Breaking
24 Feb 2025, Mon

CSN කාගේද? මෙන්න ඇත්ත

2016 පෙබරවාරි 17 දින පැවැති ඒකාබද්ධ විපක්ෂයේ මාධ්‍ය හමුවේ දී නීතිඥ උදය ගම්මන්පිල මහතා සිදු කළ ප්‍රකාශය

සීඑස්එන් නාලිකාව පිළිබඳ ආණ්ඩුවේ කතාව ඇත්ත ද?

චෝදනාව

ජනමාධ්‍යයන්හි සඳහන් වූ අයුරින් සීඑස්එන් නාලිකාවේ අධ්‍යක්ෂවරුන් සහ හිටපු ප්‍රධාන විධායක නිළධාරින්කුප්‍රකට මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ 2006 අංක 05 දරණ මුදල් විශුද්ධිකරණය වැලැක්වීමේ පනත යටතේ සපයා ගත් ආකාරය හෙලිදරව් කල නොහැකි අරමුදල් යොදා සීඑස්එන් රූපවාහිනි නාලිකාව ආරම්භ කළ බවට චෝදනා කරමිනි.  වඩාත් සරලව පැවසුවොත් කළු සල්ලි සුදු කිරීමේ චෝදනාව යටතේය.

මාධ්‍ය වාර්තා කළ අයුරින් සපයා ගත් ආකාරය හෙලි කළ නොහැකි ඩොලර් මිලියන 5ක මුදලක් විදෙස් රටකින් සීඑස්එන් නාලිකාවට ලැබී තිබේ.  මෙම සම්පූර්ණයෙන්ම පදනම් විරහිත චෝදනාවකි.  කිසිම විදේශ රටකින් කිසිම මුදලක් සීඑස්එන් නාලිකාවට ලැබී නොමැත.  ඒ පිළිබඳ සාක්ෂි ඇත්නම් ඉදිරිපත් කරන මෙන් අපි ආණ්ඩුවට අභියෝග කරමු.

සමහර මාධ්‍ය වාර්තා කර තිබුණේ සමාගමේ ආයෝජනය කර ඇති රුපියල් මිලියන 207ක මුදලක් සපයා ගත් ආකාරය හෙලි කිරීමට නොහැකි වීමෙන් ඉහත කී චෝදනාවට ලක් වී ඇති බවයි.  මිලියන 7ක් ප්‍රාග්ධනය ලෙස ද මිලියන 200ක් ණය ලෙස ද රුපියල් මිලියන 207ක් සමාගමේ ආයෝජනය කර ඇති බව සත්‍යයකි.  නමුත් එම අරමුදල් සපයා ගත් ආකාරය පිළිබඳ සියළුම ලිඛිත සාක්ෂි පොලීසියට ඉදිරිපත් කර ඇත.  එසේ නම් පොලීසිය විසින් පදනම් විරහිතව මෙම චෝදනා නගන්නේ කෙසේද?

පසුබිම

යෝෂිත රාජපක්ෂ ක්‍රීඩකයෙකු මෙන්ම ක්‍රීඩා ලෝලියෙකි.  ඔහු නාවික හමුදාවේ රගර් කණ්ඩායමේ මෙන්ම ජාතික රගර් කණ්ඩායමේ ද නායකත්වය දරා ඇත.  එමෙන්ම ඉලක්කයට වෙඩි තැබීමේ තරග වලින් ජාතික ශූරතාවය දිනා ජාත්‍යන්තර තරග වල දී ද ලංකාව නියෝජනය කර ඇත.  එමෙන්ම ජාතික එල්ලේ සම්මේලනයේ සභාපති ධූරය ද දරා ඇත.

ලෝකය පුරා ක්‍රීඩා සඳහා වෙන් වුණු නාලිකාවන් තිබුණත් ලංකාවේ එවැනි නාලිකාවක් තිබුණේ නැත.  එබැවින් ප්‍රවෘත්ති සහ ටෙලි නාට්‍ය විකාශනය කිරීම් හරහා බාධා වීමකින් තොරව ක්‍රීඩා තරග නැරඹීමේ අවස්ථාව ශ්‍රී ලාංකික ක්‍රීඩා ලෝලින්ට නොවිණි.

මේ පිළිබඳ සිය මිතුරන් සමග සාකච්ඡා කර ක්‍රීඩා සඳහා වෙන් වූ රූපවාහිනි නාලිකාවක් කාල්ටන් ස්පෝර්ට්ස් නෙට්වර්ක් හෙවත් “සීඑස්එන්“ නමින් ආරම්භ කිරීමට යෝෂිත විසින් සිය මිතුරන් දිරිමත් කරන ලදී.  යෝෂිත රාජපක්ෂ කිසිම දිනක කොටස් හිමියෙකු හෝ අධ්‍යක්ෂවරයෙකු වූයේ නැත.  නමුත් තමන්ගේ සංකල්පයක් මෙන්ම සිහිනයක් සැබෑ කරන ආයතනයක් බැවින් ඊට සෘජුවම මැදිහත් වී ආයතනයේ දියුණුවට කැප වන ලදී.එමෙන්ම එම නාලිකාවේ සන්නාම තානාපතිවරයෙකු ලෙස ද කටයුතු කලේය.

සමාගමේ ආරම්භක ප්‍රාග්ධනය යොදන ලද්දේ අධ්‍යක්ෂවරු විසිනි.  යෙද වූ මුල් මුදල වන්නේ රුපියල් මිලියන 7කි.  ඒ අශාන් ප්‍රනාන්දු මිලියන 5ක් ද අශාඩියා කරුණාජීව මිලියනයක් ද කවිෂාන් දිසානායක මිලියනයක් ද වශයෙනි.  එම මුදල් වෙනුවෙන් අදාළ ආයෝජකයින්ට කොටස් නිකුත් කර ඇත.  අධ්‍යක්ෂවරයෙකු මෙන්ම පළමු ප්‍රධාන විධායක නිළධාරි ද වූ රොහාන් වැලිවිට තමන්ගේ තිනෙත නම් චන්ද්‍රිකා රූපවාහිනි නාලිකාව සතු වූ  මිලියන 4ක් පමණ වටිනා උපකරණ ද සේවකයින් ද සීඑස්එන් නාලිකාවට ලබා දෙන ලදී.

විකාශන කටයුතු ඇරඹීම සඳහා ගොඩනැගිල්ලක් රුපියල් ලක්ෂයකමාසික බදු කුලිය මත ලබා ගෙන ඇත. වීඅයිඑස් බ්‍රෝඩ්කාස්ටින් සමාගමෙන් සංඛ්‍යාත සහ උපකරණ ද කුලියට ලබා ගෙන ඇත.  පසු කාලීනව මෙම නාලිකාව සඳහාම සංඛ්‍යාත ලබා ගන්නා ලදී.

ආයතනය කර ගෙන යෑමට ආරම්භක මුදල ප්‍රමාණවත් නොවුණු බැවින් 2011 මාර්තු සහ සැප්තැම්බර් අතර වරින් වර ණය මුදල් ලබා ගන්නා ලදී.  එසේ ලබා ගත් මුළු ණය මුදල රුපියල් මිලියන 200කි.  එයින් මිලියන 50ක් ලබා දී ඇත්තේ ලංකා ඔරික්ස් ෆිනෑන්ස් සමාගමයි.  ඒ සඳහා ටීපීඑල් හෝල්ඩිංග්ස් සමාගම සතු රුපියල් මිලියන 76ක බැංකු ස්ථාවර තැන්පතුවක් ඇපයට තබා ගෙන ඇත.  මේ පිළිබඳ ලංකා ඔරික්ස් ෆිනෑන්ස් සමාගම වෙනුවෙන් පෙනී සිටිමින් කඩුවෙල මහෙස්ත්‍රාත් ඉදිරියේ කරුණු දැක්වූ ජනාධිපති නීතිඥ රියෙන්සි අර්සකුලරත්න මහතා පැවසුවේ තමන්ගේ සාමාන්‍ය ව්‍යාපාරය වන්නේ ඇපයට දේපලක් තබා ගෙන ණය ලබා දීම බවත් ඒ අනුව සීඑස්එන් නාලිකාවට ඇපයක් තබා ගෙන ණයක් ලබා දීම තවත් එක් සාමාන්‍ය ගනුදෙනුවක් පමණක් බවත්ය.

තවත් මිලියන 50ක් ලබා ගෙන ඇත්තේ ලංකාවේ සුප්‍රකට ව්‍යාපාරිකයෙකුගෙනි.  ඒ සඳහා ණය ගිවිසුමක් ද අත්සන් කර ඇත.  එකී ණය මුදල ලබා දුන් ඔහු දැන් පවසන්නේ තමන් ණය මුදලක් නොදුන් බවත් තමන්ට තර්ජනය කර බිය ගන්වා මෙම ණය ගිවිසුමට අත්සන් කරවා ගත් බවකි.  එය හුදෙක්ම සීඑස්එන් නාලිකාවේ අධ්‍යක්ෂවරු අමාරුවේ දැමීමේ දුෂ්ට අරමුණින් පවසන කතාවක් බව පැහැදිලිය.  ඔහු ඒ පිළිබඳ කිසිම දිනක කිසිවෙකුට පැමිණිලි කර නැත.  එම කතාව පොලීසිය විශ්වාස කිරීමට නම් මුලින්ම කළ යුත්තේ ගිවිසුමේ ණය දුන්  බවට සඳහන් පුද්ගලයා දිසා උසාවියට මෙම කරුණු ඉදිරිපත් කර එම ගිවිසුම වලංගු නොමැති බවට ප්‍රකාශ කර ගැනීමයි.  මේ වන තෙක් එවැනි කිසිම ක්‍රියා මාර්ගයක් ගෙන නැත. එබැවින් එකී ණය ගිවිසුම නොසළකා හැරීමට පොලීසිය ගත් තීරණය නීති විරෝධිය.

ඉතිරි මිලියන 100 ලබා දුන්නේ කොස්මොස් ටෙක්නොලොජි සහ කොස්මොස් ප්‍රින්ටින් යන සමාගම් වලිනි.  එම මුදල චෙක්පත් වලින් සහ සල්ලි වලින් වරින් වර ලබා දී ඇත.  එම සමාගමේ අධ්‍යක්ෂවරුන් ද තමන් මුදල් ලබා නොදුන් බවත් තර්ජනය කර බලහත්කාරයෙන් ගිවිසුමට අත්සන් ලබා ගත් පවසා ඇත.  නමුත් එම ගිවිසුම අවලංගු බවට කිසිම අධිකරණයක් මගින් ප්‍රකාශ කර ගෙන නොමැත.

මීට අමතරවචෙස්මි ලිමිටඩ් ආයතනයෙන් රු මි 27ක් ණයට ලබා ගත් අතර එම මුදල සම්පූර්ණයෙන්ම ආපසු ගෙවා ඇත.

මේ අනුව පෙනෙන්නේ රුපියල් මිලියන 207 සපයා ගත් ආකාරය පිළිබඳ ලිඛිත සාක්ෂි ඉදිරිපත් කර තිබිය දී පදනම් විරහිතව මූල්‍ය විශුද්ධිකරණ චෝදනා ගොනු කර අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට සලස්වා ඇති බවයි.  මෙම පිරිස රක්ෂිත බන්ධනාගාර ගත කිරීමේ අරමුණෙන් ලිඛිත ණය ගිවිසුම් නොසළකා හැරීමට තීරණය කර ඇති බවයි.  මූල්‍ය විශුද්ධිකරණය පිළිබඳ සැකකරුවන්ට ඇප ලබා දීමට මහෙස්ත්‍රාත්වරුන්ට බලය නොමැති හෙයින් දිගු කලක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමේ දුෂ්ට අරමුණින් මෙම චෝදනා ගොනු කර ඇති බව පෙනේ.

රාජ්‍ය දේපල අපහරණය හෝ රේගුවට ව්‍යාජ ලිපි ලේඛණ ඉදිරිපත් කිරීම පිළිබඳ මාධ්‍ය වාර්තාවන්හි සඳහන් වුවත් 2016 ජනවාරි 30 දින අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ දී පොලීසිය ගොනු කළ වාර්තාවේසඳහන් කර තිබුණේ මූල්‍ය විශුද්ධකරණ පනත යටතේ අත්අඩංගුවට ගත් බව පමණි.

රාජ්‍ය දේපල අපහරණය හෝ රේගුවට ව්‍යාජ ලේඛණ ඉදිරිපත් කිරීම හෝ වෙනත් යම් වරදක් කර ඇත්නම් එයට දඬුවම් කිරීම පිළිබඳ අපේ කිසිම විරෝධයක් නැත.  නමුත් නොකළ වරදක් පිළිබඳ පදනම් විරහිත චෝදනා නැගීම හුදෙක් දේශපාලන පලි ගැනීමකි.

මා මෙම ලිපිය සඳහා පදනම් කර ගත්තේ සීඑස්එන් නාලිකා අධ්‍යක්ෂවරුන් සමග පැවැත්වූ සාකච්ඡා සහ ආයතනය සතු ලිපි ලේඛණ පරිශීලනයෙන් ලබා ගත් තොරතුරුය.

නීතිඥ උදය ගම්මන්පිල

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.