Published on: Jan 04, 2018 – “මනුෂ්‍ය ඝාතන කරපු අයව අල්ලලා උසාවියේ දඬුවම් දෙන්න පුළුවන්. මේ ආර්ථික ඝාතකයෝ සිය දහස් ගණන් මිනිස් ඝාතන සිදුකරලා, වැරදි ආර්ථික ක්‍රම රටවලට හඳුන්වලා දීලා එන්. ජී. ඕ. බත්බැලයෝ වෙලා එන්. ජී. ඕ. ඩොලර් අරගෙන බොහෝම සුව සේ තමන්ගේ ජීවිතය ගත කරනවා.”
තොරතුරු තාක්‌ෂණ වෘත්තීයවේදීන්ගේ සංගමයේ ලේකම් ලසන්ත වික්‍රමසිංහ
වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ විසින් පසුගියදා කොළඹ මහජන පුස්‌තකාල ශ්‍රවනාගාරයේදී ‘රට විකිණීමට එරෙහිව් පැවැත්වූ සම්මන්ත්‍රණයේදී තොරතුරු තාක්‌ෂණ වෘත්තීයවේදීන්ගේ සංගමයේ ලේකම් ලසන්ත වික්‍රමසිංහ මහතා විසින් එට්‌කා ගිවිසුම සහ ශ්‍රී ලංකාවේ ආර්ථික ඝාතකයෝ යන තේමාව යටතේ පැවැත්වූ දේශනය:
එට්‌කා ගිවිසුම සම්බන්ධයෙන් ප්‍රධාන වගකීම දරන අමාත්‍ය මලික් සමරවික්‍රම මහත්තයාට මේ රටේ සංවර්ධනය සම්බන්ධයෙන් තිබෙන්නේ පුදුම උනන්දුවක්. හැබැයි එතුමා අමාත්‍යාංශයක් ගත්ත දවසෙ ඉඳලා මේ වෙනකල් එට්‌කා ගිවිසුම සම්බන්ධයෙන් ක්‍රියා කළත් එතුමා තවම අසමත් වෙලා තියෙනවා එට්‌කා ගිවිසුම සම්බධන්ධයෙන් ශක්‍යතා අධ්‍යනයක්‌වත් කරන්න. ඒ නිසා අපි ශක්‍යතා අධ්‍යනයක් කරලා ඒක පොතක් විදියට ප්‍රකාශයට පත් කරලා කථානායකවරයාගේ අනුමැතිය අරගෙන සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට දීලා තියෙනවා. කථානායකතුමාත් අපට ලිපියක් යොමු කළා වගකිවයුත්තන්ගේ අවධානයට ලක්‌විය යුතු මෙවැනි කෘතියක් රචනා කිරීම සමබන්ධයෙන් ස්‌තුතිය ප්‍රකාශ කරලා. ඉතින් මේකේ ප්‍රධානම වගකිවයුත්තෙක් තමා මලික් සමරවික්‍රම ඇමැතිතුමා. අපි හිතනවා එතුමා මේ පොත කියවයි කියලා. ඒ වගේම තමා එතුමාගේ රාජ්‍ය ඇමැතිතුමා, සුජීව සේනසිංහ. අපි කවුරුත් දන්නවා එතුමා පොත් ලියන කෙනෙක්. ළඟදී පොතක් ලිව්වා බැඳුම්කර වංචාව ගැන. එනිසා එතුමා කොහොමත් මේ පොත බලන්න ඇති. මේ අවුරුද්දේ ඔක්‌තෝම්බර් මාසයේ එට්‌කා ගිවිසුම සම්බන්ධයෙන් ලංකා එට්‌කා කණ්‌ඩායමේ 12 දෙනා ඉන්දියාවේ එට්‌කා කණ්‌ඩායමත් එක්‌ක නවදිල්ලි නුවරදී 6 වැනි සාකච්ඡා වටය පැවැත්වූවා. එහිදී තීරණය වුණා 7 වැනි සාකච්ඡා වටය කොළඹදී දෙසැම්බර් මාසයෙදී පවත්වන්න. නමුත් මේවා කාටවත් දැනගන්න ලැබෙන්නේ නෑ. අපි මේ කතාකරන මොහොත වන විට ජාතියේ ගෙල සිරකරන මේ කුමන්ත්‍රණය ලංකා කණ්‌ඩායමේ 12 දෙනාත් ඉන්දියානු කණ්‌ඩායමේ කිහිප දෙනාත් අතර කොළඹ කොහේ හෝ තැනක සිදුවෙනවා වෙන්න පුළුවන්. එය බොහෝ විට මේ එට්‌කා ගිවිසුම සම්බන්ධයෙන් සිදුවන අවසන් සාකච්ඡා වටය වෙන්න පුළුවන්. එසේ වුවහොත් 2018 වසරේ මුල් කාර්තුව තුළ එට්‌කා ගිවිසුම අත්සන් කරන්නට සියලු කටයුතු සූදානම්.
එට්‌කා සාකච්ඡා කණ්‌ඩායමේ ඉන්න නිලධාරීන් පිරිස මේ දේශෙද්‍රaහී කටයුත්ත ජනතාවට හොරෙන් කරගෙන යද්දී, තවත් පිරිසක් ඉන්නවා මේ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වන. ඒ තමයි මේ රටේ ඉන්න ආර්ථික ඝාතකයෝ. මේ ආර්ථික ඝාතකයෝ කියන පිරිස තමන්ව හඳුනාගන්නේ ‘ආර්ථික විශේෂඥයෝ’ කියලා. මොවුන් ඉංග්‍රීසි කතාකරන ටයි කෝට් පළඳින ජාතියක්. හැංගිලා ඉන්න ඝාතකයෝ නෙමේ මේ අය. අපි මේ අයව රූපවාහිනියේ දකිනවා. පත්තරවල ඔවුන්ගේ ලිපි පළ වෙනවා. හැබැයි මේ පිරිස කරන්නේ මේ ජාතිය ඝාතනය කරන එක.
අපි එකක් මතක තියාගත යුතුයි. අපි අතරෙම අපිත් එක්‌ක සුහදව ඉන්න මේ ඝාතකයා, ඝාතකයෙක් කියලා හඳුනාගන්න අපි අසමත් වුණොත් මේ ඝාතකයන් අතින් අපව ඝාතනය වන බව අපි තේරුම්ගන්න ඕනා.
මේ ළඟදී, රසීන් සැලී කියන පුද්ගලයා, ප්‍රතිපත්ති අධ්‍යයන ආයතනයේ ප්‍රධානියා පවසනවා, වෙළෙඳ හිඟය කියන එක ප්‍රශ්නයක් නෑ. ඒ ගැන කලබල වෙන්න ඕනැ නෑ කියලා. ඇයි මේ පුද්ගලයන්ට මෙහෙම කියන්න සිද්ධ වෙන්නේ?
මේක ඉතාම වැදගත් කාරණයක්. අපි මේක හරියට තේරුම් ගත්තොත් අපිට පුළුවන් මේ ආර්ථික ඝාතකයන් කවුද කියලා හඳුනාගන්න. මේ ආර්ථික ඝාතකයන් මෙහෙම කියන්නේ සුවිශේෂී හේතුවක් ඇතුව. ඇයි වෙළෙඳ හිඟය, එහෙමත් නැත්නම් ආනයන අපනයන් පරතරය වැඩිවීම ප්‍රශ්නයක් නෙමෙයි කියලා මේ අයට කියන්න සිද්ධවෙලා තියෙන්නේ?
ලංකාවේ වාර්ෂික වෙළෙද හිඟය ඇමෙරිකානු ඩොලර් බිලියන 9 ක්. ඒ කියන්නේ එක අවුරුද්දකට හම්බන්තොට වරායවල් 9 ක් වටින මුදලක් අපේ රටින් පිටවෙනවා භාණ්‌ඩ වෙළෙමෙන්. ඔබට මතක ඇති අපේ අගමැතිතුමා අර චෙක්‌පතක් උස්‌සන් හිටියා හරියට තරගයක ‘මෑන් ඔෆ් ද මෑච්’ හම්බෙලා වගේ. ඒකේ තිබ්බේ කීයක් ද ඇමෙරිකානු ඩොලර් බිලියන බින්දුවයි දශම දෙකයි නවයයි (0.29). වාර්ෂික වෙළෙද හිඟය වන ඇමෙරිකානු ඩොලර් බිලියන 9 න් හතරක් පමණ එන්නේ ඉන්දියාවත් එක්‌ක වෙළෙඳාමෙන්. ඒ හා සමාන වෙළෙඳ හිඟයක් චීනයත් සමඟ තියෙන වෙළෙඳාමෙනුත් එනවා. ඒ කියන්න ඉන්දියාව සහ චීනය සමඟ එක වසරකට වෙළෙඳ හිඟය හම්බන්තොට වරායවල් 8 ක්.
මේක අපේ ආර්ථිකයේ තියෙන එක්‌තරා රෝගයක්. ඇයි මේක ප්‍රශ්නයක් වෙන්නේ? අපට ඩොලර් අච්චු ගහන්න බෑ. අපි භාණ්‌ඩ වෙළෙඳාම් කරලා වැඩිපුර රටෙන් පිටවන ඩොලර් ප්‍රමාණය කොහෙන් හරි හොයන්න ඕනා. කොහෙන්ද අපි ඒ වැඩිපුර පිටවන ඩොලර් ප්‍රමාණය හොයන්නේ? මේ ආර්ථික විශේෂඥයන්ට අපි අවධාරණය කරලා කියනවා, වෙළෙඳ හිඟය ප්‍රශ්නයක් ද නැද්ද කියන එක තේරුම්ගන්න වෙන්නේ ඒ වෙළෙඳ හිඟය කිසියම් රටක් පියවන්නේ කෙසේද කියන කාරණය උඩ. ඇමෙරිකාව වගේ රටක් වෙන රටවල ආයෝජනය කරලා ඉන් ලැබෙන ලාභාංශ වලින් ඒ වෙළෙඳ හිඟය පියවනකොට ඒක ලොකු ප්‍රශ්නයක් නොවෙන්න පුළුවන්. හැබැයි අපි කොහොමද මේ වෙළෙඳ හිඟය පියවන්නේ? අපේ රටට එක අවුරුද්දකට ඇමෙරිකානු බිලියන හතක් එවන්නේ විදේශ රටවල සේවය කරන ශ්‍රී ලාංකිකයෝ. ඒකෙන් හරි අඩක් මේ රටට එවන්නේ මැදපෙරදිග වැඩකරන අම්මලා. වෙළෙඳාම් කරලා එළියට යන ඒ ඩොලර් ටික පියවන්නේ මේ අහිංසක මිනිස්‌සුන්ගේ සල්ලි. ඒ මිනිස්‌සුන්ගේ දහදිය සහ ඒ මිනුස්‌සුන්ගේ ජීවිත. මේ ආර්ථික ඝාතකයෝ අපිට කියනවා වෙළෙඳ හිඟය ප්‍රශ්නයක් නෑ කියලා. එතකොට ඇයි මේ අය මෙහෙම කියන්නේ කියලා පැහැදිලියි. එට්‌කා ගිවිසුමෙන් යෝජනා කරනවා ඉන්දියා එට්‌කා ගිවිසුමෙන් යෝජනා කරනවා ඉන්දියාවෙන් ගෙන්වන භාණ්‌ඩවලින් 90% කටම ආනයනික බද්ධ සම්පූරණයෙන්ම ඉවත් කරන්න. අපි දන්නවා ඉන්දියාවත් එක්‌ක කිසියම් ගිවිසුමකට එළැඹුනොත් අපිට චීනයත් එක්‌කත් එවැනිම ගිවිසුමකට එළැඹෙන්න සිද්ධ වෙනවා. චීනය එක්‌කත් සාකච්ඡා කරන් යනවා එවැනිම ගිවිසුමක් සඳහා. චීනයෙන් ආනයනික භාණ්‌ඩවලින් 90% කුත් සම්පූර්ණ ආනයනික බද්දෙන් නිදහස් කරන්න යනවා.
එතකොට ලංකාවට කෙරන ඉන්දියානු සහ චීන ආනයන ඉහළ යනවා. එතකොට ඔවුන් දන්නවා මේ වෙළෙඳ හිඟය ඉතා වේගයෙන් ඉහළ යන බව. රටෙන් පිටවන ඩොලර් ප්‍රමාණය වැඩිවෙනවා. මේ පීඩනය දරාගන්න වෙන්නේ මේ රටේ ජනතාවට. ඒ නිසා මේ රෝගයට මේක රෝගයක් නෙමෙයි කියලා තමයි මේ ආර්ථික ඝාතකයෝ කියන්නේ. මොකද ඔවුන් යෝජනා කරන බෙහෙතෙන් මේ රෝගය ඔඩුදුවන බව ඔවුන් දන්නවා. ඉතින් ඒගොල්ලෝ අපිට කියනවා මේකේ ප්‍රශ්නයක් නෑ. මේකේ ලෙඩක් නෑ කියලා. වෙළෙඳ හිඟය ගැටලුවක් නෙමෙයි කියන බොරුව සමාජගත කරලා විතරයි මේ අයට එට්‌කා ගිවිසුම ගැන කතා කරන්න පුළුවන් වෙන්නේ.
මෙච්චර කල් මේ ලෙඩේට අපිට තිබුණ පිළියම තමයි අර මම කියපු විදේශ ශ්‍රමිකයෝ මෙහෙට එවන මුදල. දැන් මේ ගිවිසුමෙන් පස්‌සේ මොකද වෙන්නේ ඒ පිළියමට? ඒ පිළියමටත් විශාල තර්ජනයක් ඇති වෙනවා.
එට්‌කා ගිවිසුමෙන් යෝජනා කරනවා සෞඛ්‍ය, අධ්‍යාපනය, මහමාර්ග සහ ප්‍රවාහන සේවා, සංචාරක, තොරතුරු තාක්‌ෂණ, බලශක්‌තිය, බැංකු සහ මූල්‍ය සේවා, රක්‌ෂණ, විනෝදාශ්වාදය ආදී සෑම ක්‌ෂේත්‍රයක්‌ම ඉන්දියානුවන්ට විවර කරන්න. විනෝදාශ්වාදය කිව්වහම සියලු දේවල් අයත් වෙනවා සින්දු කියන එක, චිත්‍රපටි කරන එක විතරක් නෙමේ මඟුල් ගෙවල්වල ඡායාරූප ගන්න එකත් ඒකට ඇතුළත් වෙනවා.
මේ සියල්ල සඳහා ඉන්දියානු කර්මාන්ත සහ ඉන්දියානු ශ්‍රමිකයන්ට මෙහෙට එන්න පුළුවන් වෙනවා. එතකොට අර මැදපෙරදිග රටවල ලාංකික මවුවරුන් දහදුක් විඳලා මෙහෙට එවන මුදල්, ඉන්දියානු ශ්‍රමිකයෝ මෙහෙට ඇවිල්ලා රුපියල්වලින් පඩි අරගෙන ඩොලර්වලට මාරු කරලා ඉන්දියාවට පිටකරන කොට අර පිළියමත් දුර්වල වෙනවා මේ එට්‌කා ගිවිසුමෙන්. එතකොට එක පැත්තකින් වෙළෙඳ හිඟය වැඩිවෙන කොට ඒකට මෙච්චර කල් පිළියම විදියට තිබිච්ච විදේශ සේවා නියුක්‌තිකයන්ගේ ප්‍රේෂණවල ශුද්ධ අගය අඩුවෙනවා. අපේ රටේ විදේශ සංචිත අඩු වෙනවා. ඒ කියන්නේ අපි ගාව තියෙන ඩොලර් අඩු වෙනවා. රුපියල අවප්‍රමාණය වෙනවා. එතකොට අපිට විදේශීය ණය ලබාගන්න වෙනවා. අපිට තව තව තීව්‍ර ලෙස අපේ ජාතික සම්පත් විකුණන්න වෙයි. එහෙම විකුණගෙන විකුණගෙන ගියාට පස්‌සේ අපිට තැනක් එනවා අපි ළඟ තියෙන ජාතික සම්පත් ඔක්‌කොම විකුණලා ඉවර වෙන. සීගිරිය විකුණයි. සිංහරාජය විකුණන්න වෙයි. ඊට පස්‌සේ අපි මොනවද විකුණන්නේ? අන්න එදාට එනවා ගෙවුම් තුලන අර්බුදය. එතකොට මේ ආර්ථික විශේෂඥයෝ කියන අය කිසි කෙනෙක් මේකේ වගකීම ගන්නවද? නැහැ. ඒක තමයි මනුෂ්‍ය ඝාතකයන්ගේ සහ ආර්ථික ඝාතකයන්ගේ තියෙන වෙනස. මනුෂ්‍ය ඝාතන කරපු අයව අල්ලලා උසාවියේ දඬුවම් දෙන්න පුළුවන්. මේ ආර්ථික ඝාතකයෝ සිය දහස් ගණන් මිනිස් ඝාතන සිදුකරලා, වැරදි ආර්ථික ක්‍රම රටවලට හඳුන්වලා දීලා එන්. ජී. ඕ. බත්බැලයෝ වෙලා එන්. ජී. ඕ. ඩොලර් අරගෙන බොහෝම සුව සේ තමන්ගේ ජීවිතය ගත කරනවා.
මෙහෙම ආනයනික බදු අඩු කළහම රජයට ලැබෙන බදු ආදායමට මොකක්‌ද වෙන්නේ. රජය ඒ අහිමිවන බදු ආදායම වෙන කොහෙන් හෝ ලබාගත යුතුයි. කොහෙන්ද ගන්නේ? මේ රටේ දුප්පත් මිනිස්‌සුන්ගේ බොටුව මිරිකලා ඒ මිනිස්‌සුන්ගෙන් තමයි ගන්න වෙන්නේ. මේ රටේ ඉන්නවා නම් ආර්ථික විශේෂඥයෝ එට්‌කා හොඳයි කියන අපි ආරාධනා කරනවා විවාදයකට එන්න කියලා.
දැන් කෙනෙකුට හිතෙන්න පුළුවන් වෙළෙඳ ගිවිසුම් මෙච්චර නරකද කියලා. තව රටවල් තියෙනෙවා වෙළෙඳ ගිවිසුම් ගහලා තියෙන. ඒක සාධාරණ පැනයක්. සමහර වෙළෙඳ ගිවිසුම් තියෙනවා ප්‍රවේශමෙන් අධ්‍යනය කරලා, ශක්‍යතා අධ්‍යනයක් නිවැරදිව තේරුම් අරගෙන ගිවිසුම්ගත වෙලා යම්කිසි වාසීන් ලැබිය හැකියි. මම එක උදාහරණයක් කියන්නම්. ඇමෙරිකාව සහ මෙක්‌සිකෝව අතර තියෙන වෙළෙඳ ගිවිසුමක් සැලකුවොත් ඇමෙරිකාවට තියෙනවා අතිරික්‌ත ප්‍රාග්ධනය. මෙක්‌සිකෝවට තියෙනවා අඩු මිල ශ්‍රමය සහ අඩු නිෂ්පාදන පිරිවැය. එතකොට ඒ අඩු මිල ශ්‍රමය යොදා නිපදවන භාණ්‌ඩ ඇමෙරිකාවට අපනයනය කරලා වගේම මෙක්‌සිකානු වෘත්තිකයෝ ඇමෙරිකාව තුළ රැකියා කිරීම මඟිනුත් මෙක්‌සිකෝවට කිසියම් විදේශ විනිමය ප්‍රමාණයක් ගෙන එනවා. ඒ වගේම මෙක්‌සිකෝව තුළ ඇමෙරිකාව සතු ප්‍රාග්ධනය ආයෝජනය කරලා ලාභාංශ විදියට ඇමෙරිකාවට මුදල් ගෙන එනවා. නමුත් මේ රටවල් දෙකටම මේ ගිවිසුමෙන් ගැටලු උදාවෙලා තියෙනවා. හැබැයි රටවල් දෙකකට කිසියම් හෝ වාසිත් තියෙනවා.
හැබැයි ලංකාවයි ඉන්දියාවයි සලකලා බැලුවහම තත්ත්වය කුමක්‌ද? කාටද වැඩිපුර ප්‍රාග්ධනය හිමිවීමේ වාසිය තිබෙන්නේ? ඉන්දියාවට. කාටද අඩු මිල ශ්‍රමය තියෙන්නේ? ඉන්දියාවට. අපිට ඉන්දියාවත් එක්‌ක ගිවිසුමක කිසිදු වාසියක් නෑ.
දැන් මේ ගිවිසුම් ගහන්න කතා කරන අය අපට ඉන්දියාව තුළ තියෙන අවස්‌ථා ගැන කතා කරනවා අහලා තියෙනවා. එහෙම කතා කරන්නේ නෑ. ඒ අයත් කතා කරන්නේ අපි කොහොමද බේරෙන්නේ කියලා. මම කාට හරි ගහගන්න කතා කරලා මම කල්පනා කරනවා මම කොහොමද බේරෙන්නේ කියලා. මොකක්‌ද මේ, ධනවාදය ද මේක. නෑ මේක ධනවාදය නෙවෙයි. මේක බියගුළුකම. පාලකයන්ට කොන්ද පණ නැති කම. මේක ඉන්දියානු ආක්‍රමණිකයාට බයේ කරන කටයුත්තක්. මොළේ තියෙනවා කියලා ගෙනාවට අද වෙනකොට ඔප්පු වෙලා තියෙනවා මේ පාලකයන්ට උකුණු හිසක තරම්වත් මොළයක් නෑ කියලා. අපේ රණවිරුවෝ දස දහස් ගණන් ජීවිත පූජා කරලා බේරගත්ත මවුබිම මේ වගේ පාලකයන්ට පාවාලා දෙන්න ඉඩදෙන්න බෑ. ඒ සඳහා අපි සියලු දෙනා රොද බැඳගත යුතු වෙනවා. මේ පණිවුඩය ගමින් ගම අරන් යන්න වෙනවා. පාළාත් පාලන මැතිවරණයේ ඡන්දය ඉල්ලන් කුමන පක්‌ෂයකින් ආවත් අපි හැමෝම අහමු මේ සම්බන්ධයෙන් ඔයගොල්ලන්ගේ මතය කුමක්‌ද කියලා. මේ කාරණා ටික සභාව හමුවේ අවධාරණය කරමින් මම සමුගන්නවා. බොහෝම ස්‌තුතියි.