෑස් පෝලිම් නැති කිරීම; සහ 3) මිනිසුන්ට තුන් වේල කන්න දීම යනාදිය යි.

ආර්ථිකය ගොඩ දැමීම නමින් වික්‍රමසිංහ ජනාධිපති වරයා අදහස් කරන්නට ඇත්තේ ඒ වන විටත් රජය විසින් විදේශීය ණය නොගෙවීමට තීරණය කිරීම තුල ඇති වන පීඩනය අවම කරගැනීම සඳහා IMF සහයෝගය ලබා ගෙන රටේ ණය ගෙවීම සඳහා ඩොලර් ආදායම් වැඩි කර ගැනීමට කඩිනම් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීම විය හැකියි. එමෙන්ම, රටේ ණය තිරසර භාවය ඇති කරගැනීම සහ රටේ සංවර්ධන කටයුතු නැවත ආරම්භ කිරීම විය හැක.

# මේ වන විට අනුප්‍රාප්තික ජනාධිපති රනිල් වික්‍රමසිංහ කොතෙක් දුරට මෙම ප්‍රශ්නය සඳහා විසඳුම් සපයා තිබෙනවා ද?

රනිල්ට පුළුවන් ද? ලිපි මාලාවේ පළමු ලිපියෙන් විග්‍රහ කිරීමට බලාපොරොත්තු වන්නේ ඉහත ප්‍රශ්නයට අදාළ ප්‍රධාන ආර්ථික කරුණු කිහිපයකි. එමෙන්ම ඉදිරි ලිපි මගින් තවත් කරුණු සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙමි.

මෙම විග්‍රහයන් සඳහා පාදක කරගනුයේ IMF, ශ්‍රී ලංකා මහබැංකුව, මුදල් අමාත්‍යාංශය, සහ වෙනත් පිළිගත් ආයතන විසින් සපයා ඇති දත්ත සහ මූලාශ්‍ර බව සලකන්න.

ආර්ථිකයේ පැවති තත්ත්වය ( Selected Economic Indicators )
(මූලාශ්‍රය : IMF වාර්තාව-පිටුව 40, වගුව 1)

# ලංකාවේ විදේශීය ණය බර

* විදේශීය ණය 2022 දෙසැම්බර් 31ට පෙර තත්ත්වය (External Debt before 2022) (ඩොලර් බිලියන)

2019-54.6,
2020-53.4,
2021-57.3, සහ
2022-58.7

* විදේශීය ණය 2022 දෙසැම්බර් 31න් පසු තත්ත්වය (External Debt after 2022 ) (ඩොලර් බිලියන)

2023-56.2
2024-58.3
2025-61.1
2026-63.9
2027-67.7, සහ
2028-69.8

මෙම දත්ත නිරීක්ෂණයේදී ඔබට පැහැදිලි වන්නේ කුමක්ද?

2022 අප්‍රේල් 12 වන දින රට බංකොලොත් බව නිල වශයෙන් ප්‍රකාශ කරන විට සිටි තත්ත්වයටත් (විදේශීය ණය ඩොලර් බිලියන 58.7) වඩා ඉතා දරුණු ණය අර්බුදයකට 2028 වන විට රට පත්වන බව නොවේද ? රජය කල්පනා කරන්නේ මේ අර්බුදයෙන් ගැලවීම සඳහා විසඳුම තවත් ණය ගැනීම කියා නම් කීමට ඇත්තේ අපිට කිසිදා ගොඩ ඒමක් නැත කියාය.

IMF වැඩපිළිවෙළ යටතේ රජයේ ණය යම් ප්‍රතිව්‍යුහගත කිරීමකට ලක් කිරීමෙන් අනතුරුව වුවද ලංකාව ණය බරින් නිදහස් වන බවක් පේන තෙක් මානයක නැත. රනිල්ට පුළුවන් යැයි කියන පිරිස් මේ සඳහා දෙන පිළිතුර කුමක්ද?

# රජයේ සමස්ත ආදායම (Total Revenue ) 2022 දෙසැම්බර් 31 සිට 2028 දෙසැම්බර් 31 දක්වා (රුපියල් බිලියන) (මූලාශ්‍රය : IMF වාර්තාව-පිටුව 41, වගුව 2a)

2022-1,979
2023-3,268 (Proj.)
2024-4,449
2025-5,410
2026-5,900
2027-6,441
2028-7,028

# රජයේ බදු ආදායම (Tax Revenue ) 2022 දෙසැම්බර් 31 සිට 2028 දෙසැම්බර් 31 දක්වා (රුපියල් බිලියන)(මූලාශ්‍රය : IMF වාර්තාව-පිටුව 41, වගුව 2a)

2022-1,751
2023-3,005 (Proj.)
2024-4,154
2025-5,090
2026-5,553
2027-6,035
2028-6,589

# රජයේ සමස්ත ආදායමින් බදු ආදායම අඩුකල විට අනෙකුත් ක්ෂේත්‍ර වලින් ලබන ආදායම (රුපියල් බිලියන )

2022-228
2023-263 (Proj.)
2024-295
2025-320
2026-347
2027-406
2028-439

රජයේ සමස්ත ආදායමේ (2022-2028) බදු පංගුව ඉවත් කොට දී ඇති දත්ත විමසා බලන්න. එවිට ඔබට පෙනී යන්නේ කුමක්ද? රජය විශාල වශයෙන් තම ආදායම් එකතු කරගැනීමට බලාපොරොත්තු වන්නේ සෘජු සහ වක්‍ර බදු ආදායමෙන් වන අතර ඉදිරි වර්ෂ කිහිපයම එක දිගට ඔබට විශාල බදු බරකින් පෙලීමට සිදුවනු ඇත. එසේනම්, ඔබ තවත් “පටි තද කරගැනීමට” දැන් සිටම සූදානම් වන්න.

මෙහිදී සාමාන්‍ය ජනයාට බලපාන VÅT බද්ද හරහා සෑම වර්ෂයකම විශාල ආදායමක් ඉපැයීමට රජය බලාපොරොත්තු වන අතර සමාගම් සහ පුද්ගල ආදායම් බදු ආදායම (Income Taxes) අපේක්ෂිත VÅT බදු ආදායමට වඩා බොහෝ සෙයින් අඩුය. ලංකාවේ ජාතික ආදායමින් 80% භුක්ති විඳින්නේ රටේ මි. 22ක් ජනගහනයෙන් 20% වන අතර, රටේ 80% ක් ජනගහනය භුක්ති විඳින්නේ ජාතික ආදායමින් 20% කි. එහෙත්, බදු ගෙවීමේදී ජාතික ආදායමින් වැඩි පංගුවක් භුක්ති විඳින පිරිස් විශාල වශයෙන් බදු නොගෙවන අතර ඔවුන්ට ඒ සඳහා රාජ්‍ය අනුග්‍රහයද ලැබෙන බව ඔබට වැටහෙනවා ඇති. රටේ වරප්‍රසාද අහිමි අඩු ආදායම් ලාභීන් මත සියළු බර පැටවීම රනිල් වික්‍රමසිංහලා අනුගමනය කරන නිදහස් වෙළෙඳපොළ ආර්ථික ක්‍රම වල ස්වභාවය යි.

# රජයේ සමස්ත බදු ආදායමෙන් VAT ආදායම වෙන්කොට පහත දක්වා ඇත. (රුපියල් බිලියන )

2022-463
2023-796 (Proj.)
2024-1,456
2025-1,607
2026-1,763
2027-1,917
2028-2,088

වාර්ෂිකව VAT බදු හරහා විශාල ආදායමක් ඉපැයීමට රජය බලාපොරොත්තු වන බවක් ඔබට පෙනී යනු ඇත. විශේෂයෙන්ම 2024 දී VAT ආදායම 2023 ට වඩා දෙගුණයකට ආසන්න මට්ටමින් වැඩි කරගැනීමට රනිල් වික්‍රමසිංහ රජය බලාපොරොත්තු වේ. රටේ අඩු ආදායම් ලාභී ජනයා තවත් දරිද්‍රතා රේඛාවෙන් පහළට යෑම නොවැළැක්විය හැකිය.

රටක වක්‍ර බදු ආදායම වැඩි වීමට නම් බහුතර ජනයාගේ පරිභෝජනය ඉතා විශාල වශයෙන් ඉහළ යා යුතුය. ඔවුන්ගේ ආදායම් ඉහළ ගොස් , මිල දී ගැනීමේ හැකියාව පුලුල් වී වඩා ඉහළ ජීවන තත්ත්වයක් ඇති විය යුතුය. වෙළෙඳපොළ භාණ්ඩ හා සේවා බහුල විය යුතු අතරම වෙළෙඳපොළ ඉතා හොඳින් සක්‍රීය විය යුතුය. රජයේ සහ පෞද්ගලික ආයෝජන ඉහළ යා යුතුය. එහෙත් ඔබගේ හෝ රටේ ආදායම් ඉහළ යාමක් දී ඇති සංඛ්‍යාලේඛන විමසා බැලීමේදී ඔබට පේන්නට තිබෙනවා ද ?

එසේනම්, ඔබ ඔබෙන්ම ප්‍රශ්න කරන්න. රනිල්ට පුළුවන් ද ? පිළිතුර ඔබ සතුය.

මේ සියළු දත්ත ඔබ ස්වාධීනව විශ්ලේෂණය කොට ඔබටම තීරණයකට එළඹීමට අවස්ථාව ඇත. රනිල් වික්‍රමසිංහ ජනාධිපති වරයා 2048 සංවර්ධිත රටක් ඔබට ලබා දෙනවා යැයි කියයි!! එසේ වන්නේ නම් යහපත් ය. එහෙත්, එය තවත් එක් අහස් මාලිගාවක් පමණක් වෙයිද?

ශාන්ත ජයරත්න
ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේ හිටපු ජ්‍යෙෂ්ඨ උපදේශක
8.8.2023

මෙය ලිපි මාලාවක පළමු ලිපියයි. මින් බලාපොරොත්තු වන්නේ ලංකාවේ පවතින දේශපාලන හා ආර්ථික තත්වයන් සරලව විග්‍රහ කිරීම මගින් ඔබගේ දැණුම සහ අවබෝධය පුලුල් කිරීම යි.

Top