Breaking
22 Jan 2025, Wed

දඹුල්ලෙන් ඇල්ලූ කුඩු සල්ලි කෝටි 28 බිලියන 2.8ක් වුණේ කොහොමද?

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය පසුගිය ජනවාරි 17 වනදා දඹුල්ල ප්‍රදේශයේ නිවසක තිබී රුපියල් කෝටි 28ක මුදලක් සොයාගැනීමට සමත්ව තිබිණි. මෙම මුදල් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු සහ සංවිධානාත්මක අපරාධකරුවකු වන රන් මල්ලී නම් තැනැත්තා මත්ද්‍රව්‍ය ජාවාරමින් උපයා ගන්නා ලද මුදල් බවයි පොලීසිය සඳහන් කර තිබේ.

මේ සම්බන්ධයෙන් ජනවාරි 18 වනදා පැවති විශේෂ මාධ්‍ය හමුවකදී වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පැවසුවේ මෙවැන්නකි.

“ඊයේ දිනයේ මත්ද්‍රව්‍ය ජාවාරමින් උපයා ගන්නා ලද මුදල් සහ දේපළ පොලිස් භාරයට ගැනීමක් සිදුකරනවා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින්. මං හිතන්නෙ පොලිස් ඉතිහාසයේ වැඩිම මුදල් ප්‍රමාණය, ලක්ෂ 2833ක් හොයාගන්නවා කෑෂ්. මුදල් වලින් හොයාගන්නෙ. මේ ජාවාරම්කාරයෝ අදටත් ඉන්නෙ බන්ධනාගාරයේ. බන්ධනාගාරයේ ඉඳන් මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාලයේ ආදායම තමයි මේ ලක්ෂ 2833. මුදල් වශයෙන් තියෙන්නෙ, සේප්පුවක තියෙන්නෙ. ග්‍රාමීය ප්‍රදේශයක, සාමාන්‍යයෙන් විශ්වාස කළ නොහැකි ගෙදරක තැන්පත් කරලා තියෙනවා”

රුපියල් ලක්ෂ 2800ක් යනු රුපියල් කෝටි 28ක මුදලකි.

කෙසේවෙතත් ඊයේ (ජනවාරි 22) සිරස රූපවාහිනී නාලිකාවේ විකාශය වූ “සටන” දේශපාලන සංවාදයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසුවේ දඹුල්ලේදී රුපියල් බිලියන 2.8ක මුදලක් සොයාගත් බවකි.

“ඔබ දකින්න ඇති පහුගියදා දඹුල්ලෙදී රුපියල් බිලියන 2.8ක, කෝටි 280ක විශාල මුදල් තොගයක් සොයාගත්තා. ඒ කියන්නෙ විශාල මුදල් තිබෙනවා, කුඩු ජාවාරම තිබෙනවා. ඒ නිසා මේක අර එක කාටෙල් එකක් හැටියට මේ පොළව, මේ පොදු සමාජය යට තියෙන්නෙ. දැන් මොකක්ද කරන්න ඕනෙ ? මේක නතර කරන්න ඕනෙ”

රටේ ජනාධිපතිවරයා යනු වැඩබලන පොලිස්පතිට වඩා බොහෝ ඉහළින් සිටින්නෙකි. ඒ නිසා ඔහුගේ ප්‍රකාශය සත්‍යය යැයි සිතුවොත් දඹුල්ලෙන් රුපියල් කෝටි 280ක් කුඩු සල්ලි හොයාගෙන ඇත. පොලිස්පතිවරයා කීවේ රුපියල් කෝටි 28ක් සොයාගත් බවකි. එසේ නම් ඉතිරි රුපියල් කෝටි 252 ට වුණේ මොනවාද යන ප්‍රශ්නයකුත් මතු වේ.

අනුර කුමාර දිසානායක මහතා සැබැවින්ම කතාවට හපනෙකි. කතාවට ඉහළම හපනෙකි. ඔහු සංඛ්‍යා දත්ත ඉදිරිපත් කරමින් කතා කිරීමට ලොකු කැමැත්තක් දක්වයි. එයින් කතාවේ විශ්වසනීය ස්වභාවය වැඩි වේ. ඒ ආකාරයෙන් ඉලක්කම් කියමින් කතා කරද්දී ඔහුගේ අනුගාමිකයින් සිතන්නේ තමන්ගේ නායකයා විවිධ ක්ෂේත්‍ර ගණනාවක් පිළිබඳ හසල දැනුමක් ඇති මහා ප්‍රාඥයෙකු යැයි කියාය. එහෙත් අනුර කුමාර දිසානායක මහතා ඇත්තටම කරන්නේ කවුරුන් හෝ තමන්ට කී ඉලක්කම් ටිකක් තමන්ට මතක හැටියට ඔහේ කියාගෙන යෑමයි. ඊට වැඩි දෙයක් එතැන නැත. මීට හොඳම උදාහරණය නම් කොළඹ වරාය නගරය ඉදිකිරීම සඳහා වැයවන කළුගල් ප්‍රමාණය ගැන මීට අවුරුදු කිහිපයකට පෙර ඔහු කියූ ගණන් මිනුම් ය. එකට පෝට්සිටියට යන කළුගල් ප්‍රමාණය ගැන ඔහු කියූ විවිධ ඉලක්කම් කීපයක්ම සමාජ මාධ්‍ය තුළින් සොයාගත හැකිය.

ඇත්තෙන්ම අනුර හපනෙකි. ඔහුගේ ඉහළම හපන්කම ඇත්ත බොරුව මුසු කරමින් කටට එන ඕනෑම එකක් පරම ඇත්තක් යැයි හැඟවෙන පරිදි කියාපෑමට ඇති හපන්කමයි. අනුර කියන ඉලක්කම් සියල්ල ඇත්ත යැයි එක හෙළාම විශ්වාස කරන අනුගාමිකයින් අතිවිශාල පිරිසක් මේ රටේ සිටීම ඔහුගේ වාසනාවයි. කරුමයකට මෙන් එය රටේ අවාසනාව වන ආකාරයක් ද දකින්නට තිබේ.

අදාළ ප්‍රකාශ සහිත කොටස පහතින් බලන්න 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *