Breaking
15 Feb 2025, Sat

ගලබොඩ අත්තේ ඥානසාර ස්ථවීර සහ ලාල් කාන්තගේ පිරිත් නූල!

ඊයේ සමාජ මාධ්‍ය වල සැරිසැරූ පිංතූරයක් දැකීමෙන් සහ ඊට පාඨකයන් යොදා තිබූ කමෙන්ටු කියවීමෙන් පසු මට හිතුණේ ලංකාවේ මිනිසුන් බුදුන් වහන්සේත් පංසල් අනුව බෙදා වෙන් කොට තිබෙනවා ද කියාය. නැත්නම් පංසලේ ආවාස ගෙයි වැඩ සිටින ස්වාමීන් වහන්සේට අනුව බුදුන් වදාළ මෛත්‍රිය, කරුණාව, මුදිතාව, උපේක්ඛාව වෙනස් වනු ඇත කියා ඔවුන් සිතනවා වන්නටද පිළිවන. මෙම ධර්ම කාරණය දැනගැනීමට .

https://www.youtube.com/watch?v=RyIC525k9wg

ජාතික ජනබලවේගයේ ලාල් කාන්ත උපන් ගෙයි බෞද්ධයකු නම් පංසල් යෑම ඔහුට අකැපද? මට තිබෙන ප්‍රශ්නය එයයි. කෙසේ වෙතත්, ඔහු තම උපන්දිනයට මල් පහන් පූජා කිරීමට ගලබොඩඅත්තේ ඥානසාර ස්වාමීන් වහන්සේට අයත් රාජගිරියේ පංසලට යාම බොහෝ පාඨකයන්ට ප්‍රශ්නයක් වී ඇති බව නම් පැහැදිලිය. එහෙත් ලාල් කාන්තට එය ප්‍රශ්නයක් වී නැත. මන්ද එම විහාර ගෙයි වැඩ සිටින්නේ ද වෙනත් පංසල් වල වැඩ සිටින බුදුන් මය. ඒ ගැන කතා නොකරන පාඨකයා ප්‍රශ්නයක් කරගෙන තිබෙන්නේ ඥානසාර ස්වාමීන් වහන්සේ ලාල් කාන්තගේ අතේ පිරිත් නූල ගැට ගැසීමය.

ඕනෑම බෞද්ධයකු පංසලකට ගොස් ස්වාමීන් වහන්සේට වැඳ නමස්කාර කිරීමෙන් පසු අවශ්‍ය නම් පිරිත් නූලක් ගැට ගසා ගැනීම සාමාන්‍ය බෞද්ධ පිළිවෙතකි. ඥානසාර ස්වාමීන් වහන්සේගේ වෙනත් ක්‍රියාවන් මා අනුමත නොකළ ද මෙම අවස්ථාවේ උන්වහන්සේ ක්‍රියා කල ආකාරය අගය කරමි. අවශ්‍ය නම් උන්වහන්සේට ලාල් කාන්තව ගේට්ටුවෙන් ඇතුළට නොගෙන “තමුන් මොකටද මගේ පංසලට එන්නේ කියා” එලවා දැමීමට ඕනෑ තරම් පුළුවන් කම තිබුණි . එවන් හැකියාවක් උන් වහන්සේට තිබෙන බවද විවේචන එල්ල කරන පාඨකයා හොඳින්ම දනී. එහෙත් උන් වහන්සේ එසේ නොකිරීමෙන් පෙනී යන්නේ සමහර පුද්ගලයන් සහ දේශපාලන පක්ෂ පිළිබඳ එලියේ උන්වහන්සේගේ විවේචනය කෙසේ වුවද තම පංසලට බුදුන් වැඳීමට එන සදැහවතාට එසේ කිරීම බෞද්ධ කම නොවන බව උන් වහන්සේ හොඳින්ම දන්නා නිසා විය හැක. එමෙන්ම, ලාල් කාන්ත වුවද කල්පනා කරන්නට ඇත්තේ වෛර කිරීම බෞද්ධයාට අකැප දෙයක් බව හොඳින්ම දන්නා නිසා විය හැක.

ලාල් කාන්ත ජීවත් වන අනුරාධපුරයේ අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන ස්වාමීන් වහන්සේට අයත් ශ්‍රී මහා බෝධිය වැඳීමට ගියා නම් හෝ උන් වහන්සේ ලාල් කාන්තට පිරිත් නූලක් ගැටගැසූවේ නම් එය ප්‍රවෘත්තියක් නොවන්නටද ඉඩ තිබුණි. ලාල් කාන්තලා, අනුර කුමාරලා පංසල් නොයන , ආගම අදහන් නැති පිරිසක් නොවන වග ලාල් කාන්තගේ මෙම ක්‍රියාවෙන් බොහෝ අය අවබෝධ කරගන්නට ඇති. ප්‍රශ්නය ඔවුන් “වොයිස් කට්” දීමට පන්සල් නොයන නිසා බුදුන් වඳින්නට යනවා දකින්නට රටේ ජනයාට මාධ්‍යයේ අවස්ථාවක් නැති නිසා විය හැක.

අශෝභන ආකාරයට හැසිරුණු , සිවිරට නොගැලපෙන පරුෂ වචන භාවිතා කරමින් බෞද්ධ ස්වාමීන් වහන්සේට සහ අන්‍ය ආගමික පිරිස් වලට අගෞරව කිරීම හේතුවෙන් පසු ගිය දා රිමාන්ඩ් බන්ධනාගාර ගත වූ රාජාංගනයේ සද්ධාතිස්ස ස්ථවීර ඇප පිට නිදහස්ව පැමිණ මේ දිනවල ලාල් කාන්තලා, අනුර කුමාරලා කහ සිවුරට ගරු නොකරන ජාතියක් බවත් , පංසල් නොයන පිරිසක් බවත් කියන ප්‍රකාශ නිවැරැදි නොවන බව ලාල් කාන්ත විසින් ප්‍රසිද්ධියේ ඔප්පු කිරීම වැදගත්‍ ය. තවදුරටත් එම ස්ථවීරයන්ගේ ප්‍රකාශ වලංගු නොවේ. එම ස්ථවීරට හිරගෙදරදී ඇති වූ කම්පන තත්ත්වයක් නිසා “Memory Chip Reset” වී තිබෙන බවක් මේ දිනවල පේන්නට ඇත. කෙසේ වෙනත් එය “Reset” කලේ කවුරුන් ද යන වග පසුගිය දා රටම දකින්නට ඇත.

රට විනාශ කල රාජපක්ෂලා, වික්‍රමසිංහලා පංසල් ගොස් අත පිරෙන්නට කඹ තරම් විශාල පිරිත් නූල් බැඳීම, කරඬුව හිස මත තබා ආශීර්වාද ලබා රට කෑම සමහරුන්ට ප්‍රශ්න නොවේ. ඔවුන් බුදුන් වැඳ, කහ සිවුරට මුවා වී රටට කර ඇති විනාශය ලාල් කාන්තගේ පිරිත් නූලට වඩා බරපතළ නොවන්නේ ද? රට බංකොලොත් කොට, රටේ දේපළ කොල්ල කෑ රාජපක්ෂලා, සහ වික්‍රමසිංහලාගේ අදෝවාතයත් අහෝ සුගන්ධයකි කියන සමහරුන්ට රටේ පවතින තත්ත්වය නොපෙනී සිල්ලර දේ පමණක් දැකීම ඔවුන්ගේ පරිනාමීය දුරවල තාවයක් බව මගේ හැඟීමයි.

ශාන්ත ජයරත්න
ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේ හිටපු ජ්‍යෙෂ්ඨ උපදේශක
20.08.2023

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.